නෙත් පාදා අඳුරේ තැබීම හෙවත් දෘශ්‍යාබාධිත උපාධිධාරීන්ගේ විරැකියා අර්බුදය

72

දෙනෙත් නොපෙනී, උපාධියක් හිමිකර ගැනීම දක්වා දුරක් ගමන් කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ…

දෘශ්‍යාබාධිත වුණත් අපිටත් හීන තියනවා…

දෘශ්‍යාබාධිත උපාධිධාරීන් වෙනුවෙන් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පමණය…

සමස්ත උපාධිධාරීන් හිඳින්නේ දැඩි අර්බුදයකය. ඔවුනගේ ‘රස්සා අර්බුදය’ ඉතා දිගු කාලයක සිට රටේ සංවාදයට බඳුන් වන විවාදාපන්න මාතෘකාවකි. මෙරට විශ්වවිද්‍යාල පාඨමාලා බොහොමයක් වර්තමාන රැකියා වෙළෙඳපොළට නොගැළපීම, රැකියා සම්බන්ධයෙන් උපාධිධාරීන්ගේ ආකල්ප යනාදී බොහෝ ඊට හේතුව වී තිබේ.

කෙසේ වෙතත්, මෑතක් වන තුරුම මෙරට විශ්වවිද්‍යාලවලින් පිටවන උපාධිධාරීන් බහුතරයකගේ සේවා යෝජකයා බවට පත් වූයේ රාජ්‍ය අංශයයි. කොවිඩ් ව්‍යසනයේ බලපෑමත්, ඉන් පසුව ඇති වූ ආර්ථික අර්බුදයත් හේතුවෙන් සමස්තයක් ලෙස රැකියා වෙළෙඳපොළ හැකිළී ගිය අතර ඉකුත් වසර තුනක කාලය තුළ රාජ්‍ය සේවය සඳහා උපාධිධාරීන් බඳවා නොගැනීම උපාධිධාරීන් අතර විරැකියාව උත්සන්න කිරීමට හේතු වී තිබේ. දෘශ්‍යාබාධිත උපාධිධාරීන්, මේ අතරින් වැඩිම අර්බුදයට ලක් වූ කාණ්ඩය ලෙස හඳුනාගත හැකිය.

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල තවමත් දෘශ්‍යාබාධිත වූවන්ට හැදෑරීමට පහසුකම් ඇත්තේ කලා විෂය ධාරාවට අයත් උපාධි පාඨමාලා පමණකි. මෙය ඔවුන්ගේ විරැකියා ප්‍රශ්නය කෙරෙහි බලපාන එක් තීරණාත්මක සාධකයකි. එමෙන්ම, විශේෂ හැකියා සහිත ප්‍රජාව පිළිබඳව දියුණු ආකල්ප සහිත පෞද්ගලික අංශයක් තවමත් ගොඩනැඟී නොතිබීමද ඔවුන් රජයේ උපාධිධාරී පත්වීම් මතම රඳා පැවතීමට හේතු වී තිබේ. රජයේ රැකියා සඳහා උපාධිධාරීන් බඳවා නොගත් ඉකුත් තෙවසර තුළ හා ඊට පෙර වසරෙහි මෙරට විශ්වවිද්‍යාලවලින් පිට වූ දෘශ්‍යාබාධිත උපාධිධාරීන්ගේ වත්මන් තත්ත්වය කෙබඳු ද?

● හැදෑරීම

පසුගිය වසර 4 තුළ විශ්වවිද්‍යාලවලින් උපාධි ලබා පිටවූ දෘශ්‍යාබාධිත සිසුන් සංඛ්‍යාව ආසන්න වශයෙන් 75 පමණ වේ. අප මේ ලිපිය වෙනුවෙන් කතා බහ කළේ ඉන් 30 දෙනකු සමගය. ඔවුන් ශ්‍රී ජයවර්ධනපුර, කැලණිය, කොළඹ, යාපනය සහ පේරාදෙණිය යන විශ්වවිද්‍යාලවලින් උපාධිය සමත් වූවන් වන අතර, සියලුම දෙනා කලා උපාධිධාරීන්ය. ඉන් 16 දෙනකු ස්ත්‍රීන් වන අතර 14 දෙනෙක් පුරුෂයන්ය. එයින් පූර්ණ දෘශ්‍යාබාධිත තත්ත්වයෙහි පසු වන අය 10 දෙනෙකි. දිවයිනේ සියලුම පළාත් නියෝජනය කරන සිංහල, දෙමළ හා මුස්ලිම් ජනවර්ගවලට අයත් උපාධිධාරීන් මෙම නියැඳියට අයත් වේ.

මෙයින් 20 දෙනකු සාමාන්‍ය උපාධිද 10 දෙනකු විශේෂවේදී උපාධිද හදාරා ඇත. ඒ සඳහා තෝරාගෙන ඇති විෂයයන් වන්නේ, දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව, සිංහල, බෞද්ධ ශිෂ්ටාචාරය සහ බෞද්ධ අධ්‍යයනයයි. උපාධිය හැරුණු විට, විවිධ පාඨමාලා හැදෑරීමෙන් ඔවුන්ගෙන් වැඩි දෙනකු සිය දැනුම හා හැකියාවන් වර්ධනය කර ගෙන ඇති බව පැහැදිලිය. මේ අතරින්, අඩකට වැඩි පිරිසක් පරිගණක හා ඉංග්‍රීසි පාඨමාලාද 11 දෙනකු මානව සම්පත් කළමනාකරණය පිළිබඳ පාඨමාලා ද 6 දෙනකු කළමනාකරණය පිළිබඳ පාඨමාලාද හදාරා තිබුණු අතර තවත් 6 දෙනකු මාධ්‍ය පිළිබඳ පාඨමාලා හදාරා තිබිණි.

තවදුරටත් අධ්‍යාපන කටයුතුවල නිරත වීමේ අපේක්ෂාව පිළිබඳව කළ විමසා බැලීමේදී ඔවුන්ගෙන් සියයට 80ක්ම ප්‍රකාශ කළේ පශ්චාත් උපාධියක් හැදෑරීමට කැමැත්තෙන් පසුවන බවයි. එහෙත් පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු ආරම්භ කර ඇත්තේ ඉන් දෙදෙනකු පමණි. පවතින ආර්ථික පීඩනය බොහෝ දෙනකුට අධ්‍යාපන කටයුතුවල නිරත වීමට දැඩි බාධකයක් වී තිබේ. එමෙන්ම මෙතෙක් ලද අධ්‍යාපනයට නිසි වටිනාකමක් නොලැබීමද ඔවුන් මන්දෝත්සාහී කිරීමට හේතු වී ඇති බව පැහැදිලිය.

● සියයට 73ක් විරැකියාවෙන්

අප කතාබහ කළ 30 දෙනාගෙන්, උපාධිය ලැබීමෙන් පසුව කවර මට්ටමක හෝ රැකියාවක නිරතව ඇත්තේ 12 දෙනකු පමණි. 18 දෙනකුම කිසිදු රැකියාවක නිරත වී නැත. ප්‍රතිශතයක් ලෙස එය සියයට 60කි. මේ වන විට රැකියාවක නිරත වී සිටින්නේ 8 දෙනකු පමණි. 22ක්ම විරැකියාවෙනි. ප්‍රතිශතයක් ලෙස එය සියයට 73කි.

රැකියාවේ ස්ථාවරත්වය පිළිබඳව සැලකූ විට, ඒ කිසිවකු ස්ථිර සේවයෙහි පිහිටුවා නැත. වැටුප හෝ ආදායම අනුව, ඔවුන්ට හිමිවන උපරිම ආදායම රු. 30,000කි. එම ආදායම ලබන උපාධිධාරීන්ගේ සංඛ්‍යාව දෙදෙනෙකි. සෙසු හය දෙනා ඊට වඩා අඩු වැටුප්වලට සේවය කරති. කලින් රැකියාවක නිරතව, දැන් නැවත රැකියා විරහිතව සිටින 4 දෙනාගෙන් තිදෙනකු, වැටුප ප්‍රමාණවත් නොවීම, ප්‍රවාහන දුෂ්කරතා, අධ්‍යාපන මට්ටමට ගැළපෙන රැකියාවන් නොවීම යනාදී හේතු මත රැකියාව අත්හැර ඇති අතර එක් අයකු අදාළ ව්‍යාපෘති අවසන් වීම මත විරැකියා තත්ත්වයට පත්ව තිබේ.

● උපාධිය සහ රැකියා වෙළෙඳපොළ

මෙහිදී විශේෂයෙන් සැළකිය යුතු කාරණය වන්නේ, බහුතරයක් දෙනා හදාරා ඇති උපාධි පාඨමාලා වර්තමාන රැකියා වෙළඳපොළට නොගැළපීමයි. බොහෝ දෙනා ඉතිහාසය, බෞද්ධ ශිෂ්ටාචාරය, බෞද්ධ දර්ශනය, සිංහල, වැනි විෂයයන් වැඩි වශයෙන් හදාරා තිබුණි. එය රැකියාගත වීමේදී ගැටලුසහගත වූ බව ඔවුන් බොහෝ දෙනකුගේ අත්දැකීමයි. විශේෂයෙන් පරිගණක විද්‍යාව වැනි විෂයන් කාලීන අවශ්‍යතාව අනුව ඉතා ඉහළ වටිනාකමක් සහිත වුවද ඒවා උපාධි පාඨමාලාවක් ලෙස හැදෑරීමට ලංකාවේ දෘශ්‍යාබාධිත සිසුන්ට අවස්ථාව නැත. බොහෝ දෙනකු බාහිර පාඨමාලා ඔස්සේ එම දැනුම යම් පමණකට ලබාගෙන තිබුණද රැකියා වෙළෙඳපොළ ජයගැනීමට එය ප්‍රමාණවත් නොවේ. මෙම තත්ත්වය අනාගත උපාධිධාරීන් කෙරෙහි මීටත් වඩා දැඩි බලපෑමක් ඇති කරන බව පැහැදිලිය.

දෘශ්‍යාබාධිත උපාධිධාරීන්ද ඇතුළුව විශ්වවිද්‍යාලවලින් පිටවන උපාධිධාරීන්ගේ විරැකියා ගැටලුව කෙරෙහි විශ්වවිද්‍යාලවල අවධානය හා මැදිහත්වීම කෙබඳුද? මේ ගැන කළ සොයාබැලීමේදී ඒ පිළිබඳ යම් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පමණක් බව හෙළි විය.

මීට මාස කිහිපයකට පෙර ඔවුන් ජයිකා (JICA) ආයතනය සමග එක්ව විශ්වවිද්‍යාලයෙන් පිට වූ දෘශ්‍යාබාධිත හෝ වෙනත් ආබාධ සහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහනක් අරඹා තිබුණි. ඒ යටතේ කථනාබාධ සහිත උපාධිධාරීන් දෙදෙනෙක් රැකියාවන්ට යොමු කිරීමට හැකි වූ බව මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය හීන්කෙන්ද මහතා පැවසුවේය.

● කළ යුතු දේ ගැන ආණ්ඩුවට යෝජනා

මෙම ගැටලුවට විසඳුම් ලෙස, දෘශ්‍යාබාධිත උපාධිධාරීන් අතරින්ම බොහෝ යෝජනා ඉදිරිපත් විය. මෙම ගැටලුවට විසඳුම් සෙවීමේ ක්‍රියාවලියකදී එම අදහස් අතිශයින්ම වැදගත් වේ.

විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන මගින් රැකියා වෙළෙඳපොළටද සරිලන ලෙස පාඨමාලා නිර්මාණය කළ යුතු බවත්, කලා විෂයධාරාවට සීමා නොකොට සෙසු විෂයධාරාවලට අයත් උපාධි හැදෑරීම සඳහා දෘශ්‍යාබාධිත සිසුන්ටද පහසුකම් සැලසිය යුතු බවත් ඉන් ප්‍රධාන යෝජනාවකි. එමෙන්ම දෘශ්‍යාබාධිත උපාධිධාරීන්ට රජයේ රැකියා ලබා දීම සඳහා යම් ස්ථාවර වැඩපිළිවෙළක් ඇති කළ යුතුය. ඔවුන්ට ඉතා සාර්ථකව නිරත විය හැකි වෘත්තීය ක්ෂේත්‍ර හඳුනාගෙන, එම ක්ෂේත්‍රවල පුරප්පාඩු සඳහා ඔවුන් බඳවාගැනීමේ ක්‍රමවේදයක් ඇති කළ හැකිය. උදාහරණයක් ලෙස දෘශ්‍යාබාධිත දරුවන් ඉගෙනුම ලබන පාසල්වල ගුරුවරුන් ලෙස හා විශ්වවිද්‍යාලවල එම සිසුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා උපදේශකවරුන් ලෙස දෘශ්‍යාබාධිත උපාධිධාරීන්ගේ සේවය ලබාගත හැකිය.

එමෙන්ම රජයේ රැකියා ලබා දීමේදී ආබාධ සහිත අයට 3% අවස්ථාවක් ලබා දිය යුතු බව සහතික කෙරෙන චක්‍රලේඛණය ක්‍රියාත්මක විය යුතුය.

රජය පෞද්ගලික අංශය හා රාජ්‍ය නොවන සංවිධාන හා එක්ව මොවුන් රැකියාගත කිරීම සඳහා යම් වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බව තවත් යෝජනාවකි. රැකියාගත වීමේ දී පුහුණුවීම් අත්‍යවශ්‍ය බැවින් ඒ සඳහා අවස්ථාව හිමි කරදිය යුතු ය. එමෙන්ම දෘශ්‍යාබාධිත උපාධිධාරීන්ද වෘත්තීය පුහුණුවීම් ලබාගැනීමට සූදානම් විය යුතු වේ.

දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට දුරකථන සහායකයන්, පර්යේෂකයන්, පරිගණක ක්‍රියාකරුවන් ආදී බොහෝ වෘත්තීන්හි සාර්ථකව නියැලිය හැකි වන අතර පෞද්ගලික අංශයේ සුදුසු රැකියා සඳහා ඔවුන් යොමු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතුය. පෞද්ගලික අංශයේ ආකල්පමය සංවර්ධනයක් ඇති කිරීමේ වැඩපිළිවෙළක්ද ඊට සමගාමීව දියත් විය යුතුව තිබේ.

විශේෂයෙන් රජයේ සහ පෞද්ගලික අංශයේ ආයතන ප්‍රධානීන් හා කළමනාකරුවන්ට දෘශ්‍යාබාධිත පුද්ගලයන්ගේ හැකියාවන් සහ ඔවුන්ට හිතකර රැකියා පරිසරයක් ඇති කිරීම පිළිබඳව අවබෝධයක් ලබාදිය යුතුය. විශේෂ හැකියා සහිත වූවන් පිළිබඳ දක්වන දියුණු ආකල්පය හා අනුග්‍රහශීලීබව, ආයතනවල කීර්තිනාමය ඉහළ නංවන්නකි. දැනටමත් ඇතැම් පෞද්ගලික ආයතන එබඳු ප්‍රතිපත්ති ක්‍රියාවට නංවා තිබේ. සංඥා භාෂාවෙන් කටයුතු කරන (කථන ආබාධ සහිත) සේවකයන් යොදවා පවත්වාගෙන යන, තිඹිරිගස්යාය ප්‍රදේශයේ පීසා අවන්හල ඊට කදිම නිදසුනකි. එවැනි කටයුතු දිරිගැන්විය යුතුය. එය විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවලින් ඵලදායී ලෙස කළ හැකිය.

තමන්ගේම ව්‍යාපාර හෝ ස්වයං රැකියා කරන්නන් සඳහා ණය හෝ ආධාර ලබාදීමේ වැඩසටහනක් බොහෝ දෙනාගේ අපේක්ෂාව විය. එවැනි වැඩපිළිවෙළක්, රජය රැකියා ලබාදෙන තෙක් බලා නොඉඳ තමන්ගේම දෙයක් ඇරඹීමට අත්වැලක් ද වනු ඇත. ඒ සඳහා රජය, රාජ්‍ය නොවන සංවිධාන හා පෞද්ගලික අංශයේ මැදිහත්වීම ඉතා වැදගත්ය.

ඒ ඔවුන්ගේ යෝජනාවන්ය. ඒ පිළිබඳව අදාළ අංශ අවධානය යොමු කරනවා නම් මේ ගැටලුව බොහෝ දුරට නිරාකරණය කිරීමට හැකි වනු ඇත.

● ඩිලානි, ලක්මිණි සහ විජේකාන්ත්

නෙත් පාදා අඳුරේ තැබීම හෙවත් දෘශ්‍යාබාධිත උපාධිධාරීන්ගේ විරැකියා අර්බුදය
ලක්මිණි වාසනා

දෘශ්‍යාබාධිත සිසුන් බොහෝ දෙනකු උපාධිය සමත් වීම කරා පැමිණි ගමන, සැබැවින්ම සිසු පරපුරට ආදර්ශ සපයන වීර කාව්‍යයකි. ඒ පිටුපස දෙමාපියන්, සහෝදරයන්, මිතුරන්, ගුරුවරුන් වැනි බොහෝ දෙනකුගේ කැපකිරීම් තිබේ. ඔවුන් කිහිපදෙනකුගේ අත්දැකීම් විමසා බැලීම ඔවුන් මුහුණපාන ගැටලු පිළිබඳව සමීප අවබෝධයක් ලබා ගැනීමට වැදගත් වේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබාගත් ඩිලානි සඳමාලිගේ සිය අත්දැකීම මෙසේ විස්තර කළාය.

“මම උපාධිය ලබාගන්නේ 2020දී. 2021 ඉඳලා කැලණිය විශ්වවිද්‍යාලයේ පරිගණක උපදේශකවරියක ලෙස කටයුතු කළා. නමුත් ප්‍රවාහන දුෂ්කරතා, නවාතැන් ගැටලු එක්ක ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවීම නිසා මම මෑතකදී ඒ රැකියාවෙන් ඉවත් වුණා. මම දැනට පානදුර ප්‍රදේශයේ පවත්වාගෙන යන විෂන් ලංකා ආයතනයේ වැඩ පරීක්ෂකවරිය ලෙස කටයුතු කරනවා. මේ ආයතනයෙන් කරන්නේ හඳුන්කූරු, පහන්තිර හා ඉටිපන්දම් නිෂ්පාදනය. මේ සියලු කටයුතු කරන්නේ අපේම දෘශ්‍යාබාධිත පුද්ගලයන්. ලොකු වැටුපක් නැතත් අපි වගේම පිරිසකට මින් සේවයක් වන නිසා මට ලොකු ආත්මතෘප්තියක් ලැබෙනවා.”

ඇය පරිගණක විෂය මෙන්ම තවත් බොහෝ හැකියාවන් ඇති තරුණියකි. දෘශ්‍යාබාධිත උපාධිධාරීන් මුහුණ පා ඇති විරැකියාව පිළිබඳව ඇය මෙසේද පැවසුවාය.

“රජය පොදුවේ රැකියා ලබාදීම නතර කළත්, ආබාධිත ප්‍රජාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතුව තිබුණා. ඒ නිසා මම රජයෙන් සහ පෞද්ගලික අංශයෙන් ඉල්ලා සිටින්නේ ආබාධිත ප්‍රජාව ගැන මානුෂීය ලෙස සලකා ඔවුන් රැකියාගත කිරීමට වැඩපිළිවෙළක් යොදන්න කියලා.”

යාපනය විශ්වවිද්‍යාලයෙන් උපාධිය නිම කළ විජේකුමාර් විජේකාන්ත් පූර්ණ දෘශ්‍යාබධිත තත්ත්වයේ පසුවන අතර ඔහු එම තත්ත්වයට පත්ව ඇත්තේ මුල්ලිවෛකාල්හී 2009 දී සිදු වූ බෝම්බ පිපිරීමකිනි.

රැකියාවක නිරත වුවද පවතින අර්බුදය හමුවේ එයින් ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවන බවත්, රජය පැත්තෙන් සාධාරණයක් ඉටු විය යුතු බවත් ඔහු පැවසුවේය.

“මම විවාහකයි. මට දරුවන් දෙදෙනෙක් ඉන්නවා. දැනට සමාජ සේවා කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධානයක සේවය කරනවා. බිරිඳ රැකියාවක් කරන්නේ නෑ. මට රු. 30,000ක වැටුපක් ලැබෙනවා. දැනට පවතින වියදම් එක්ක වැටුප කිසිසේත් ප්‍රමාණවත් නෑ. වැඩිමහල් දරුවා දැනට පෙර පාසල් යනවා. ඔහුගේ වියදම විතරක් මාසෙකට රු. 15,000ක් විතර වෙනවා.”

ලක්මිණි වාසනා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සිංහල විෂයෙන් ප්‍රථම පෙළ පංති සමාර්ථයක් සහිතව උපාධිය හිමිකර ගත් අයෙකි. ඉන් පසුව වසරක කාලයක් සිංහල අධ්‍යන අංශයේ සහාය කථිකාචාර්යවරියක ලෙස සේවය කළ ඇය, මේ වන විට රැකියා විරහිතව සිටී. ලංකාවේ ප්‍රචලිත පරිගණක ආයතනයක වසරක පුහුණු කාලයක් සම්පූර්ණ කර ඇති ඇය, මේ වන විට සිංහල විෂය උගන්වන යූටියුබ් චැනලයක් පවත්වාගෙන යයි.

“මම රජයෙන් අහන්නේ අපිට සුදුසුකම් සම්පූර්ණ කරගෙන තියෙද්දිත් මේ විදියට නොසලකා හරින්නේ ඇයි කියලා. ඒ වගේම මම උපාධිධාරීන්ට සහ අපේක්ෂකයන්ට කියන්නේ, තමන්ගේම දෙයක් පුළුවන් විදියට ආරම්භ කරන්න. එතකොට කාටවත් අත නොපා ජීවත්වෙන්න මාර්ගයක් හැදේවි.”

● සෆ්‍රාස්, ආසිරි සහ ඩිලක්ෂියා

කල්පිටියේ පදිංචි අහමඩ් සෆ්‍රාස්, කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධිය හිමිකර ගත් මුස්ලිම් ජාතික දෘශ්‍යාබාධිත තරුණයෙකි. ශාරීරික ආබාධ සහිත තරුණියක හා විවාහ වී සිටින අතර ඔවුන්ට කුඩා දරුවකුද සිටී.

“මට ඉස්ලාම් සංස්කෘතිය පිළිබඳ පංති සමාර්ථයක් සහිත උපාධියක් තියෙනවා. පන්ති සමාර්ථ ලබාගත් අයට අධ්‍යයන අංශයේ සේවයට අවස්ථාව ලබා දෙනව කිව්වත්, ඒ අවස්ථාව ලැබුණෙ නෑ. දැනට මම ඉස්ලාම් පල්ලියක සහ පාසලක සේවය කරනවා. ඒ ස්ථාන දෙකෙන්ම 15,000 බැගින් මසකට රු. 30,000ක මුදලක් ලැබෙනවා. නමුත් පවතින ආර්ථික අර්බුදයත් එක්ක ඒ වැටුප ප්‍රමාණවත් නෑ. ඒ වගේම හදිසි ගමනක් යන්න වුණත් අපිට යන්න වෙලා තියෙන්නේ කුලී වාහනවලින්. ඒ නිසා ප්‍රවාහනයට විශාල වියදමක් යනවා. ඉතින් රජයට මට කියන්න තියෙන්නේ, කුඩා කාලෙ ඉඳල ඉගෙනගන්න කියලා අන්තිමට මෙහෙම අත්හරිනවාට වඩා හොඳයි මුලදිම අත්හැර දැම්මනම්. රජය අපට මේ විදිහට සැලකීම හරිම කනගාටුදායකයි.”

මඩකලපුවේ පදිංචි ජේ. ඩිලක්ෂියා, කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියකි. වසර කිහිපයක් විවිධ රාජ්‍ය නොවන සංවිධාන සමග කටයුතු කර ඇති ඇය, ඒ ව්‍යාපෘති අවසන් වීම හේතුවෙන් මේ වන විට රැකියා විරහිතව සිටී. ඇය මේ වන විට විවාහකය. “දැනට මම නිවසේ ව්‍යාපාරයක් කරගෙන යනවා. ඒත් මට ස්ථිර රැකියාවක දැඩි අවශ්‍යතාව තියනවා. මොකද මට අම්මා විතරයි ඉන්නේ. ඇයත් බලාගන්නේ මම. දෘශ්‍යාබාධිත වුණත් අපිටත් හීන තියනවා. ඒ හීන හැබෑ කරගන්න අපිත් ආසයි. මගෙ අම්මා සතුටින් තියන්න, තව ඒ වගේ පුංචි පුංචි හීන තියෙන්නේ. ඉතින් රජය හෝ පෞද්ගලික අංශය අපට සාධාරණ අවස්ථාවක් ලබාදෙනවා නම් වටිනවා.”

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උපාධිය හිමිකරගත් ආසිරි ජයසිංහ වැලිමඩ ප්‍රදේශයේ පදිංචිව සිටී. ඔහු පවසන්නේ, සමාජ ආකල්පවල පසුගාමී බව සිය ඉරණම කෙරෙහි දැඩිව බලපා තිබෙන බවයි.

“මම උපාධිය ලබාගන්නේ 2022 වර්ෂයේ. මගෙ පියා පසුගිය වසරේ නැති වෙනවා. පවුලේ වැඩිමහල් පිරිමි ළමයා මම. තාත්තා නැති වුණාට පස්සේ අපේ පවුල ගොඩක් අසරණ වෙනවා. අදටත් අපි කන්න බොන්න පවා නැතුව ඉන්න දවස් තියනවා. මම දැන් කලක් තිස්සේ රැකියා සොයනවා. ඒත් ලැබුණෙ නෑ. මගේ පරිගණක හැකියාව ඉතාම හොඳ මට්ටමක තියනවා. ඒත් දෘශ්‍යාබාධිත බව නිසා මට රැකියා අවස්ථා කීපයක්ම අහිමි වුණා. ඇත්තටම දෘශ්‍යාබාධිත බව ඒ රැකියා කරන්න බාධාවක් නෙවෙයි. ගැටලුව තියෙන්නේ සමාජය ඒ ගැන නොදන්නාකම. විශ්වවිද්‍යාලයට ගිහින් උපාධියක් ලබාගත්තත් තාම අපි දිහා බලන්නේ සාම්ප්‍රදායික විදිහට. ඒ ආකල්ප වෙනස් නොවීම විශාල ගැටලුවක්. මගෙ විරැකියාවත්, තාත්තා නැති වුණාට පස්සේ පවුලට මගේ වගකීම ඉටු කරන්න බැරිවීමත් මට ලොකු පීඩාවක්.”

‘රජයේ වගකීම ඉටු කරන්න’

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ වර්තමාන භාණ්ඩාගාරික සුගත් වසන්ත, මෙම ප්‍රජාවගේ ගැටලු සම්බන්ධයෙන් බොහෝ කලක සිට කටයුතු කරන්නෙකි. ඔහු ඒ පිළිබඳව අප සමග අදහස් පළ කළේය.

“2012 වර්ෂයේ කරන ලද ජන සංගණනයට අනුව ලංකාවේ ආබාධිත ප්‍රජාව මිලියන එකහමාරකට වැඩියි. ඉන් දෘශ්‍යාබාධිත පුද්ගල සංඛ්‍යාව මිලියනයකට ආසන්නයි. මින් විරැකියාවෙන් පෙළෙන ප්‍රමාණය සියයට 77ක් පමණ වෙනවා. අධ්‍යාපනය අතරමගදී අත්හැරුණු හා අධ්‍යාපනය නොලැබූ පිරිස්ද ඊට අයත් වෙනවා. අභියෝග, දුෂ්කරතා රැසක් මැද උසස් අධ්‍යාපනය ලැබූ උපාධිධාරී දෘශ්‍යාබාධිත පිරිසගේ තත්ත්වය ඉතාම කනගාටුදායකයි. මොකද වසර ගණනක් උපාධියක් ලැබීමට වෙහෙසිලා, ඔවුන් වගේම ඔවුන්ගේ පවුල්වල අයත් වෙහෙසිලා අවසානයේ කිසිම ප්‍රයෝජනයක් නොලැබීම කොහෙත්ම හොඳ තත්ත්වයක් නෙවෙයි. මෙයින් ඉගෙනුම ලබමින් සිටින දෘශ්‍යාබාධිත දරුවන් පවා සෘණාත්මක වීමට පුළුවන්. රජය රැකියා නොලබාදීම මේ ගැටලුවේ ප්‍රධාන හේතුවයි. මෙතරම් සංඛ්‍යාව වර්ධනය වීමට පෙර වසරක් පාසා දෘශ්‍යාබාධ සහ වෙනත් ආබාධ සහිත උපාධිධාරීන් රැකියාගත කිරීමට නිශ්චිත වැඩපිළිවෙළක් තිබුණා නම් මෙහෙම වෙන්නේ නෑ. එවැනි පියවරකට කිසිවකු විරුද්ධ වේ යැයි සිතන්න බැහැ. රටක සිටින ආබාධිත ප්‍රජාවගේ සුරක්ෂණය රජයේ වගකීමක්. එය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තියටත් එකඟයි. අප රට තුළ පවතින චක්‍රලේඛවලටත් අනුකූලයි. ඉතින් ඒවා ක්‍රියාත්මක නොවීම තමයි ගැටලුව.”

සත්‍යා නිර්මාණි

advertistmentadvertistment
advertistmentadvertistment