හැමෝම බලන් හිටියොත් රට වැටෙනවා,ඒක නිසයි අපි එකතු වෙන්න ඕන

79

පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිනී විජේරත්න

පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිනී විජේරත්න පසුගියදා ජාතික ආණ්ඩුවක ඇති වැදගත්කම ගැන දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කර තිබිණි.මන්ත්‍රීවරිය එහිදී, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර පුළුල් එකඟතාවක් සහිත ක්‍රියාවලියකට යායුතු බවද සඳහන් කර තිබිණි. මේ ඒ ගැන ඇය සමග කරන ලද කෙටි කතාබහකි.

ප්‍රශ්නය – රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් මහතා ඇතුළු විපක්ෂය එකතුවී මේ රට ගොඩනැඟිය යුතු යැයි මේ දිනවල ඔබ හඬක් නඟමින් සිටිනවා. මේ දිනවල පමණක් නොවෙයි මෙය ඔබ පෙර සිටම කියූ දෙයක්. ඒ පාර්ශ්ව එකතු වීමෙන් රට ගොඩනැඟිය හැකි යැයි ඔබ විශ්වාස කරනවද?

පිළිතුර – මේ රටේ ඇහැ කන පෙනෙන හැමෝටම තේරෙනවා දැන් ලංකාවේ මොකක්ද වෙලා තියෙන්නෙ කියලා. දැන් අපි නහය දක්වාම ගිලිලා ඉවරයි. මේ විදියට ගියොත් අපිට මොකද වෙන්නේ? මේ තත්ත්වයෙන් රට ගොඩනැඟීමට අවුරුදු 25 ක වත් ජාතික නායකත්වයක් අප රටේ තිබිය යුතුයි. එහෙම නැතුව මේ යන ගමන වැඩි කාලයක් යන්න බෑ. මේ රටේ විශාල බුද්ධිගලනයක් සිදුවෙනවා. ඩොක්ටර්ස්ලා, ලෙක්චර්ස්ලා, අයි. ටී. සෙක්ටර් එකේ අය ඇතුළු උගත් පිරිස රට හැර යනවා. මේක නවත්තගන්න තියන වැඩපිළිවෙළ මොකද්ද? මෙහෙම ගියොත් මොකද වෙන්නේ.

ප්‍රශ්නය – ඒ කියන්නේ ඔබ විශ්වාස කරනවා රනිල් මහතාගේ නායකත්වයෙන් යුක්ත ජාතික ආණ්ඩුවක් යටතේ රටේ වර්තමාන ප්‍රශ්නවලට විසඳුම් ලැබේය කියලා. ඔබ පිළිගන්නෙ මේ රට ගොඩනඟන්නට සිටින එකම නායකයා රනිල් වික්‍රමසිංහ කියලා.

පිළිතුර – ඒක පිළිගත්තත් නැතත් රටේ ව්‍යවස්ථාවට අනුව ඊළඟ ජනාධිපතිවරණය වෙනකන් එතුමා තමා රටේ නායකයා. පොහොට්ටුවේ ආශිර්වාදය ඇතුව තමයි එතුමා මෙතෙන්ට ආවේ. නමුත් තවදුරටත් එතුමාට ඒ ආශිර්වාදය නොලැබෙන බවක් මට පෙනෙනවා. මා කියනවා මේ වෙලාවේ එතුමාට වෙනත් විසඳුමක් නැහැ. රට දැවැන්ත ප්‍රශ්න රාශියක තිබෙන මොහොතක රනිල් වික්‍රමසිංහ මහතා ඒවා එකිනෙක විසඳුවා ඔබට මතක ඇති. යළිත් ඒ ප්‍රශ්න ඇති නොවන්නටත් අපේ දියුණුව ඇතිවන්නටත් වෙනත් විසඳුමක් තිබේද?

ප්‍රශ්නය – මා කියනවා රට තිබුණු තැනටත් වඩා බිහිසුණු තත්ත්වයකට වේගයෙන් ඇදී යනවා කියලා. රජය ලබාගත් දේශීය විදේශීය ණය කිසිවක් දැන් ගෙවන්නේ නෑ. රටට ආදායම් ගෙන එන තේ හැර අනෙකුත් කෘෂි අපනයන බෝග නිෂ්පාදනය අපනයන කිරීම ලෙස කඩා වැටිලා. විදේශ විනිමය විශාල වශයෙන් උපයා දුන් මහා පරිමාණ ඇඟලුම් කර්මාන්ත ශාලා දිනෙන් දින වැසී යනවා. රජය තවදුරටත් විශාල වශයෙන් ණය ගනිමින් මිනිසුන්ට යම් සහනයක් දී තිබෙනවා. සහනයක් කියන්නේ තිබුණ අසහනය තරමක් අඩු කරල තිබෙනවා. මේවට රජය පැත්තෙන් කිසිදු පිළියමක් යොදන බවක් පෙනෙන්නට දකින්නට නැහැ. පාර්ශ්ව දෙක එකතු වීමෙන් මේ ප්‍රශ්න විසඳයි කියා ඔබ විශ්වාස කරනවද?

පිළිතුර – නැහැ මා කියන්නේ එය නොවේ. ඔබ කිව් මේ දැවැන්ත ප්‍රශ්න රට හමුවේ තිබෙන බව අප දන්නවා. මා කියන්නේ මේ වෙලාවේ දෙපිලට බෙදී වාද විවාද කරනවාට වඩා දිගුකාලීන සංවර්ධන වැඩපිළිවෙළක් සකස් කොට සියලු දෙනාම එකතුව එය ක්‍රියාත්මක කළ යුතුයි කියා. විපක්ෂයේ සිටින සජබය පමණක් නොවෙයි, අනෙකුත් සියලුම පක්ෂ එකට එකතු විය යුතුයි කියලයි මම කියන්නේ. එම වැඩපිළිවෙළ හැමෝම පිළිගත් රට ගොඩනැඟීමේ ජාතික වැඩපිළිවෙළක් විය යුතුයි. මේ වැඩපිළිවෙළ සකස් කරන්න පාර්ලිමේන්තුවේ අය පමණක් නොවේ රට ඉන්න උගත් අයගේ සහයෝගය ලබා ගන්න සිද්ධ වෙනවා. බලන්න ඉතාමත්ම පහත් අඩියට වැටී තිබිච්ච සමහර රටවල් ඒගොල්ලොන්ගෙ ආර්ථික සමාජීය තත්ත්වයන් ඉතා ඉහළට ගෙනාපු හැටි. අන්න ඒ වගේ වැඩපිළිවෙළක් අපටත් තියෙන්න ඕනේ. ඒක එක රජයකට පමණක් සීමා වූ කෙටිකාලීන එකක් වෙන්න බෑ. මම දැකලා තියෙනවා මම මේ කියන දෙයට ගොඩක් අය වෙනත් අර්ථකථන දෙනවා. මා කියන්නේ කුමක්ද කියල තේරුම් ගන්නේ නැහැ.

ප්‍රශ්නය – අපි ඔබ කියන දේට හරි අර්ථකථනයක් දෙමු. නමුත් මා දකින දෙයක් තමා ඉදිරියට ගියපු අනෙකුත් සියලුම රටවල්වල ප්‍රධාන ලක්ෂණයක් ලෙස තිබුණේ වංචා දූෂණ වැරදි සිදු කරපු අයට තරාතිරම නොබලා දැඩි දඬුවම් දීම. මිනිසුන්ගේ විශ්වාසය ඒ රටවල් ගොඩනැඟුවේ එහෙමයි. උදාහරණයක් ලෙස සිංගප්පූරුවේ ලී ක්වාන් යූ මහතා තමන්ගේම ළඟින්ම සිටි අය පවා විවිධ දූෂණ වංචා හේතුවෙන් සිරගත කළා. අපේ රටේ දූෂිතයෝ හැමදාමත් වැජඹෙනවා. ඒ අය ආරක්ෂා කරන්නට පවතින රජයන් ක්‍රියාත්මක වෙනවා. ජනතාව හිතන්නේ සියලුම පක්ෂ එකතු වුණොතින් මේ තත්ත්වය තවත් වැඩිවෙයි කියලා.

පිළිතුර – ඒක තමයි මම කියන්නේ නහයට උඩින් වතුර යන්න කලින් අපි ඔක්කොම එකතුවෙලා මේකට වැඩපිළිවෙළක් හදන්න ඕන කියල. එහෙම නැතුව රනිල් ජනාධිපති වෙලා සජිත් අගමැති වෙලා ආණ්ඩු කරන්න ඕනෙයි කියන එක නෙවෙයි මම කියන්නේ. ඉසේ ඇම්මට කොට්ට මාරු වුණා වගේ නායකයෝ මාරු වුණා කියා රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ හරි වැඩපිළිවෙළක් නැත්නම්. අපිට ගොඩක් ණය ගෙවන්න තියෙනවා. එහෙම එකේ තවත් ණය ගන්නවා. කවද හරි අපට ඕව ගෙවන්න වෙනවා. ඒවා ගෙවන්න නම් අපි නිෂ්පාදනය දියුණු කරන්න ඕන. නමුත් අපි කාටවත් දැනට එහෙම වැඩපිළිවෙළක් නැහැ. මම කියන්නෙත් අපි එකට එකතුවෙලා ඉක්මනින් ඊට වැඩපිළිවෙළක් ගෙන එන්න ඕනේ කියල. ඒ අර මේ දෙගොල්ල එකතුවෙන්න කියන එක නෙවෙයි මම කියන්නේ. එජාපය සහ සජබය කියන්නේ එකම මතවාදයක් තියෙන පක්ෂ දෙකක්. දැනට ඒ දෙකේම එකතුවත් තනි පාලනයක් ගෙනයන්න මදි. නමුත් අපි ඔක්කොම මෙතෙන්ට ඇවිල්ල ඉන්නේ මහජනතාවට හොඳ තත්ත්වයක් ඇති කර දෙන්න. ඒක ආණ්ඩු පක්ෂයේ විතරක් නෙවෙයි හැම පක්ෂයකම වගකීම. මට මතකයි එක පක්ෂයක අය කිව්වා අපේ ආණ්ඩුවක් එනකං රටට ඩොලර් එවන්න එපා කියල. තම තමන්ගේ ආණ්ඩුවක් එනකං හැමෝම බලන් හිටියොත් රට අගාධයෙන් අගාධයට යයි. ඒකයි මම කියන්න එකතුවෙන්න කියල.

ප්‍රශ්නය – ඉතින් කට්ටියම එකතුවෙලා රට හදනවා වෙනුවට දැන් කරනවාටත් වඩා මහජන දේපළ ගසා කෑම මහා පරිමාණ වංචා දූෂණ කරන්න ගත්තොත්?

පිළිතුර – ඒක තමයි මම කියන්නේ නිවැරදි වැඩපිළිවෙළක් ඕනේ කියල. ඒවා නැති නිසා තමයි ඕව හැම එකටම ඉඩ ලැබිල තියෙන්නේ. උදාහරණයක් හැටියට, ලග්ගල කොට්ඨාශයේ කාන්තාවක් මට කියපු දෙයක්. ඇයට 1965 රජයෙන් දීල තිබෙන ඉඩමක ඇය පදිංචිවෙලා ඉන්නේ. පසුගිය දිනෙක එය වෙනත් කෙනකුට පවරලා ප්‍රාදේශීය ලේකම් ලිපියක් එවල. එහෙම වෙන්න බැහැනේ. මේවා සිද්ධ වෙන්නේ රටේ නිසියාකාර ක්‍රමවේදයක් නැති නිසා.

ප්‍රශ්නය – මම කියනවා අනිවාර්යයෙන්ම එයට දේශපාලන මැදිහත් වීමක් ඇති කියල. නැතිනම් එවැන්නක් සිද්ධ වෙන්න බැහැ. ඔබ හිතනවා කට්ටිය එකතුවෙලා වැඩපිළිවෙළක් හැදුවම මේවා නතර වෙයි කියල. වැරදි කාරයන්ට දඬුවම් කළොත්, දූෂකයන් පන්නා දැමුවහොත් දේශපාලකයන් ඔහු ප්‍රතික්ෂේප කළත් ජනතාව විසින් ඒ නායකයා ආරක්ෂා කරනු ඇති. එසේ නැතිව වර්තමාන දේශපාලකයන් සියල්ල එකතු වුවත් රට නොහදන බව මට නම් විශ්වාසයි.

පිළිතුර – ඔබට මතකද පසුගිය දවස්වල සිදුවුණ අරගලය. මෙයට එකතු වුණේ රටේ මධ්‍යම පාන්තික ජනතාව. පීඩනයට අයුක්තියට අසහනයට විරුද්ධව එරෙහිව විශාල ජන කොටසක් පාරට බැස්සා. දැන් රටේ මිනිස්සු ලෝකය ගැන දැනුවත්. තවදුරටත් දූෂණ වංචා සිදුවෙත්නම් මිනිසුන් ඉවසන්නේ නැහැ. ඊළඟ පාර අරගල ඉදිරියට එන්නේ කිහිප ගුණයකින් වර්ධනය වෙලා. එහෙම වුණොත් පාලකයන්ට මොනවා වේවිද? තනි තනි ආණ්ඩු ගැන සිහින නොදැක නිවැරදි දැක්මක් සහිතව රට පෙරට ගෙනයා යුතුයි යැයි මා කියන්නේ එහෙයින්.

ප්‍රශ්නය – ඔබ කියන්නේ පාලක පන්තියේ ආරක්ෂාව උදෙසා රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළක් තිබිය යුතුයි කියා.

පිළිතුර – අරමුණ ගැන නොවෙයි රට ගොඩනැඟීමයි වුවමනාව.

ප්‍රශ්නය – ඔබ කාන්තා හා ළමා අයිතිවාසිකම් ගැන කතා කරන අය අතර ඉදිරියෙන්ම සිටින කෙනෙක්. පාර්ලිමේන්තුව තුළවත් එයට ආදර්ශයක් නොලැබෙන කල, රටේ අනෙක් තැන් ගැන මොනවා කතා කරන්නද?

පිළිතුර – ඒක මම පිළිගන්නවා.මට විරුද්ධව තිස්සකුට්ටි ආරච්චි මන්ත්‍රීතුමා කළ අපහාසයෙන් මගේ වරප්‍රසාද කඩවීම ගැන මා කථානායකතුමාට භාර දුන් ලිපියට අද වනතෙක් කිසිවක් සිදුවී නැහැ. සුසිල් ප්‍රේමජයන්ත මහත්මයා නම් ඔහුගෙන් වූ වරදකට සමාව ගත්තා. දෙදෙනකුට ක්‍රියාත්මක වන්නේ දෙවිදියක්. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය තුළත් නොයෙකුත් අන්දමේ කාන්තා හිංසන සිදුවෙනවා. මේ ගැන වහා පියවර ගත යුතුයි.

ප්‍රශ්නය – ඔබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන්නට පෙර පුහුණු ගුරුවරියක්. ඒ තනතුරේම හිටියා නම් හොඳයි කියලත් වෙලාවකට හිතෙනවද?

පිළිතුර – එහෙමත් හිතෙන වෙලාවල් තියෙනවා. මම මේ වෘත්තියට ඇවිල්ල ගුරු වෘත්තියේ අය වෙනුවෙන් විශාල සේවයක් කරලා තියෙනවා. අපි උගන්නනකොට විනාඩි 45ක් ඇතුළත අපි කරපු වැඩේ සාර්ථකද කියල දැනගන්නට පුළුවන්. දේශපාලනයේදී එහෙම බැහැ.

සාකච්ඡා කළේ
චිත්‍රාන් මොරාකන්ද ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment