ආරක්‍ෂක සේවා සංගමය යළිත් ඒ. ඒ. වෛරසිංහ කුසලාන හිමිකර ගනී

132

කොළඹ නාරාහේන්පිට පිහිටි “ශාලිකා” ක්‍රීඩාංගණයේ දී ඊයේ (28) සවස නිමාව දුටු 60 වැනි ජාතික ජ්‍යෙෂ්ඨ හොකී තරගාවලියේ පිරිමි ශූරතාව තහවුරු කර ගනිමින් ඒ සඳහා පිරිනමන ලද “ඒ.ඒ. වෛරසිංහ කුසලාන” යට හිමිකම් කියන්නට ආරක්ෂක සේවා සංගමය නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ.

මෙවර පිරිමි ශූරතාව තහවුරු කර ගත් ආරක්ෂක සේවා සංගමය එම තත්ත්වය පුරා වසර 29 ක් තිස්සේ ආරක්ෂා කර ගැනීමට සමත් වීම ඉහළින්ම කැපී පෙණුනි. ඒ අනුව 1996 වසරේ සිට මේ දක්වාම ශූරයන් ලෙස හෝ සම ශූරයන් ලෙස “ඒ.ඒ. වෛරසිංහ කුසලාන” තමන් සතුකර ගැනීමට ආරක්ෂක සේවා පිලට හැකි වීම විශේෂත්වයකි.

මෙවර අනු ශූරතාව වෙළෙඳ සේවා සංගමයට හිමි වන අතරවාරයේදී තෙවන ස්ථානය රාජ්‍ය සේවා සංගමය සතු විය.

ආරක්ෂක සේවා සහ වෙළෙඳ සේවා යන දෙපිල අතර පැවති තීරණාත්මක අවසන් තරගයේදී ගෝල් 08 – 01 ක ජයග්‍රහණයක් සටහන් කර ගැනීමට ආරක්ෂක සේවා පිලට හැකි විය.

තරගයේ ප්‍රථම භාගය නිමා වන විට ගෝල් තත්ත්වය 05 – 00 කි.

ජයග්‍රාහී පිල වෙනුවෙන් උදය ශාන් ප්‍රනාන්දු 02, ලක්ෂාන් සඳරුවන් 02, ළහිරු වීරසූරිය 02, අනුරාධ සුරේෂ් 01 සහ කුසල් තිලකසිරි 01 බැගින් ගෝල් සටහන් කළ අතර පරාජිත පිල වෙනුවෙන් එකම ගෝලය බෝධික ඩයස් රැස් කළේය.

අවසන් පූර්ව වටයේ දී ආරක්ෂක සේවා පිල හමුවේ වෙන්නප්පුව සංගමය ද වෙළෙඳ සේවා සංගමය හමුවේ රාජ්‍ය සේවා සංගමය ද පරාජය ලැබීය.

මෙම තරගාවලියට සමගාමීව ක්‍රියාත්මක වූ 25 වැනි ජාතික ජ්‍යෙෂ්ඨ කාන්තා හොකී තරග මාලාවේ සම ශූරතාව දිනා ගනිමින් කැපී පෙනෙන්නට ආරක්ෂක සේවා සංගමය සහ මහනුවර සංගමය සමත් විය.

වෙන්නප්පුව හොකී සංගමයට තෙවැනි ස්ථානයෙන් සෑහීමට පත්වන්නට සිදු විය.

ආරක්ෂක සේවා සහ මහනුවර අතර පැවති තීරණාත්මක අවසාන තරගයේ දී සටහන් වූ ගෝල් සංඛ්‍යාව 01 – 01 කි. ඒ අනුව සම ශූරතාව දෙපිල වෙත ප්‍රදානය කිරීමට සංවිධායක මණ්ඩලය තීරණය කළේය.

මහනුවර සංගමය වෙනුවෙන් එකම ගෝලය එස්. කේ. දයානන්ද රැස් කළ අතර ආරක්ෂක සේවා පිල වෙනුවෙන් සටහන් වූ එකම ගෝලය කේ. වී. කළුආරච්චි වාර්තා කළේය.

අවසන් පූර්ව වටයේ දී ආරක්ෂක සේවා පිල හමුවේ කොළඹ සංගමය ද මහනුවර පිල හමුවේ වෙන්නප්පුව සංගමය ද පරාජය ලැබීය.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment