අනේ රත්තරං ඔයා  වෙන විවාහයක් කරගන්න,  මම තරහ නැහැ – චන්ද්‍රිකා වැවට දිවිදුන් බිරිය සැමියාට කියයි

2298

මියයන්නට විනාඩි 10 කට පෙර වැව් බැම්මේදී ගත් ඡායාරූපය.

චන්ද්‍රිකා වැවත් කම්පා කළ මධුමාලිගේ කඳුළු කතාව

“අනේ රත්තරං මට වරින්වර එන මේ ලෙඩේ ඔයාටත් හැදේවි. ඒ නිසා ඔයා මම අමතක කරල දාලා වෙන විවාහයක් කර ගන්න. මම තරහ නැහැ” සුරංගිකා මධුමාලි (අවු. 32) කීප දිනක් තම ආදරණීය සැමියාට කීවේ ඒ තරමට ජීවිතය ගැන කලකිරීමෙනි. ඇත්තටම එය නොසිතූ ලෙස සත්‍යයක් බවට පත්විය. ඉකුත් පළමු වැනි දින සවස 12.30ට පමණ සූරියවැව සිට තම ස්වාමියා නිවසේ නොමැති අවස්ථාවේ ආදරයෙන් කිරි දී හදා වඩා ඇති දැඩි කළ තම සිඟිති පුතුන් දෙදෙනා සමඟ ඇඹිලිපිටියට පැමිණ චන්ද්‍රිකා ජලාශයේ සොරොව්ව අසලින් වැවට පැන ඉහත ප්‍රකාශය සත්‍යයක් බවට පසක් කළාය. ඌරුබොක්ක දඩයම් කන්දේ උපන් අමරතුංග සුරංගිකා මධුමාලි (අවු. 32) හා කළුආරච්චිගේ ප්‍රේමතිලක (අවු. 35) නව යොවුන් ආදරයෙන් අතිනත ගත්තේ කලක් හඳුනා ගෙන ඇසුරු කිරීමෙනි. ජීවත් වුණේ අංක 2272, සමාජ සේවාපුර, සූරියවැව යන ලිපිනයේය.

අනේ රත්තරං ඔයා  වෙන විවාහයක් කරගන්න,  මම තරහ නැහැ - චන්ද්‍රිකා වැවට දිවිදුන් බිරිය සැමියාට කියයි
දේහයන් තැන්පත් කර ඇති අයුරු.

යොවුන් දිවියේ නැවුම් සුවය පතා අතිනත ගත් එම දෙපළගේ කැදැල්ල ආලෝකවත් කරන්නට පැමිණි අමුත්තන් වූයේ දෙමාපියන්ගේ උතුම්ම වස්තුව වූ පුතුන් දෙදෙනෙකි. වැඩිමහල් පුතු කළුආරච්චිගේ දුෂ්මන්ත (අවු. 11) වන අතර බඩපිස්සා හුරතලා වූයේ කළුආරච්චිගේ නෙතුය. (අවු. 05) සූරියවැව මහ විදුහලේ 7 සහ 1 වසරවල මෙම පුතුන් දෙදෙනා ඉගෙනුම ලබති. ආගමික කටයුතුවලට මුල්තැන දෙමින් දිවි ගෙවමින් සිටි ප්‍රේමතිලක සහ මධුමාලි අතර කෙදිනකවත් අමනාපකම් හා සිත්තැවුල් ඇති නොවූයේ ආදරයෙන් දෙදෙනාම බැඳී සිටීමත් මෙන්ම නිවසට ඇයට දරුවන්ටද කිසිදු අඩුවක් පාඩුවක්වත් නොතබන්නට ප්‍රේමතිලක වගබලා ගත් නිසා ඔහු සමාජයේ කා අතරත් පිළිගත් හිතහොඳ ගව හිමියකු ද වේ. ඉකුත් පළමු වැනි දින ප්‍රේමතිලක සූරියවැව නගරයට ගොස් තිබුණේ යම් කටයුත්තක් සඳහාය. ඒ අතරතුර සුරංගිකාගේ කලක් තිස්සේ මැවි මැවී තිබූ බලාපොරොත්තුව ඉටු කර ගැනීමට හොඳම අවස්ථාව මෙය බව වටහා ගන්නට ඇති.

අනේ රත්තරං ඔයා  වෙන විවාහයක් කරගන්න,  මම තරහ නැහැ - චන්ද්‍රිකා වැවට දිවිදුන් බිරිය සැමියාට කියයි
මියගිය නෙතු දහම් පාසල් යන්නට සැරසී

මෙතැන් සිට අප සවන් දෙමු ප්‍රේමතිලකගේ සොහොයුරු කළුආරච්චිගේ සමන්, තම – නංගි මල්ලී බොහොම ආදරයෙන් සමගියෙන් සතුටෙන් හිටියේ. දරුවන්ටත් බොහොම ආදරෙයි. නංගිට කාලයක් තිස්සේ තිබුණා මානසික රෝගයක් – හම්බන්තොට රෝහලේ මානසික අංශයෙන් ප්‍රතිකාර ගන්නවා. මියයන්නට දින තුනකට කලිනුත් ප්‍රතිකාර ගත්තා. මල්ලිට විශාල ගවපට්ටියක් ඉන්නවා. එයා නිතරම ගෙදර නැහැ. ගවයන්ට කවන්න ඈත පළාත්වලට යනවා. එයාලට කිසි අඩුපාඩුවක් නැහැ. පසුගිය දිනක පන්සලක බුදු පිලිමයක් හදන්න රුපියල් ලක්ෂ එකහමාරක් විතර දුන්නා. සිද්ධිය වුණ දවසේ උදේ දරු දෙදෙනාට කතා කරල කොණ්ඩය කපන්න යමු කියල. අපේ අයියාගේ දුවත් ඒ ගෙදර ඉඳල. ඒ දුවගෙ බෙල්ල බදාගෙන මට යන්න බැහැ කියල බාලම දරුවා අඬල. ඊට පස්සේ කන්න අරන් දෙනව, සෙල්ලම් බඩු අරන් දෙනව, ෆොටෝ ගහනව කියල තමයි පොඩි දරුවාත්, ලොකු දරුවාත් අරගෙන ඇවිත් තියෙන්නේ. සූරියවැව ගිහිල්ලා ඇඹිලිපිටිය බස් එකේ ඇවිත් චන්ද්‍රිකා වැව සොරොව්ව ළඟ බැහැල දරුවන්ට බඩගිනියි කීවම කඩේකින් බඩපිරෙන්න කන්න අරන් දීල. පොඩි පුතාට සෙල්ලම් වීල්එකකුත් අරන්දීල. වැව් බැම්මට නැඟල දරුවා වඩාගෙන පිංතූරයකුත් ගහල ලොකු දරුවාත් අරගෙන වැවට පැනල, ලොකු දරුවා පීනා ගෙන ගොස් ගලක් බදාගෙන ජීවිතය බේරාගෙන. අකාලයේ වටිනා ජීවිත මෙසේ විනාශ වීම කාගේ වරදක් ද අපි දන්නේ නැහැ. මෙවන් විපත් අසන්නට දකින්නට අපි තමයි පව් කරල තියෙන්නේ.

ඇඹිලිපිටිය – සේන වී. ගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment