අවුරුදු 15 කට පස්සේ මේරියන්ස් එළිමහනට

146

අයාලේ දෙයකට අත තියන්නේ නැහැ
මමත් ආසයි ජීවිතය විඳින්න
බැහැයි කියලා හිතුන දවසට චාටර් වෙන්න සූදානම් නැහැ

ශ්‍රී ලාංකේය කණ්ඩායම් සංගීතයට ‘මේරියන්ස්. කියන නාමය ඉපදිලා මේ මාසේ 11 වැනිදාට හරියටම අවුරුදු 36 ක් ලබනවා. එදා එළිමහනෙන් පටන් ගත්තු වැඩේ අන්තිමේ නතර කළේ ලෝකෙ වටේ යන ගෘහස්ථ ප්‍රසංග කලාවකින්. ‘මේරියන්ස්’ කියපු ගමන් හරියටම ගහට පොත්ත වගේ බද්ධ වුණ නමක් තමයි නලින් පෙරේරා කියන්නේ’ මේරියන්ස්ට හරියටම අවුරුදු 36ක් ලබන උපන් දිනය දවසේ මේරියන්ස් ආපහු එළියට බහින්න සූදානම් වෙනවා’ එකපාරටම එහෙම වැඩක් කරන්නේ ඇයිද කියලා දැනගන්න අපි නලින්ට කතා කළා.

අවුරුදු 15 කට පස්සේ මේරියන්ස් එළිමහනට

නලින් පෙරේරා ප්‍රමුඛ “මේරියන්ස්” අලුත්ම වැඩකට අතගැසුවා නේද?

අපේ තිස්පස් වැනි සැමරුමට සමගාමීව සැලසුම් කරපු “තරුණයි තාම” ප්‍රසංගය වෙනස්ම මාදිලියකට තමයි නිර්මාණය කරලා තිබෙන්නේ. මේක දරු පවුල් පිටින් ඇවිල්ලා බලන්න පුළුවන් ප්‍රසංගයක්. ඉතිං ඒක ප්‍රථම වතාවට පෙබරවාරි 11 වැනිදා හොරණ තක්ෂිලා මහා විiාලයේ එළිමහනට ගෙනියනවා. මේක ලොකු මුදලක් වැයවෙන ලොකු ව්‍යාපෘතියක්. හොරණ තක්ෂිලා මහා විiාලයේ 2001 ආදි ශිෂ්‍ය කණ්ඩායම තමයි මේ වැඩේ සංවිධානය කරනු ලබන්නේ. හොරණ තක්‍ෂිලා පාසල් ක්‍රීඩාංගණයේම තමයි මේ ප්‍රසංගය පවත්වනු ලබන්නේ.

මේරියන්ස්ලා කොච්චර කාලෙකට පස්සේද එළිමහනට එන්නේ?

මම හිතන්නේ අවුරුදු පහළොවකට විතර පස්සෙයි. මොකද අපි එළිමහනේ ඉඳලා ආපු බෑන්ඩ් එකක් තමයි. අපිට ඒක අමතක කරන්න බැහැ. අපි එළිමහනෙන් සමු අරගෙන සෑහෙන කාලයක් වෙනවා. මොකද අපිටත් වෙනස් වෙන්න කාලයක් අවශ්‍යයි. ළිඳ ඇතුළේම ඉන්නකොට කරන්න තියෙන දේ තේරෙන්නේ නෑනේ. නිවාඩුවක් අරගෙන කල්යල් බලලා තමයි හොඳම වෙලාවේ එළිමහනට ආවේ.

අවුරුදු 15 කට පස්සේ මේරියන්ස් එළිමහනට

‘තරුණයි තාම’ එළිමහන් ප්‍රසංගයත් රටවටා යනවාද?

මේරියන්ස් රසික රසිකාවියෝ රට පුරාම ඉන්නවා’ ඉතිං අපේ ආරම්භක යුගය ගත්තහමත් අපි රට පුරාම ගිය සංගීත කණ්ඩායමක්. අද බහුතරයකට අපිව දකින්න ලැබෙන්නේ නැහැ අපි එළිමහනට එන්නේ නැති හින්දා. අපිට ගොඩක් ඉල්ලීම් තිබෙනවා අපේ පැත්තට එන්න කියලා. මෙවැනි ප්‍රසංගයක් සංවිධානය කරන්න ලොකු පිරිසක් අවශ්‍යයි. තක්ෂිලාවේ 2001 ආදි ශිෂ්‍ය කණ්ඩායම නිර්භයව ඒ සඳහා ඉදිරිපත් වුණා.

අවුරුදු 15 කට පස්සේ මේරියන්ස් එළිමහනට

අතීතයේ මේරියන්ස් එළිමහනේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක්ද?

අපි එළිමහනේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් හැටියට අපිට නැවත එතැනට බහින්න බැහැ. හැබැයි තියෙන ලෙවල් එකෙන් උඩ ලෙවල් එකකින් තමයි අපි එන්න ඕනෑ.

‘මේරියන්ස්ලා’ එළියට බැස්සා කියන්නේ ලේසි නැහැ’ කට්ටිය බයවෙලාද මන්දා?

(සිනාසෙමින්…..) නැහැ. මම හිතන්නේ බය වෙන්න දෙයක් නෙමෙයි. අපි හැමදාමත් මිනිස්සුන්ගේ සතුට වෙනුවෙන් පෙනී හිටපු සංගීත කණ්ඩායමක්. මම ඇතුළු සංගීත කණ්ඩායමේ හැමෝම ඒ වෙනුවෙන් කැපවෙලා ඉන්නවා. ආරම්භක ගීතයේ සිට අවසාන ගීතය දක්වාම රසික ආස්වාදය හිනිපෙත්තටම තියාගෙන යන්න තමයි අපි නිතරම උත්සාහ කරන්නේ.

අවුරුදු 15 කට පස්සේ මේරියන්ස් එළිමහනට

මේරියන්ස්ලාට අවුරුදු 35 යි. එදිනට තමයි ආපහු එළිමහනට ගොඩවෙන්නේ?

පෙබරවාරි 11 වැනිදා කියන්නේ හරියටම මේරියන්ස් ඉපදුණු දිනය” මේරියන්ස් ආරම්භ කරපු දිනය. ඉතිං එදා දවසේම මේ ප්‍රසංගය පැවැත්වීම අපිට ලොකු භාග්‍යයක්.

අවුරුදු 35ක් නේ. මොකද ආපස්සට හැරිලා බලනකොට හිතෙන්නේ?

ඇත්තටම අහිංසක ආඩම්බරයක් හදවතට තිබෙනවා. මොකද මේ කාලය තුළ සංගීතයෙන් කඩාවැටීම්” ප්‍රශ්න” අපිට ලැබිලා තිබෙනවා. ඒ සියල්ල දරාගෙන එක හිතින් ඉන්ද්‍රඛීලයක් සේ මමත් මගේ කණ්ඩායමේ අනෙක් හැමෝමත් එකට ඉඳලා වැඩකරලා ලබාගත්තු එකේ ප්‍රතිඵල තමයි මේ භුක්ති විදින්නේ. මම හැම තිස්සේම කල්පනා කරනවා අනාගතයට සිදුවිය යුතුදේ කුමක්ද කියලා. ඒක සපයාදීම තමයි කරන්න ඕනෑ කියලයි මම හිතන්නේ. තව කෙනෙක් කරපු දේ කොපි කිරීම නෙමෙයි අපි කරන්න ඕනෑ. නව නිර්මාණාත්මක මනසකින් අනාගතය දෙස බලනවා නම් අපිට තව ගොඩක් දේවල් කරගෙන යන්න තිබෙනවා. මේරියන්ස්ලාගේ තව විශ්මිත දේවල් ඉස්සරහට එන්න තිබෙනවා. ගිය අවුරුද්දේ ඉදලා අපි පොඩ්ඩක් කාර්ය බහුල වුණා අපේ 35 වැනි සැමරුම වෙනුවෙන්. අපි හොදට යමක් කරන කොට මිනිස්සු අපිව ඉල්ලනවා.

අවුරුදු 15 කට පස්සේ මේරියන්ස් එළිමහනට

මේ වැඩේ නවත්වල දාලා වෙන වැඩක් කරනවා කියලා හිතුන අවස්ථා නැතිද?

සංගීත කණ්ඩායමක් කරනවා කියන එක ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. අට දෙනෙකුගේ හැඟීම් සිතුවිලි අටවිදිහක්. ඉතිං මේ හැමෝම එකම ටේබල් එකකට ගෙනැල්ලා එක අරමුණක් ඔස්සේ අරගෙන යෑම තමයි මගේ වගකීම. ඒක ඉතාම අසීරුයි. කලකිරුණු අවස්ථා” එපාවුණ අවස්ථා තිබෙනවා. නමුත් මම දන්නේ මෙච්චරයි. කතෝලිකයෙක් හැටියට ක්‍රිස්තුස් වහන්සේ කුරුසය අතහැරියේ නැහැනේ.

විශේෂයෙන් මම අමතක කරන්නේ නැහැ මගේ බිරිඳ” මගේ දරුවන්” ඒ වගේම මගේ අම්මා තාත්තා” මගේ සහෝදර සහෝදරියන්” මගේ හදවතට ජීවිතයට ළංවුණ මිතුරන් ඕනෑම ගැටලුවක් ප්‍රශ්නයක් වෙලාවේ ඒ අය මගේ පිටුපසින් හිටියා. ඉතිං ඒක මගේ භාග්‍යයක් කියලා සලකනවා. මේක අපිට කරන්න පුළුවන් තාක්කල් උපරිම මට්ටමින් කරගෙන යනවා. හැබැයි බෑයි කියලා හිතුන දවසට අඬ අඬා මේකෙ ළතැවෙවී ඉන්නේ නැහැ. ෆයිනල් කොන්සර්ට් කෝල් කෙරුවා” ගුට් නයිට්” ගෝඩ් බ්ලෙස් කිව්වා වැඩේ ඉවර කෙරුවා. නැතිව අර වේළි වේළි චාටර් වෙන තැනට වැටී වැටී ෂෝ කරන්න මම සූදානම් නැහැ. බෑන්ඩ් එකවත් සූදානම් නැහැ.

ඔබ හිතනවාද රසිකයෝ එවැනි ආමන්ත්‍රණයකට ඉඩදේවි කියලා?

මම ඒකයි කිව්වේ. මට කරන්න පුළුවන් මගේ ජීවිතේ හුස්ම තිබෙනකම් මම උපරිම සින්දු කියන්න උත්සාහ කරනවා. මමත් ආසයි මගේ ජීවිතය විඳින්න. මොකද මගේ ජීවිතයේ බාගෙට බාගයක් සංගීත කණ්ඩායම වෙනුවෙන් කැප කරලයි තියෙන්නේ. මම හිතනවා ආපසු හැරිලා බලද්දී පෞද්ගලික ජීවිතයට තමයි මම ඉඩක් අරගෙන නැත්තේ.

දුව” පුතා මේ වැඩේ භාරගන්න අදහසක නැතිද?

මම ඒගොල්ලන්ට කිසි දවසක බලකරන්නේ නැහැ. ඒ ගොල්ලන්ට ඒගොල්ලන්ගේ අරමුණු පස්සේ යන්න ඉඩදීලා තිබෙනවා මිසක් මෙවැනි දේවල් අපි බලෙන් කරගන්න ඕනෑ නැහැ. හැමෝටම කැමැති දෙයක් ආසා දෙයක් තියෙනවා. ඒගොල්ලෝ ඒවා කරන්න ඕනෑ. දරුවෝ දෙන්නා ලංකාවේ නෙමෙයි ඉන්නේ. ඒගොල්ලො ඉන්නේ ඔස්ටේ්‍රලියාවේ. මගෙන් පස්සේ යම් මතු දවසක දරු මුණුපුරෙක් හරි මොනවා හරි අනාගතේ කරාවි.

නලින් එළියට බැස්සා කියන්නේ වැඩේ ලේසිවෙන්නේ නැහැ?

මෙහෙමයි. මම තව කෙනෙකුට පහර ගහන්නවත් තව කෙනෙක්ව පල්ලෙහාට අදින්නවත් නෙමෙයි එළියට එන්නේ. අපි අපේ දේ කරන්නයි එළියට එන්නේ. එතකොට අපිට ආදරය කරන අය දැකබලාගන්න අපිත් ආසාවෙන් ඉන්නේ. ඒ අයත් අපිව දැකබලාගන්න ආසාවෙන් ඉන්න මොහොතක්. මට මුල අමතක කරන්න බැහැ. එළිමහන් ප්‍රසංග වේදිකාවේ ඉස්සරහ ඉඳලා අපිට අත්පුඩි ගහපු රසික ජනතාව අමතක කරන්න බැහැ. ඔවුන්ගේ ආශිර්වාදය” ආදරය අපිව තවමත් ජීවත් කරවනවා. ඉතිං මම හිතන්නේ නැහැ පෙර කළා වගේ නගරයෙන් නගරයට ගිහිල්ලා ප්‍රසංග පවත්වන්න පුළුවන් වේවි කියලා. හැබැයි ප්‍රධාන නගරවල සුවිශේෂී අවස්ථාවන් සමග අපට මේ කටයුත්ත කරන්න පුළුවන් වේවි. අපිත් ඒ ලෙවල් එකට කරන්න උත්සාහ කරනවා. මම දන්නවා ලංකාවේ කොහේ ප්‍රසංගයත් තිබ්බත් අපේ රසිකයෝ අපිව බලන්න එනවා කියලත්.

ඔබ රසිකයෝ ගෙදර යවන්නේ නැතිව තනිවම සින්දු කියපු අවස්ථා තිබුණා. ඒ අතීතයට ගියොත්?

මම ඇත්තටම එන්ටර්ටේනර් කෙනෙක් හැටියට රසික ප්‍රජාවට අසාධාරණයක් කරන්නේ නැහැ. මම දන්නවා මට තියෙන ඩියුටි එක මොකක්ද කියලා. ඒක මම හරියට කරන හින්දනේ ඔබ සඳහන් කළ ආකාරයට අපි නොකැඩී නොවැටී එක දිගට යන්නේ. අවුරුදු විස්සකට එහා ඉදලා ඉන්න කට්ටිය මේ ඉන්නේ. රෝසා අවුරුදු 33 ක්” රුවන් අවුරුදු 32 ක්” දිලීප අවුරුදු 17 ක්” අනෙක් ඔක්කොම අවුරුදු 20 ක්. එච්චර කාලපරිච්ඡේදයක් මගෙත් එක්ක ඉන්නේ මොකක් හරි හේතුවක් හින්දනේ. හැම තිස්සේම මම විෂන් එකක් තිබෙන නායකයෙක්. මම වැඩක් එනකම් බලාගෙන ඉන්න නායකයෙක් නෙමෙයි. වැඩක් පෙන්නලා වැඩක් ගන්න කෙනෙක්. ඒක හින්දා අපිට ගේමක් කියලා එකක් කාත් එක්කවත් නැහැ. ගේම් එක තියෙන්නේ අපිට අපිත් එක්කම පමණයි.

මේරියන්ස් පවුලේ සාමාජිකයන් මේ තීරණයට එකඟ වුණාද?

මෙහෙමයි. එළිමහන කිව්වහම ගොඩක් අය හිතන්නේ එළිවෙනකම් ෂෝ ගහපු කාලය කියලයි. අවංකව කියනවා නම් අපිට ඒක හරි අමිහිරි අත්දැකීමක්. ඉතිං අපි ඒ සියලු දේ නැති කරලා සීමාසහිත වෙලාවකට හදලා තිබෙනවා පැය 3ක උපරිම පැය තුනහමාරක කාලයකට. ඒක අපි රසිකයො වෙනුවෙන් ගන්න සාධාරණ තීන්දුවක්. එදිනෙදා කාලබීලා ඉන්න මේරියන්ස්ලාට ආදරය කරන අයටත් ටිකට් එකක් අරගෙන බලන්න තමයි මේ වැඩේ කරන්නේ. අනික බෑන්ඩ් එකේ අය දන්නවා මම වැරදි තීන්දුවක් ගන්නේ නැහැ කියලා. විවිධ අදහස් උදහස් ආවා. ඒ හැම දෙයකටම මා ළඟ උත්තර තිබෙනවා. මම උත්තරයක් නැතිව අයාලේ දෙයකට අත තියන්නේ නැහැ. අපි සිංගීත කණ්ඩායමක් හැටියට හුස්ම ගන්නේ මහජනතාව නිසා නම් අපි ඒ අය වෙනුවෙන් යමක් කරන්නේ නැතිනම් ජනතාවගේ සංගීත කණ්ඩායම වෙන්නේ නැහැ.

ඔබේ පාසල වෙනුවෙන් ප්‍රසංගයක් කරනවා නේද?

හලාවත ශාන්ත මරියා තමයි මගේ පාසල. ඉතිං මේ විද්‍යාලයේ 6”7”8 ශ්‍රේණිවලට තෙමහල් ගොඩනැඟිල්ලක් අපි ඉදිකරනවා. ඉතිං මම ආදිශිෂ්‍යයෙක් හැටියට අපි සංවිධානය කරනවා ඇවෙන්ඩ්‍රා ගංගාරා වෙන්නප්පුව කාර් පාර්ක් එකේ අවුට්ඩෝ ඉවෙන්ට් එක. මේකට රූකාන්ත ගුණතිලක” භාතිය” සන්තුෂ්” ජය ශ්‍රී සහභාගි වෙනවා. මේරියන්ස්ලාත් මේකෙ ඉන්නවා. මේක ඇවිල්ලා කාලබීලා නටන්න පුළුවන් හොඳ චාන්ස් එකක්.

මේක ඔබේ මූලිකත්වයෙන්ද සිද්ධ වෙන්නේ?

ආදිශිෂ්‍ය සංගමයේ අපේ කණ්ඩායමේ වැඩක්. ඉතිං ඒකේ පළමු අත්තිවාරමේ වැඩේට තමයි මේ අරමුදල් එකතු කරන්නේ. අපේ අරමුණ මිලියන දහයක් හොයාගන්න. මේ වෙනකොටත් අපි සියයයට පනහකට අධික ප්‍රමාණයක් හොයලා තිබෙනවා. අපේ සිහිනය සැබෑ කරගන්න උත්සාහයක් දරනවා. ඉතිං අපේ ආදරණීය හලාවත” මාරවිල” වෙන්නප්පුව” නාත්තණ්ඩිය පැතිවල ඉන්න සියලුම සංගීත ලෝලීන්ට කාලබීලා විනෝදවෙන්න 09 වැනිදාට එන්න කියනවා.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment