සිම්බාබ්වේට එරෙහිව එක්දින සංචිතය නම් කරයි

936

සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ක‍්‍රීඩකයන් 18 දෙනාගෙන් යුත් සංචිතය ඊයේ (13 වැනිදා) ප‍්‍රකාශයට පත් කෙරිණි.

එම සංචිතයට මුලින් ඇතුළත්ව සිටි අවිශ්ක ප‍්‍රනාන්දු, ජනිත් ලියනගේ සහ කමිල් මිෂාරට කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන්ද වේග පන්දු යවන්නන් වන ළහිරු කුමාර සහ කලන පෙරේරා ඉකුත්දා පැවැති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත්වීම හේතුවෙන් ද තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමිවී තිබේ.

ඒ අනුව මූලික කණ්ඩායමට ඇතුළත් වීමට අවස්ථාව නොලැබුණු දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, නුවන් ප‍්‍රදීප්, ශිරාන් ප‍්‍රනාන්දු සහ කමිඳු මෙන්ඩිස්ට තරගාවලිය නියෝජනය කිරීමේ අවස්ථාව හිමිවී තිබේ.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුතුව නම් කරන ලද ශ‍්‍රී ලංකා කණ්ඩායමේ උප නායකයා ලෙසින් කටයුතු කරනු ලබන ධනංජය ද සිල්වා, බිරිඳගේ දරු ප‍්‍රසූතිය හේතුවෙන් පීතෘ නිවාඩු ලබා සිටින බැවින් ඔහු වෙනුවට කමිඳු මෙන්ඩිස් කණ්ඩායමට එක්වී සිටියි.

ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ නැඟී එන ක‍්‍රීඩකයා ලෙසින් සම්මානයට පාත‍්‍රවූ ජනිත් ලියනගේ වෙනුවට ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ තරග 10 කදී ලකුණු 327 ක් රැස් කරමින් වැඩිම ලකුණු ලාභියා බවට පත් වුණු කුසල් මෙන්ඩිස්ද සංචිතයට ඇතුළත්ව සිටියි. එංගලන්ත තරග සංචාරයෙන් අනතුරුව තරග තහනමකට ලක් වුණු කුසල් මෙන්ඩිස් නැවතත් ජාතික කණ්ඩායමට නම් කරන ලද පළමු තරගාවලිය ලෙසින් මෙම අවස්ථාව සනිටුහන් වෙයි.

මේ අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී කමිල් මිෂාර සමඟ ශ‍්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්වූ චාමික ගුණසේකරවද සිම්බාබ්වේට එරෙහිව නම් කරන ලද කණ්ඩායමට ඇතුළත්ව තිබේ.

ශ‍්‍රී ලංකා කණ්ඩායම – දසුන් ශානක (නායක), දිනේෂ් චන්දිමාල්, පැතුම් නිස්සංක, මිනෝද් භානුක, චරිත් අසලංක, කුසල් මෙන්ඩිස්, නුවන් ප‍්‍රදීප්, ශිරාන් ප‍්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සි, නුවන් තුෂාර, රමේෂ් මෙන්ඩිස්, ප‍්‍රවීන් ජයවික‍්‍රම, දුෂ්මන්ත චමීර, චාමික ගුණසේකර.

අතිරේක ක‍්‍රීඩකයන් – අශේන් බණ්ඩාර, පුලින තරංග, නිමේෂ් විමුක්ති, අෂේන් ඩැනියල්, අසිත ප‍්‍රනාන්දු, විශ්ව ප‍්‍රනාන්දු.

advertistmentadvertistment
advertistmentadvertistment