මිනී ගොඩ ගැහෙන්නේ ආණ්ඩුවේ චක්‍රලේඛයේ වරදකින්ද?…

673

එන්නත නොගත් මරණ පරීක්ෂකවරුන් ඉන්නවා

නිවාසෙහි මිය ගියත් මරණ පරීක්ෂණ කරන්න ඕන

කොවිඞ් ආසාදිතව මියයන පුද්ගලයන් සංඛ්‍යාව සීඝ‍්‍රයෙන් ඉහළ යෑමත් සමඟ කොවිඞ් මළසිරුරු රැසක් දිවයිනේ විවිධ ප‍්‍රදේශවල රෝහල් මෘත ශරීරාගාර තුළ ගොඩගැසී ඇති බව රෝහල් ප‍්‍රකාශකයන් පවසයි. ඒත් සමඟම රෝහල් ධාරිතාව ඉක්මවා යෑම නිසා නිවෙස් තුළම නිරෝධායනය වෙමින් හා ප‍්‍රතිකාර ලබමින් සිටියදී කොවිඞ් නිසා මියයන පුද්ගලයන්ගේ සිරුරු ද මරණ පරීක්ෂණ ප‍්‍රමාද වීම හේතුවෙන් නිවෙස් තුළ දින ගණන් රඳවා තබන බවට ද තොරතුරු වාර්තා වේ.

මෙම සිදුවීම්වල වගකීම හදිසි මරණ පරීක්ෂකවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ සෞඛ්‍ය නිලධාරීන් විසින් භාරගත යුතු බවට ඇතැම් පිරිස් ප‍්‍රකාශ කරයි. එම ප‍්‍රකාශවලට පිළිතුරු දෙමින් හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමයේ මාධ්‍ය ලේකම් සහ දික්ඔය මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂක මොහොමඞ් ෆසීර් මහතා මෙලෙස අදහස් දක්වයි. ‘‘නිවෙස් තුළ නිරෝධායනය කරලා තියෙන පුද්ගලයන් කොවිඞ් ආසාදිතව මියගියොත් පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කරලා නැවත දේහය භාර දීමේ දී ගැටලූ රාශියක් ඇතිවෙනවා. ඒ වගේම යම්කිසි කාලයක් ගත වෙනවා. මේ හේතුවෙන් රෝහල් මෘත ශරීරාගාර තුළ කොවිඞ් ආසාදිත මෘතශරීර ගොඩ ගැහෙනවා. රෝහල් මෘත ශරීරාගාර තුළ කොවිඞ් ආසාදිත මළ සිරුරු එකතු වීමේ වගකීමවත්, නිවෙස් තුළ නිරෝධායනය වෙමින් සිටියදී මියයන පුද්ගලයන්ගේ මෘතදේහ ආදාහනය කිරීම ප‍්‍රමාද වීමේ වගකීමවත් හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමය භාරගන්නේ නෑ. 2021.06.19 දින සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කරපු නව චක‍්‍රලේඛයට අනුව කටයුතු කිරීමට යෑමේදී තමයි මූලිකව මේ ගැටලූ ඇති වෙන්නේ.”

හදිසි මරණ පරීක්ෂකවරුන් තම රාජකාරිය සිදුකරන්නේ බොහෝ දුෂ්කරතා මැද බවද ඒ මහතා පවසයි. මෙම ගැටලූ සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති, ලේකම් සහ මරණ පරීක්ෂකවරුන් කිහිප දෙනකුගෙන් ද අපි විමසීමක් කළෙමු.

  • 2021.06.19 චක‍්‍රලේඛය
    මහජනතාවටත් පීඩාවක්

2021.06.19 දින සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කරන ලද චක‍්‍රලේඛය මඟින් කොවිඞ් ආසාදිත පුද්ගලයන්ගේ මරණ සම්බන්ධව මරණ පරීක්ෂණ සිදු කිරීමේදී එම මරණය අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමුකර පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීම අනිවාර්ය කර ඇත. ඒ සඳහා මෘත දේහ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයකු සේවය කරන රෝහලක් වෙත ගෙන යා යුතු වුවත් කොවිඞ් ආසාදිත දේහ ප‍්‍රවාහනය කිරීම සඳහා පහසුකම් නොමැති වීම නිසා මහජනතාව සහ මරණ පරීක්ෂකවරුන් මහත් අපහසුතාවකට පත්ව සිටී. අවදානම් සහගත තත්ත්වයත් සමඟ ඇතැම් මල්ශාලා හිමියන් විසින් මෘතශරීර රැගෙන යෑම ප‍්‍රතික්ෂේප කරයි. තවත් පිරිසක් විශාල මුදලක් ද අය කර ගනු ලබයි. කොවිඞ් ආසාදිත දේහයක් එක් තැනකින් තවත් තැනකට ගෙන යෑමේදී විෂබීජ පැතිරීමටද වැඩි අවදානමක් ඇත.

‘‘පරණ චක‍්‍රලේඛයට අනුව නිවෙස් තුළ ප‍්‍රතිකාර ලබමින් හෝ නිරෝධායනය වෙමින් සිටියදී මියයන පුද්ගලයන්ගේ මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමකින් තොරව ආදාහනය කිරීමේ හැකියාව තිබුණා.

නමුත් 06.19 චක‍්‍රලේඛයට අනුව නිවසක් තුළ කොවිඞ් ආසාදනය වීමෙන් මියයන පුද්ගලයන් සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කළ යුතුයි. ඒ සඳහා මෘත දේහ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයකු වෙත ගෙන යා යුතුයි. ඇතැම් ප‍්‍රදේශවල අධිකරණ වෛද්‍යවරු සිටින රෝහල්වලට කිලෝමීටර් 50, 60 වගේ දුරක් යන්න තියෙනවා. මේ වෙද්දි දේහයක් අරන් යන්න මල්ශාලා හිමියන් රුපියල් හතළිස් දාහ වගේ විශාල මුදල් ප‍්‍රමාණයක් ලබාගත් අවස්ථාත් තියෙනවා.”

මෘතශරීරය ගෙන යෑමේ සිට සිදුකරනු ලබන සෑම කටයුත්තකදීම මළ සිරුර අයිති නිවැසියන් විසින් පුද්ගලිකව වියදම් දැරිය යුතු නිසා ජනතාව අපහසුතාවයට පත්වන බව ශ‍්‍රී ලංකා හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති අනුර හේරත් මහතා පවසයි. නමුත් 2021.06.25 දිනයේ දී හඳුන්වා දුන් නව චක‍්‍රලේඛයේ ජනතාවට පහසුවක් වන ලෙසින් ගත් සුබවාදී තීරණ

රැසක් ඇති බවත්, එම තීරණ අදාළ බලධාරීන් හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමය සාකච්ඡා කිරීමෙන් අනතුරුව ගත් තීරණ බවත් හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම්වරයා පවසයි.

  • මරණ පරීක්ෂකවරුන්ගේ
    ජීවිත අනතුරේ

කොවිඞ් මරණ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමේදී කොවිඞ් වෛරසය ඔවුන්ටද ආසාදනය විය හැකිය. නමුත් අත්‍යවශ්‍ය විෂබීජනාශක, මුහුණු ආවරණ, ආරක්ෂක ඇඳුම් කට්ටල ආදිය රජය විසින් හෝ සෞඛ්‍ය අංශ විසින් ලබාදී නොමැති නිසා මරණ පරීක්ෂකවරුන්ටම ඒවා සපයා ගැනීමට සිදුව ඇති බව සභාපතිවරයා පවසයි. වසරකට පමණ පෙර අධිකරණ අමාත්‍යාංශය විසින් ආරක්ෂිත ඇඳුම් කට්ටල ලබා දුන්නද මේ වන විට ඒවා පාවිච්චි කිරීමට නොහැකි තත්ත්වයට පත්ව ඇති නිසා මරණ පරීක්ෂකවරුන්ට ආරක්ෂක ඇඳුම් කට්ටල සඳහා මාසික දීමනාවක් ලබා දෙන ලෙස හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමය අධිකරණ අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් ද කර තිබේ.

‘‘අපිට මේ ආරක්ෂක උපකරණ සම්බන්ධයෙන් ඇති ගැටලූවට කඩිනමින් විසඳුමක් ලබාදෙන ලෙස අප අධිකරණ ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. මේ වසංගත තත්ත්වය යටතේ විශාල අවදානමකින් තමයි මරණ පරීක්ෂකවරුන් තමන්ගේ රාජකාරිවල නිරත වෙන්නේ”.

රාජකාරි කිරීමේදී කොරෝනා රෝගයට ගොදුරු වූ මරණ පරීක්ෂකවරුන් කිහිප දෙනකු සිටින අතර එක් මරණ පරීක්ෂකවරයෙක් මියගොස් ඇති බවත් ඔහුට මේ වන තුරු කිසිම වන්දියක් ලැබී නොමැති බවත් ලේකම්වරයා පෙන්වා දෙයි.

  • මරණ පරීක්ෂකවරුන්ට එන්නත ලබාදීමේ වැඩසටහනක් තවමත් නෑ

මරණ පරීක්ෂකවරුන්ට මුල් කාලයේදීම එන්නත ලබා දෙන මෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කළත් ඔවුන් වෙනුවෙන් කිසිදු එන්නත්කරණ වැඩසටහනක් සංවිධානය නොවූ බවට ශ‍්‍රී ලංකා හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මොහොමඞ් පර්ෂාන් මහතා පවසයි. ‘‘කොවිඞ් ආසාදිත රෝගියෙක් ගාවින් යනවා කියන එකත් විශාල අවදානමක්. අපි ඒ අවදානම අරගෙන තමයි කොවිඞ් දේහ සම්බන්ධයෙන් මරණ පරීක්ෂණ සිදුකරන්නේ. වසංගතය ආරම්භයේ සිට මේ දක්වාම මරණ පරීක්ෂකවරුන්ට එන්නත ලබාදීමේ වැඩසටහනක් සෞඛ්‍ය අමාත්‍යාංශය සංවිධානය කළේ නෑ. අපි සහ අපේ පවුල්වල අය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දැඩි අනාරක්ෂිත තත්ත්වයට ඇද දැමීම ගැන ඇත්තටම කනගාටුවෙනවා.” ප‍්‍රාදේශීය එන්නත්කරණ වැඩසටහන් හරහා බොහෝ මරණ පරීක්ෂකවරුන් කොවිඞ් මර්දන එන්නත ලබාගෙන ඇති අතර තවමත් එන්නත ලබා නොගත් පිරිසක්ද සිටින බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

  • පත්කිරීම් යාවත්කාලීන කරන්න

මරණ පරීක්ෂකවරුන් පත් කිරීමේ පැරණි ක‍්‍රමවේදය වෙනස් විය යුතු බවද මෙම සංගමය පවසයි. ඒ අනුව ලන්දේසී කාලයේ සිට සිදුකරන කෝරල, පත්තු ආදී ලෙස වන පත්කිරීම් අවලංගු කරමින් එක් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට එක් මරණ පරීක්ෂකවරයෙක් පත් කළ යුතු බවත් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනගහනය වැඩි වන්නේනම් නිලධාරීන් කිහිප දෙනකු පත් කළ හැකි බවත් සංගමය පෙන්වා දෙයි. පවතින කොවිඞ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සේවා කාලය ලබන දෙසැම්බර් 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව දැනට ස්ථිර හා තාවකාලික පදනමින් සේවයේ යෙදී සිටින හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සේවා කාලය දෙසැම්බර් මස 31 වැනිදා දක්වා දීර්ඝ කෙරෙන බව එම අමාත්‍යාංශය කියා සිටී.

  • ගෙවීම් ක‍්‍රමය වෙනස් කරන්න

හදිසි මරණ පරීක්ෂකවරුන් සඳහා මාසිකව දීමනාවක් ලබා දීම සිදු නොවන බව ලේකම්වරයා පවසයි. ‘‘මේ තනතුරට මාසික දීමනාවක් නැති නිසා අලූතින් බඳවා ගැනීම සිදු කරද්දී ගැටලූ ඇති වෙනවා. මම යෝජනා කරනවා කිසියම් දීමනාවක් මාසිකව ලබා දීලා උපාධිධාරීන් හෝ සුදුසු පුද්ගලයන් මෙය තනතුරට බඳවා ගැනීම මඟින් මරණ පරීක්ෂකවරුන්ගේ සේවය කාර්යක්ෂම කරගත හැකියි කියලා.” දිවයින පුරාම සේවය කිරීමට හදිසි මරණ පරීක්ෂකවරුන් හයසියයක ප‍්‍රමාණයක් අවශ්‍යය වුවත් දැනට සේවය කරන්නේ නිලධාරීන් තුන්සියයක් වැනි ප‍්‍රමාණයක් පමණක් බවද හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.

නව චක‍්‍රලේඛයට අනුව ග‍්‍රාම නිලධාරීවරුන්ටද හදිසි මරණ පරීක්ෂණ නිලධාරීවරුන්ට සහය දැක්විය හැකි වැඩපිළිවෙළක් සකස් වී ඇත.

  • ඒ අනුව මියගිය පුද්ගලයාට කොවිඞ් ආසාදනය වී නොමැති නම්
  • වසා දමා තිබූ ප‍්‍රදේශයක පදිංචි පුද්ගලයෙකු නොවේ නම්
  • කොවිඞ් ආසාදිතයකු ආශ‍්‍රිත මරණයක් නොවේ නම්
  • නිවසේ කිසිවකු ආසාදිත නොවේ නම්

යන අවස්ථාවන්හිදී ග‍්‍රාම නිලධාරීවරයාට මරණ සම්බන්ධයෙන් තීරණ ගැනීමට අවස්ථාව ලබාදී ඇති නිසා එම වගකීම පැහැර නොහැර ඉටුකරමින් හදිසි මරණ පරීක්ෂකවරුන්ට සහයෝගය

ලබාදෙන මෙන් මරණ පරීක්ෂකවරුන් ග‍්‍රාම නිලධාරීවරුන්ගෙන් ඉල්ලා සිටියි. ‘‘අපේ මරණ පරීක්ෂණවල යම් අඩුපාඩුවක් තියෙනවා නම් ඒක පෙන්නලා දුන්නොත් ඒ ගැන සංගමයෙන් හොයලා බලලා අවශ්‍ය කටයුතු සිදු කරනවා. ඒ වුණත් මේ දවස්වල සමාජයෙන් අපට එන හැම චෝදනාවක්ම අපි භාර ගන්නේ නෑ. මේ දුෂ්කරම අවස්ථාවේදී මහජනතාවට සේවය කරන්න අපි හැකි උපරිමයෙන් කටයුතු කරනවා. මේ හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ ගැටලූ අද ඊයේ ඇති වුණ දේවල් නෙමෙයි. අපේ ආරක්ෂාව ගැනත් හිතලා, මේ අවස්ථාවේ දී අපෙන් වෙන සේවය ගැනත් හිතලා අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා.” ඇතැම් ප‍්‍රාදේශීය රෝහල්වල මෘත ශරීරාගාරයක්වත් නොමැති නිසා පහසුකම් ලබා දීමේදී කොළඹ රෝහල් පිළිබඳව මෙන්ම ග‍්‍රාමීය රෝහල් පිළිබඳවත් අවධානය යොමුකරන ලෙසට මොහොමඞ් ෆසීර් මහතා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment