කොවිඩ් – 19 වසංගතය නිමා වුවත් ඒ සමග මිනිස් ජීවිතවලට පතිත වන අඳුරු සෙවණැලි තවමත් මරණයේ සැක බිය දුරුකර නොමැත. 2020 වසරේදී ගෝලීයව ජනතාව මරණයට තල්ලු කළ නව කොරෝනා වෛරසයට (SARS-CoV-2) එරෙහිව නව එන්නතක් නිපදවීමට විද්‍යාඥයෝ වෛද්‍ය විශේෂඥයෝ යුහුසුලු විය. එහි ප්‍රතිඵලයක් ලෙසින් විවිධ ඖෂධ සමාගම් නිපදවූ එන්නත් කිහිපයක් ම රට රටවල හැකි උපරිම ජනගහන ප්‍රතිශතයකට ඒ ඒ රටවල් මගින් ලබා දුනි.

නව කොරෝනා වෛරසයේ කුඩා ජානමය කොටසක් ලබා ගෙන නිපදවූ එන්නත Messenger RNA (mRNA) එන්නත වසංගතයේ එකම ගැලවුම්කරු විය. ශ්‍රී ලාංකේය අපට ද මෙරට රජයෙන් ලබා දුන් කොවිඩ් එන්නත් වර්ග පහක් චක්කරේ මෙන් කටපාඩම් විය. සියලුම එන්නත් ලබා දුන්නේ නොමිලයේ ය. සයිනොෆාම් (චීන එන්නත), ස්පුට්නික් V (රුසියානු එන්නත), ඇස්ට්‍රාසෙනිකා (කොවිෂීල්ඩ්), ෆයිසර් බයෝඑන්ටෙක්, මොඩර්නා ඒ එන්නත් වර්ගයි. මේ හැම එන්නතක්ම ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් නව කොරෝනා වෛරසයට විරුද්ධව ප්‍රතිශක්තිය ඇති කරන බවට සහතික කළ එන්නත් වීම නිසා පූර්ණ විශ්වාසයක් කා තුළත් විය.

කොවිඩ් වසංගතයේ දරුණු බව කෙමෙන් කෙමෙන් අඩුවී යනවාත් සමග මරණ සංඛ්‍යාව ද අවම විය. එහෙත් ඊට සමගාමීවම එන්නත්කරණයෙන් පසු වාර්තාවන මරණ සංඛ්‍යාවේ වැඩි වීමක් දක්නට ලැබිණි. මෙයින් ලෝකයටම එන්නත්වල සාර්ථකත්වය සහ ආරක්ෂාව පිළිබද ගැටලු මතුවිණි. ලොව පුරාම විසිරී සිටින විද්‍යාඥයන් විසින් වාර්තාවන මරණ සහ කොවිඩ් එන්නත් අතර සබඳතාවක් පවතිනවාදැයි කියා සෙවීමට මුල පිරී ය. පුද්ගලයා ගේ වයස, ඩිමෙන්ෂියා වැනි රෝගයකින් පීඩා විඳීම, කලින් පැවැති සෞඛ්‍ය ප්‍රශ්න, එන්නතේ සංකූලතා වැනි ගැටලු වෙන වෙනම සවිස්තරව ඔවුන් සොයා බැලීය.

● ලංකාවෙන් අනපේක්ෂිත මරණ සංඛ්‍යාවක් වාර්තා වෙයි

ලොව සාමාන්‍ය මරණ සංඛ්‍යාව සියයට තිහකින් වැඩිවී තිබෙයි. ශ්‍රී ලංකාවේ ජනලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව 2022 වසරේ ජුනි මාසයේ සිට 2023 ජුනි මාසය දක්වා මෙරටින් මරණ 190,600ක් වාර්තා වී තිබෙයි. එහෙත් 2012 වසරේ සිට 2013 වසරේ ජුනි දක්වා වාර්තා වී තිබෙන්නේ මරණ 125,626ක් පමණි. 2021 සහ 2022 වසරවල දී අපේ රටේ මරණ සංඛ්‍යාව සාමාන්‍යයෙන් අපේක්ෂිත සංඛ්‍යාවට වඩා 65000න් පමණ ඉහළ ගොස් තිබෙයි. මරණ රැසකට ම හේතුවී තිබෙන්නේ මොළයේ රුධිර කැටි ඇති වීම, අංශ භාගය, ක්ෂණික හෘදය ආශ්‍රිත ගැටලු ආදියයි.

මරණවලට පමණක් නොව උපත් සංඛ්‍යාවේ ද සැලකිය යුතු මට්ටමේ වෙනසක් පවතියි. එය ද සුබදායක වෙනසක් නො වෙයි. 2022 දීට වඩා 2023 වසරේදී මෙරට මධ්‍ය වාර්ෂික ජනගහනය 144,345 දක්වා අඩුවී ඇත. ගෝලීයව ද උපත් අනුපාතයේ අඩුවීම් ගැන වරින් වර වාර්තා වෙයි. එනම් උපත් අනුපාතය ද අඩුවී තිබෙයි. උපත් සහ මරණ සංඛ්‍යාලේඛනවල කැපී පෙනෙන වෙනසක් ඇති වීමට හේතුවක් නිශ්චිත වශයෙන් ම හෙළිවී නැතත් සියලු වෙනස්කම්වලට මුල පිරී ඇත්තේ කොවිඩ් – 19 වසංගතයෙන් පසුව ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ ගෝලීයව වාර්ෂික සාමාන්‍ය මරණ සංඛ්‍යාව සියයට 15 සිට සියයට 45 දක්වා අතර ප්‍රතිශතයකින් ඉහළ යෑමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ය.

● කොවිඩ් එන්නතේ හෘද ප්‍රදාහ අවදානම

හදිසි මරණ වැඩි වෙන්නේ කොවිඩ් එන්නතින්ද?

මේ වන විට කොවිඩ් – 19 එන්නතේ අතුරු ආබාධ හෙවත් සංකූලතා අනාවරණය කරගනිමින් පවතියි. එන්නතේ එක් අවදානමක් වන්නේ මයෝකාඩිටිස් (Myocarditis ) / පෙරිකාඩිටිස් (Pericarditis ) නම් තත්ත්වය ඇති වීමට ඇති ඉඩ කඩයි. හදවතට හෝ හදවත වටා ඇති හෘද ආස්තරණය ප්‍රදාහය වීමෙන් මේ තත්ත්වය ඇති වෙයි. m RNA COVID එන්නත් ලබා ගත් පසු විශේෂයෙන් ම අඩු වයස් පුද්ගලයන් ගේ විශේෂයෙන් ම පිරිමින් ගේ සුලබව මේ තත්ත්වය දක්නට ලැබුණු අතර වැඩිවශයෙන් ම රෝග ලකුණු ඇතිවී තිබෙන්නේ දෙවැනි එන්නත් මාත්‍රාව ලබා ගත් පසුව ය. කොවිඩ් එන්නත අත්හදා බැලීමේ අවස්ථාවේ පවතිද්දී මේ අතුරු ආබාධ අවදානම පිළිබඳව සොයා බලා නැත.

2020 දෙසැම්බර් 1 වැනිදා සිට 2021 අගෝස්තු 24 දක්වා රෝහල්ගත වූ පුද්ගලයන් ගණන සහ මයෝකාඩිටිස්, පෙරිකාඩිටිස් සහ හෘද ස්පන්දන අක්‍රමිකතාවෙන් (cardiac arrhythmias) මිය ගිය ගණන බ්‍රිතාන්‍ය විශේෂඥයන් විසින් අධ්‍යයනය කරනු ලැබූ අතර ජනප්‍රිය කොවිඩ් – 19 එන්නත් ගත් වයස අවුරුදු 40 ට අඩු විශේෂයෙන් පිරිමි අතර මයොකාඩිටිස් තත්ත්වය ට ගොදුරුවී ඇති බව සොයා ගැනිණි.

● රෝගයේ දිගු කාලීන අතුරු ආබාධ තවමත් අබිරහසක්

කොවිඩ් -19 ගොදුරු වූ බොහෝ දෙනෙක් සති කිහිපයකින් සුවය ලැබුවත් ඇතැම් පුද්ගලයන් තවමත් එහි අමිහිරි සුව ආබාධ විඳිමින් සිටියි. පර්යේෂණවලින් හෙළිවී තිබෙන්නේ කොවිඩ් – 19 වැලඳී වසරකට පසුවත් වයස අවුරුදු 18 – 64 දක්වා වූ පුද්ගලයන් අඩු වශයෙන් කොවිඩ් නිසා ඇතිවුණු එක් සෞඛ්‍ය ගැටලුවකින් වත් පීඩා විඳින බව ය. වයස අවුරුදු 65ට වැඩි අයගෙන් සිව් දෙනකුගෙන් එක් අයකු ඒ තත්ත්වයට පත්වෙයි. හෘදයාබාධ, ආඝාතය වැඩිවීමට කොවිඩ් 19 වැලඳීම ද හේතුවක් වී ඇත. ඉන්දීය ජාතික සෞඛ්‍ය ආයතනය කළ අධ්‍යයනයකින් නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ධමනි බිත්තිවල පටකවලට සහ රෝගාබාධත් සෛල හානියත් වළක්වන මැක්‍රොෆෙජ් නම් ඉතා වැදගත් සෛල විශේෂයට හානිකර බලපෑම් ඇතිවන බව සොයා ගෙන තිබෙයි. ඒ අධ්‍යයනයෙන් පෙන්වා දී තිබෙන්නේ කොවිඩ් – 19 න් දරුණු ලෙස පීඩා විඳි පුද්ගලයන් වසරක් දෙකක් යනතුරු අධික ලෙස වෙහෙස ගෙන දෙන කාර්යයන්හි නො යෙදිය යුතු බවය. මෙය බොහෝ වෛරස රෝගයන්ට පොදුවූ තත්ත්වයකි. ඩෙංගි වැලඳී සුව වූ පසුවත් මත් වතුර නො ගන්නා ලෙසටත් දැඩි ලෙස වෙහෙස නොවන ලෙසටත් උපදෙස් ලබා දෙයි.

මෙතෙක් වෛද්‍ය විශේෂඥයන් හඳුනා ගෙන ඇති දිගු කාලීන කොවිඩ් අතුරු ආබාධ අතර වෙහෙස, උණ, ස්වසන ආබාධ, සන්ධි වේදනාව, ස්නායු / මානසික ගැටලු, හෘද වස්තුව ආශ්‍රිත ගැටලු, ජීර්ණ පද්ධතියේ ගැටලු, රුධිර කැටි හට ගැනීම, පලු දැමීම, ආර්තව චක්‍රයේ ගැටලු ඇති අතර තවමත් මේ පිළිබඳ අධ්‍යයනයන් සිදු කරමින් පවතියි.

● සෞඛ්‍ය ක්ෂේත්‍රයට දරා ගත නොහැකි තරම් බරක් පැටවීම

ඉහත කරුණුවලට අමතරව සියලුම රෝගාබාධවලින් සිදුවන මරණ ලංකාවේත් ලෝකයේත් ඉහළ ගොස් ඇත. ඊට හේතුව වෙනත් රෝගවලට ප්‍රතිකාර ලබා දීමට තරම් නිදහසක් සෞඛ්‍ය සේවකයන්ට නො තිබීමත්, වැඩි වශයෙන් ම මානසික සෞඛ්‍ය ගැන අවධානය යොමු නො වීමත් නිසා වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා විණි. සියදිවි නසා ගැනීම් මේ කාලයේදී වැඩිපුර වාර්තා වුණු අතර මත්ද්‍රව්‍ය භාවිතය ද ඉහළ ගොස් ඇත. ආර්ථික ගැටලු ද වක්‍රව මරණ සංඛ්‍යාව ඉහළ නැංවීමට බලපා තිබෙයි. කොවිඩ් සමය ගෝලීයව වැඩි පිරිසකට රැකියා අහිමි කළ කාල පරිච්ඡේදයකි.

කෙසේවුවත් මරණ සංඛ්‍යාවට වසංගතයේ බලපෑම ගැන එක්වරම තීන්දු තීරණ දිය නො හැකිය. එය සංකීර්ණ, පැතිකඩ ගණනාවක් ඇති ගැටලුවකි.

කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ පීඨාධිපති
මහාචාර්ය ප්‍රසන්න ප්‍රේමදාස
සටහන –
චම්පිකා දීපානි රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment