වෙසක් පහන – ජී. බී. සේනානායක

909

උසස් පෙළට සිංහල -9

2023/24 වසර උසස් පෙළ සිංහල විෂය හදාරන සිසු සිසුවියන්ගේ ප්‍රයෝජනය පිණිස ආචාර්ය විරාජ් ධර්ම ශ්‍රී විසින් සපයන ලිපි පෙළක් දිවයින ‘වටමඬල’ ඔස්සේ පළ කිරීමට අප විසින් තීරණය කර ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිංහල භාෂාව පිළිබඳ ආචාර්ය උපාධියක් දිනාගත් විරාජ් ධර්ම ශ්‍රී සිංහල මෙන්ම ඉංග්‍රීසි සාහිත්‍යය කෙරෙහි ද උනන්දුවක් දක්වයි. ඊට අමතරව ඔහු කවියකු, විචාරකයකු ලෙසද කටයුතු කරයි.

වෙසක් පහන කෙටි කතාව කලාත්මක යථාර්ථවාදී රීතියට අනුගත වෙමින් ලියූ කෙටි කතාවකි- අද්භූත යමක් ඇතුළු නො කරන කෙටි කතාකරුවා දහහත් හැවිරිදි මල්ලී ගේ චරිතය මෙන් ම සෙසු චරිත ද සොබාවික ලොවෙහි තබා නිර්මාණය කරයි. උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් කතාව දිග හැරීමෙන් යථාර්ථ නිරූපණය සඳහා රුකුලක් ගන්නා කෙටි කතාකරුවා පාඨකයාට සමීප ව කෙටි කතාවේ අත්දැකීම් දිග හරියි.

පරිසර වර්ණනා සහ සංකේත භාවිතය

වෙසක් පහන දැවී යෑමෙන් පසු ව මල්ලී ගේ සිතෙහි ඇති වූ සිතුවිලිවල සොබාවය කෙටි කතාකරුවා දක්වනුයේ පරිසර වැනුම් ඇසුරෙනි. “කූඩුව දැවී යෑමෙන් පසු ඉතිරි වූ කූඩුවේ කළු වූ උණ කැබලි කිසි විශාල සතකු ගේ ඇට සැකිල්ලක් මෙන් මහා මාර්ගයෙහි පසක තිබෙන සැටි මගේ සිතට නැඟිණ- දල්වන්නට පෙර වෙසක් පහන පිළිස්සී ගියේ යැයි මතුළ ශෝකයක් ඇති විය. ”

කූඩුව විනාශ වී යෑම නිසා මල්ලී ගේ සිතෙහි ඇති වූ අඳුරු සොබාවය දැක්වීමට කෙටි කතාකරුවා පරිසර වැනුම් අන්තර්ගත කරනුයේ කථකයා ගේ සිතට නැඟෙන සිතුවිලි ඔස්සේ ය’. විනාශ වී ගිය විශාල කූඩුව උපමා කර ඇත්තේ විශාල සතකු ගේ ඇට සැකිල්ලකට ය- එය අනිත්‍යය සිහියට නඟන ප්‍රබල සංකේතයකි- සංකේත භාවිතයේ දී දක්වන දස්කම් මේ කෙටි කතාවේ සාර්ථකත්වය කෙරෙහි බෙහෙවින් ඉවහල් වී තිබේ.

● ජීවන දෘෂ්ටිය

ජීවන දෘෂ්ටිය ගොඩනැඟෙන්නේ ලේඛකයා ගේ ආකල්ප මත යි- ජී- බී- සේනානායක සිය අදහස් වෙසක් පහන කෙටි කතාවේ අනවශ්‍ය ලෙස අන්තර්ගත නො කරයි- ඒ ඒ චරිත සැබෑ ලෝකයේ හැසිරෙන අයුරින් අත්දැකීම පරිකල්පනාත්මක ව පාඨකයා වෙත ගෙන යයි. ලේඛකයා ගේ බලපෑමෙන් කතාව මුදා හළ විට ඒ කෙටි කතාවෙන් මතු වන ජීවන දෘෂ්ටිය උසස් වේ- හැදෑරීම සහ පිරි නැණ නිසා මුවහත් වන කුසලතාව උසස් ජීවන දෘෂ්ටියක් ලේඛකයකු ගෙන් පළ වීමට හේතු වේ.

එඩ්ගා ඇලන්පෝ ගේ අෂර් ගෙදර බිඳ වැටීම (The Fall of The House of Usher) කෙටි කතාව සහ ජේම්ස් ජොයිස් ගේ Eveline කෙටි කතාව කියවා බලා වෙසක් පහන කෙටි කතාව හා සැසැඳිල්ලෙන් නවක ගුරුවරයකු ගේ වුව ද නුවණ මුහුකුරා යනු ඇත- වෙසක් පහන කෙටි කතාවේ එන චරිත දෙස ලේඛකයා හෙළන අපක්‍ෂපාතී බැල්ම පැසැසුමට තරම් වේ.

● වෙසක් පහන කෙටි කතාවේ භාෂාව

ලේඛකයා ළමා ලෝකයට කිමිදෙමින් මධ්‍යම පාන්තික සමාජයට ඔබින බසක් වෙසක් පහන කෙටි කතාව සඳහා යොදා ගන්නා අතර ඒ බස නාගරික මැද පන්තියේ බස නො වේ. එමෙන් ම වෙසක් පහනට යොදා ගත් බස මුළුමනින් ම ගැමි බස ද නො වේ- මේ දෙවහරට ම මැදි වහරක් තෝරා ගැනීමට ලේඛකයා පෙළැඹෙයි.

“ නංගී මුළුතැන්ගෙට ගොස් අම්මා කැඳවාගෙන ආවා ය. ”

කෙටි කතාකරුවා ‘කුස්සියට’ යන වදන බැහැර කොට ‘මුළුතැන්ගෙට’ යන වදන යොදා ගනියි- එහෙත් ලේඛකයා ගැමි වහරෙහි නො ඇලී සිත මෙහෙය වනුයේ තේමාවට අනුව සුදුසු වදන් යොදා ගැනීම කෙරෙහි ය. වෙසක් පහන කෙටි කතාවට යොදා ගත් සංකේතාත්මක බසට හේතු වූයේ බටහිර කෙටි කතා කියැවීමෙන් ලද අවබෝධයට වඩා පාලි බසේ කිසියම් බලපෑමක් විය හැකිය. සුද්දන් මෙරටට පැමිණීමට බොහෝ කලකට පෙර අපේ බස ගිල ගත් පාලියේ සංකේතාත්මක බස ජී. බී. සේනානායකට බලපෑමට ඇති ඉඩ කඩ බෙහෙවින් වැඩි ය. මට නම් දැනෙනුයේ අදත් අපේ බස ඉංග්‍රීසියට වඩා පාලියට නැඹුරු බවකි.

ළමා සිත නිරාවරණය කිරීම පිණිස තැත් කරන ජී. බී. සේනානායකට බණ කියන ජාතක කථාකරුවා මෙන් කතාවේ මුල, මැද, අග මනා ව සටහන් කිරීම අනවශ්‍ය ය. ඇන්ටන් චෙකොෆ් මෙන් ජී. බී. සේනානායක එක වර කතාව අරඹයි. “විශාල අට පට්ටම් කූඩුවක් සෑදීමේ අදහස පළමුවෙන් ඇති වූයේ අයියා ගේ සිතෙහි ය- එවැනි වෙසක් පහනක් සෑදීමට අම්මා අනුබල නුදුන් නමුත් නංගීත් මමත් අයියා ඊට මෙහෙයුවෙමු.” එකවර මෙසේ කතාව ආරම්භ කිරීමෙන් කෙටි කතාවේ සැකෙවි බව පහසුවෙන් රැකිය හැකිය- කතාවේ ආරම්භය පරිසර වැනුම් ආදියෙන් තොර බැවින් කෙටි කතාව කියවන පාඨක සිත එක වර ම කතාව හා තදින් බැඳේ. ඇන්ටන් චෙකොෆ් ගේ කතා කලාවේ පවතින මෙ බඳු ලක්‍ෂණ මේ කෙටි කතාවෙන් අඳුනා ගතහැකිය.

කෙටි කතා නිර්මාණයේ දී කෙටි කතාවේ කලාත්මක අංග කෙරෙහි අවධානය යොමු කළ ලේඛකයකු ලෙස ජී. බී. සේනානායක හඳුන්වාදිය හැකි අතර ඔබට නියමිත සෙසු කෙටි කතා සමග වෙසක් පහන කෙටි කතාව සසඳමින් අවබෝධය ගොඩනඟා ගැනීම වැඩදායක වේ. කෙටි කතාව ගැන උසස් පෙළ දරුවන් ගේ මෙන් ම ගුරුභවතුන් ගේ ද උනන්දුව සහ අවධානය වෙන දාට වඩා යොමු වී ඇති බවක් මට දැනෙයි- එය මහත් සතුටට කරුණකි.

වෙසක් පහන - ජී. බී. සේනානායක

ආචාර්ය විරාජ් ධර්ම ශ්‍රී
ගා/අත්‍ථදස්සි කනිටු විදුහල

advertistmentadvertistment
advertistmentadvertistment