බංග්ලාදේශය තුන් ඉරියව්වෙන්ම ශ්‍රී ලංකාව පරදවයි – තරගාවලිය සම තත්වයට

283

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් යුත් පන්දු වාර 20-20 තරගාවලියේ ඊයේ (06 වැනිදා) පැවති දෙවැනි තරඟයේදී ශ්‍රී ලංකාව පරදවා කඩුලු 8 ක පහසු ජයග්‍රහණයක් බංග්ලාදේශය ලබා ගත්තේය.

ශ්‍රී ලංකාවට වඩා තුන් ඉරියව්වෙන්ම ඉදිරියෙන් සිටිමින් බංග්ලාදේශය ඊයේ ලබා ගත් ජයග්‍රහණය අනුව තවත් තරගයක් ඉතිරිව තිබියදී දෙරට අතර තරගාවලිය 1-1 ක් ලෙස මේ වනවිට සම තත්ත්වයට පත්වී ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 165 රැස්කිරීමට සමත් වූ අතර බංග්ලාදේශය පන්දු වාර 18 යි එක් පන්දුවක් අවසානයේදී කඩුලු 2ක් දැවී ලකුණු 170ක් ලබා ජයග්‍රහණය තමන්ගේ නමට ලියා ගත්තේය.

බංගලාදේශ කණ්ඩායම මෙම තරගයේදී ඉතා විශිෂ්ට පන්දු රැකීමක මෙන්ම ඉලක්ක සහගත පන්දු යැවීමක නිරත වූ අතර ඉන් අනතුරුව පිතිකරුවෝ අවශ්‍ය කාර්යය ඕනෑවටත් වඩා ඉටුකරමින් ජයග්‍රහණය ලබා ගත්හ.

ජයග්‍රාහී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතකයක් ලබා ගත් නායක නජ්මුල් හුසේන් ෂැන්ටෝ අවසන් පන්දුවේදී සිය අර්ධ ශතකය සහ බංග්ලාදේශ ඉනිමේ ජයග්‍රහණයද වාර්තා කළේය. තරඟයේ වීරයා සම්මානය ද ෂැන්ටෝ ට හිමි විය.

ඔහුට අනගි සහයක් ලබා දුන් ටව්හිඩ් රිඩෝයි නොදැවී ලකුණු 32 ක් ලබා ගත්තේය.

දසුන් ශානකගේ උඩ පන්දුව අවසන් ඕවරයේ පස්වන පන්දුවේ දී අත් හැරී යෑම අමතක කළහොත් බංගාලේදේශය ගෞරවණීය පන්දු රැකීමක යෙදුණේය. අතිරේක ලකුණු 05ක් පමණි. එක් නිපන්දුවක් හෝ බයිස් ලකුණක් හෝ ලබා නොදෙමින් ඔවුහු ශ්‍රී ලංකා පිතිකරුවන් පීඩනයට ලක් කළහ.

ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් මුල් තරගයේ පන්දු දෙකකට මුහුණ දී ලකුණු 04කට දැවී ගිය අවිශ්ක මෙවර පන්දු හතකට මුහුණ දී ලකුණු නොලබා දැවී ගියේය.

කුසල් මෙන්ඩිස් සහ කමිඳු මෙන්ඩිස් අතර දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 66ක සම්බන්ධතාවයක් ගොඩනගා තිබිණි. වැඩ බලන නායක චරිත් අසලංක මෙම තරගයේදීද වේගවත් පිතිහරඹයකට ආරම්භය ලබා ගත් අතර පන්දු 14 දී 6 පහර 3 ක් සහ එක් 4 පහරක් සමඟ ලකුණු 28 ක් ලැබීය.

කමිදු මෙන්ඩිස් ලකුණු 37 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අතර ඇන්ජලෝ මැතිව්ස් නොදැවි ලකුණු 32ක් ලබා ගැනීමට සමත් වූයේය.

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක නජ්මුල් හුසේන් ශාන්ටෝ පළමුව පන්දු යැවීම තෝරා ගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අකිල ධනංජය වෙනුවට ඩිල්ශාන් මධුසංඛ කණ්ඩායමට කැඳවා තිබුණි.

බංග්ලාදේශ කණ්ඩායමේ දැවී ගිය කඩුලු දෙකම දවා ගැනීමට මතීෂ පතිරණ සමත් වූ අතර පාදයේ ආබාධයක් හේතුවෙන් නියමිත පන්දු වාර 4 සම්පූර්ණ කිරීමටත් පන්දු දෙකක් ඉතිරිව තිබියදී මතීෂ ක්‍රීඩා පිටියෙන් ඉවත් වූයේය.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව 165/5(20)

අවිශ්ක ප්‍රනාන්දු 00, කුසල් මෙන්ඩිස් 36, කමිඳු මෙන්ඩිස් 37, සධීර සමරවික්‍රම 07, චරිත් අසලංක 28, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 32, දසුන් ශානක නොදැවී 20

පන්දු යැවීම

ටස්කින් අහමඩ් 4-38-1, රිෂාඩ් හොසේන් 3-21-1, ෂොරිෆුල් ඉස්ලාම් 4-20-0, මහේදි හසන් 4-39-1,මුෂ්ටෆිශුර් රහ්මන් 4-42-1,සෞම්‍ය සර්කාර් 1-05-1, රිෂාඩ් හොසේන් 3-21-0

බංග්ලාදේශය 170/2/(18.1)

ලිටන් දාස් 36, නජ්මුල් හොසේන් ෂැන්ටෝ නොදැවී 53, සෞම්‍ය සර්කාර් 26, තව්හිත් රිදෝයි නොදැවී 32,

පන්දු යැවීම

ඇන්ජලෝ මැතිව්ස් 2.2-22-0, දසුන් ශානක 1.1-19- 0, මහීෂ් තීක්ෂණ 4-35-0, බිනුර ප්‍රනාන්දු 3-22-0 මතීෂ පතිරණ 3.4-28-2 ඩිල්ශාන් මධුසංඛ 4-34-0

advertistmentadvertistment
advertistmentadvertistment