මේරියන්ස්ලාට 35යි – තෑග්ගට මුද්දරයයි

122

ලංකාවේ පළමු වතාවට

කණ්ඩායම් සංගීතයේ පෙරළිකාර යෞවනයා තමයි නලීන් පෙරේරා කියන්නේ. මොකද අදටත් මේරියන්ස් නලීන් කිව්වහම නොදන්න කෙනෙක් නැහැ. මොකද නලීන් පෙරේරා කියන්නේ ඒ තරමට ජනප්‍රිය චරිතයක්. මොකද ඔහු ඉන්න තැන කම්මැලි නැහැ. මේරියන්ස් සංගීත කණ්ඩායම දැන් අවුරුදු තිස්පහක්. ඒ වුණාට මේරින්ස් තරුණයි තාම. නලීන් පෙරේරා ප්‍රමුඛ මේරියන්ස් අලුත්ම ස්ලෝකන් එක ඒක. ඉතිං ඔවුන්ගේ සංවත්සරයට තරුණයි තාම ප්‍රසංග මාලාවක් එතෙර වගේම මෙතෙර සංවිධානය වෙනවා. පසුගිය ශනිදා සහ ඉරිදා නෙළුම් පොකුණ රඟහලේ පැවැති ප්‍රසංගයේදී සුවිශේෂී සිද්ධියක් වුණා. ඇත්තටම ඒක මෙරට කණ්ඩායම් සංගීතයේ නොමැකෙන සටහනක් වෙනවා නියතයි. මොකද මේ වගේ වැඩක් ලංකාවේ සිද්ධවුණේ පළමු වතාවට. මේරියන්ස් සංගීත කණ්ඩායමේ 35 වැනි සංවත්සරයට සමගාමීව පැවැති ප්‍රසංගයේදී තැපැල් මුද්දරයක් එළිදැක්වුණා. ලංකාවේ පළමු වතාවට තමයි බෑන්ඩ් එකක් වෙනුවෙන් මෙහෙම දෙයක් සිද්ධවුණේ. ලෝක කණ්ඩායම් සංගීතයේ සිව්වැනි අවස්ථාව. මේ ඓතිහාසික අවස්ථාව ගැන නලීන් එක්ක කතා නොකළොත් පත්තරකාරයෝ විදිහට අපි කරන්නේ ලොකු අඩුවක්. 35 වැනි සංවත්සරයේදී එළියට ආ මුද්දරය ගැන නලීන් කිව්ව කතාව මෙන්න.

මේරියන්ස්ලාට 35යි - තෑග්ගට මුද්දරයයි

ඇත්තටම මේක අහඹු සිදුවීමක්. මගේ මිත්‍රයෝ දෙන්නෙක් ඉන්නවා බි්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර මහේන් සහ මංජු කියලා යුවළක්. ඒ ගොල්ලෝ අපේ ලන්ඩන් ඉවෙන්ට් එක කරන අය. ඉතිං ඒ දෙන්නා තමයි මේ යෝජනාව අරගෙන ආවේ. ඔවුන් අපි ගැන දකින කෝණය අනුව තමයි එවැනි යෝජනාවක් අරගෙන ආවේ. ඒ ගොල්ලෝ තමයි තැපැල් දෙපාර්තමේන්තුව පැත්තෙන් අවශ්‍ය කරුණු කාරණා සාකච්ඡා කරලා ඒකට අවශ්‍ය සියලුම ප්‍රතිපාදන ලෑස්ති කළේ.

මුද්දරයක් කරන්න හේතුවක් තියෙන්නත් ඕනෑ. ඊට පස්සේ මට කතා කරලා කිව්වාට පස්සේ ඒකට යම්කිසි පිළිවෙතක් තියෙනවා කියලා. එතකොට මගේ බෑන්ඩ් එකේ ඉතිහාසය වගේම අපේ සාමාජිකයන්ගේ ඉතිහාසය වෙන් වෙන් වශයෙන් විස්තර සපයලා මේ වැඩේට සූදානම් වුණේ. ඉතිං මෙතැනදී සංගීත කණ්ඩායමක් හැටියට අපිට මේක ඓතිහාසික සිද්ධියක්. ඒක අපිට සදා අමරණීය දෙයක්. සංගීත කණ්ඩායමක් හැටියට ලෝකයෙන්ම ගත්තහම මම හිතන්නේ හතර හෝ පස්වැනි තැනට මේ කාරණාවට ඉතිහාස ගත වෙනවා. ඒක ලොකු ගෞරවයක්. මේ වැඩෙන් මේරියන්ස් නම සදා අමරණීය වෙනවා.

මේරියන්ස්ලාට 35යි - තෑග්ගට මුද්දරයයි

නායකයෙක් වශයෙන් එවැනි තැනකට අපි එසැවෙන්න මොකක් හරි හේතුවාසනාවක් ඇති. නැතිනම් හැමදේම සල්ලිවලට යටවෙන ලෝකයක අපිට ඒ ගෞරවය ලැබීම ඉතාම සතුටට කාරණාවක්.

ආපස්සට හැරිලා බලනකොට අවුරුදු තිස්පහක් ආපු ගමනේදී මෙවැනි ගෞරවයකට මා ඇතුළු සංගීත කණ්ඩායමේ සාමාජිකයන් පාත්‍රවීම ගැන හදවතට සතුට දනවන කාරණාවක්. මේ මුද්දරයේ තිබෙන තවත් විශේෂත්වයක් තමයි එහි කිව්ආර් කෝඩ් එකක් තියෙනවා. ඒ කිව්ආර් කෝඩ් එක ස්කෑන් කළහම අපේ අලුත් ගීතයට තමයි සම්බන්ධ වෙන්නේ. ඉතිං කාලයත් එක්ක තැපැල් දෙපාර්තමේන්තුවත් වෙනස් වෙලා කියලා මට දැනෙනවා. මේක නව මුහුණුවරක්. අනාගතයේදී මේ රටට සමාජයට සංගීතය පැත්තෙන් යමක් කරන අයට ඒ ගෞරවය ලැබිය යුතුයි. ඒවා ඉදිරියට වෙයි කියලත් මම බලාපොරොත්තු වෙනවා.

ඇත්තටම මේ සාකච්ඡාව සිද්ධවෙන වෙලාවේ ප්‍රසංගය සංවිධානය කරලා තිබුණේ නැහැ. ඊට මාස දෙකකට පෙර මගේ යාළුවෝ ටික ලංකාවට ආපු වෙලාවේ ඒ ගොල්ලන්ගේ ගෙදර සාදයක් තිබුණ වෙලාවේ තමයි කතාව එළියට ආවේ. ඊට පස්සේ තමයි අපි මේක සංවිධානය කළේ එහෙනම් මේ වැඩේ අපි එළිදක්වමු අපේ සංවත්සර ප්‍රසංගයේදී කියලා. එතකොට ඒක උත්සවශ්‍රීයෙන්ම සිද්ධවෙනවානේ. නැතිනම් ඕක තැපැල් දෙපාර්තමේන්තුවේදී කරන්න තිබුණ වැඩක්. ඉතිං ඒක වේදිකාවට ගෙන ආවේ. මොකද මේ හැමදෙයක්ම අපේ ගමනේදී අපේ පිටුපස තිබුණ ලොකුම හස්තය තමයි මහජන ප්‍රජාව. අපේ ආදරණීය රසික ප්‍රජාව. ඉතිං මෙවැනි උත්තරීතර දෙයක් වගේම අපිට ගෞරවයට පාත්‍රවන දෙයක් නිසා ඒක ජනතා වරප්‍රසාදය මැද්දේම කරන්න මම තීරණය කළා. ඒක ජනතාවගේත් සතුටට කාරණාවක් වෙනවානේ. අනික ඒක අපේ ෆෑන් බේස් එකටම ලොකු ගෞරවයක්නේ. ඒ ගොල්ලෝ ආදරය කරපු සංගීත කණ්ඩායමට මෙහෙම දෙයක් ලැබෙනවා කියන එකට ඔවුනුත් ආසයි.

තැපැල් දෙපාර්තමේන්තුවත් මේ අවස්ථාවට පැමිණියේ හරි ගෞරවාන්විතව. ඇත්තටම මේ වැඩේට මහේන් සහ මංජු මේ වැඩේ පිටිපස්සේ ඉඳලා තැපැල් දෙපාර්තමේන්තුවේ අයගෙන් විස්තර පවා අරගෙන මට සම්බන්ධිකරණය දීලා තැපැල් දෙපාර්තමේන්තුව මගෙත් එක්ක කතා කරලා ඊට පස්සේ තමයි ප්‍රසිද්ධ වුණේ. එතැනදී විශේෂයෙන් තැපැල්පතිතුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට කළ කැප කිරීමට අපේ විශේෂ ස්තූතිය පිරිනමනවා.

තාම තරුණයි කියල සිතුවිල්ල තමයි අපි තරුණ කරන්නේ. අපි ජීවිතයේ සාමාන්‍ය බහුතරයක් මිනිස්සුන්ගේ හිත්වල තියෙන දෙයක් තමයි හතළිහ පනහ පැන්න ගමන් හිතන්නේ අපි වයසට ගිහිල්ලා කියලා. මගේ හිතේ මම පනහා පැනලා කියලා මට දැනෙන්නේ නැහැ. මම ඔය තරුණයි තාම කියන සිතුවිල්ල ගෙනඑන්නේම අපේ ජීවිතවල ඔය සිතුවිල්ල ජනිත කරගත්තහම අපි කරන දේවල්වල නැවුම් බව රසවත්බව දඟකාරකම වැනි සියල්ලම ගැබ්වෙලා තියෙනවා.

පළමු වතාවට බෑන්ඩ් එකකට මුද්දරයක් නිකුත් කළා

මේරියන්ස්ලාට 35යි - තෑග්ගට මුද්දරයයි

රුවන් සත්කුමාර තැපැල්පති

දෙපාර්තමේන්තුවක් විදිහට මුද්දර නිකුත් කිරීම් සිදුකරනවා විශේෂ අවස්ථාවලදී. හැබැයි පළමු වතාවට තමයි අපි මේ ලංකාවේ සංගීත කණ්ඩායමක් වෙනුවෙන් මුද්දරයක් නිකුත් කළේ. මේරියන්ස් කියන්නේ අපේ රටේ දැවැන්ත සංගීත කණ්ඩායමක්. අවුරුදු තිස්පහක් මේ ක්‍ෂේත්‍රයේ එක දිගට හිටපු කණ්ඩායමක්. ඒ නිසා අපෙන් ඉල්ලීමක් කළා. දෙපාර්තමේන්තුවක් විදිහට අපිත් ඒකට එකඟවුණා. ඒ අනුව තමයි මේ කාර්ය සිද්ධවුණේ. මම හිතන්නේ දැනට තියෙන සංගීත කණ්ඩායම් අතුරින් මේ වගේ කාලයක් පවත්වාගෙන එකම සංගීත කණ්ඩායම තමයි මේරියන්ස්. ඒකත් එක්කම මේක ඓතිහාසික කාරණාවක්. දෙපාර්තමේන්තුවටත් මේක අලුත් අත්දැකීමක්.

අපි සාමාන්‍යයෙන් විශේෂිත අවස්ථාවන්වලට මුද්දර නිකුත් කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් පාසලක අවුරුදු සියයක් දෙසීයක් පිරුණහම වගේ අවස්ථාවන්වලට මුද්දර නිකුත් කරනවා. නමුත් සංගීත කණ්ඩායමක් වෙනුවෙන් කරපු පළමු අවස්ථාව. අනික අපේ මුද්දර ප්‍රතිපත්තිය අනුව අවුරුද්දකට තේමාවන් ගණනාවක් යටතේ දේශපාලකයන්” කලාකරුවෝ” ක්‍රීඩකයෝ මුල් කරගෙන තනි තනිව මුද්දර නිකුත් කරපු අවස්ථා තියෙනවා. නමුත් සංගීත කණ්ඩායමක් විදිහට නිකුත් කරපු පළමුවැනි අවස්ථාව. මේ සමරු මුද්දර අපේ දෙපාර්තමේන්තුවේ මූලස්ථානයෙන් මිලදී ගැනීම සිදුකරගන්න පුළුවන්.

දෙපාර්තමේන්තුවක් විදිහට අපි මේක ධනාත්මකව ගන්නේ. මොකද අපි සාමාන්‍යයෙන් වෙන මුද්දරයක් නිකුත් කරනවාට වඩා දෙපාර්තමේන්තුවත් හිතුවා ඔවුන්ගේ ආරාධනාව අනුව මේරියන්ස් සංගීත කණ්ඩායම සංවත්සරය වෙනුවෙන් පවත්වන ප්‍රසංගයේදීම මේක එළිදක්වන්න. මේරියන්ස් කියලා කියන්නේ මිනිස්සු එක්ක ඉන්න මිනිස්සු ආදරය කරන සංගීත කණ්ඩායමක්නේ. ඒකට තැපැල් දෙපාර්තමේන්තුව එකතුවුණහම අපිටත් ඒක ධනාත්මකව බලාපොරොත්තුවෙනවා. දැනට සමාජ මාධ්‍යවල මේ වැඩේ වයිරල් වෙලා තියෙනවා. මාධ්‍ය විදිහට ඔබලා විමසන්නෙත් ඒකනේ.

දිනේෂ් විතාන
ඡායාරූපය – ජයසංඛ ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment