ශ්‍රී ල.නි.පයට එරෙහි වූයේ සී.පී.ද සිල්වා විතරද?

112

පසුගිය දිනවල රටේ දේශපාලන කරළියේ උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබුණේ ශ්‍රී ලනිපයේ මහලේකම් ධුරය දැරූ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා එම ධුරයෙන් ඉවත් කිරීමත් පක්‍ෂ සාමාජිකත්වය තහනම් කිරීමත්ය. ශ්‍රී ලනිපය පමණක් නොව මේ රටේ ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්‍ෂ බොහෝමයක මෙවැනි අර්බුද දැකිය හැකිය. එහෙත් ශ්‍රී ලනිපය සම්බන්ධයෙන් මතුවූ එකම අර්බුදකාරී තත්ත්වය මෙය නොවේ. මීට පෙරද අවස්ථා ගණනාවක එවැනි තත්ත්වයක් ඉස්මතුව තිබිණි. මේ ඒ අතීත කතාවක් ගැන සටහනකි.

“එක්වෙමු වෙනසකට සැරසෙමු” යන තේමාව යටතේ ශ්‍රී. ල. නි. පක්ෂයේ 72 වන සංවත්සරය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාච් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී 2023.09.03 දින පවත්වන බවට විශාල වශයෙන් පෝස්ටර් මගින් ප්‍රචාරය දී තිබිණි. නමුත් එම පෝස්ටර්වල ශ්‍රී. ල. නි. පක්ෂයේ දෙවන නායකයා වූ සී. පී. ද සිල්වා මහතාගේ ඡායාරූපය නොතිබුණු අතර වර්තමාන නායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡායාරූපය සමග අනිකුත් හිටපු නායකයන්ගේ ඡායාරූප තිබිණි.

ශ්‍රී. ල. නි. පක්ෂයේ හිටපු නායකයන් වන්නෙ ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, සී. පී. ද සිල්වා, සිරිමාවෝ බණ්ඩාරනායක, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්‍ෂ යන අයයි. වර්තමාන නායකයා මෛත්‍රීපාල සිරිසේන මහතාය. නමුත් ශ්‍රී. ල. නි. පක්ෂය සංවත්සර උත්සව පවත්වන විට හා පක්ෂයේ ඉතිහාසය පිළිබඳ ලිපි ලියන විට සී. පී. ද සිල්වා මහතාගේ නාමය අමතක කර ඇත. ශ්‍රී. ල. නි. පක්ෂයේ ප්‍රබලයෙකු වරක් ප්‍රකාශ කර තිබුණේ සී. පී. ද සිල්වා මහතා ශ්‍රී. ල. නි. පක්‍ෂයේ වැඩ බලන නායකයා ලෙස පත් කර තිබූ බවය. එය සම්පූර්ණයෙන් අසත්‍යයකි. ශ්‍රී ල. නි. පක්ෂය කිසිම විටක නායක පුරප්පාඩුව සඳහා වැඩබලන නායකවරුන් පත් කළේ නැත. එය පාසල්වල වැඩබලන විදුහල්පති වැනි පත්වීමක් නොවීය. ස්ථීර පත්වීමකි. නායක ධුරයට වැඩබලන නායකයා පත්වීමක් වුණේ නම් නායකත්වයෙන් ඉල්ලා අස්වීමක් සිදුවන්නේ කෙසේද? වැඩබලන වැනි සත්‍ය නොවන ප්‍රකාශ තුළින් සිදුවන්නේ දේශපාලන ඉතිහාසය පිළිබඳ නිවැරදි නොවන තොරතුරු එළිදැක්වීමය.

1956 මහා මැතිවරණයේදී ශ්‍රී. ල. නි. පක්ෂය ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ බලයට පත් වී දිවංගත අගමැති ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටවනු ලැබූ රජයේ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ධුරයටත්, සභානායක ධුරයටත් පත්වූයේ සී. පී. ද සිල්වා මහතාය. එකල සභානායක ධුරය උප අගමැති ධුරය හා සමාන විය. මේ නිසාම බණ්ඩාරනායක මහතා විදේශගත වූ විට අගමැති ධුරයේ වැඩ බැලුවේ සී. පී. ද සිල්වා මහතාය. නමුත් අවාසනාවකට මෙන් 1959.09.26 වන දින බණ්ඩාරනායක මහතා දිවංගත වනවිට අසනීපයෙන් සිටි සී. පී. ද සිල්වා මහතා වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා එංගලන්තයට ගොස් සිටියේය. බණ්ඩාරනායක රජයේ හිටපු ඇමැතිවරයකු වූ හෙන්රි අබේවික්‍රම මහතා ලියූ බණ්ඩාරනායක පරිවර්තන යුගය නම් ග්‍රන්ථයට අනුව පැරණිකම හා සම්ප්‍රදාය පරිදි අගමැතිකමට සුදුස්සා සී. පී. ද සිල්වා මහතා බව සඳහන් කර ඇති නමුත් ඔහු මේ රටේ නොසිටි නිසා අග්‍රාමාත්‍ය ධුරය හිමිවූයේ සභානායක ධුරයේ වැඩ බැලූ විජයානන්ද දහනායක මහතාට බවය. දහනායක මහතා ශ්‍රී. ල. නි. පක්ෂයේ ප්‍රබලයකු නොවීය. ඔහු 1956 මැතිවරණයේදී ම. එ. පෙරමුණට එක්වූයේ සමස්ත ලංකා සිංහල භාෂා පෙරමුණේ නායකයා ලෙසය.

සී. පී. ද සිල්වා මහතා සුවය ලබා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව නැවතත් ශ්‍රී. ල. නි. පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතුවල නිරත විය. මේ වනවිට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට ද ශ්‍රී. ල. නි. පක්ෂය එපා වී තිබිණි. ඒ නිසාම ඇය අත්තනගල්ල ආසනයේ අතුරු මැතිවරණයට නාමයෝජනා දීමට ඉදිරිපත් වූයේ ස්වාධීන අපේක්ෂිකාවක් හැටියටය. ඒ සමගම බේරුවල මැසිලින් සිල්වා මහත්මිය ද ස්වාධීන අතුරු මැතිවරණයට ඉදිරිපත් වූවාය. නමුත් එකල අග්‍රාමාත්‍ය ලෙස සිටි විජයානන්ද දහනායක මහතා 1959 දෙසැම්බර් 4 වැනිදා රාත්‍රී පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා අතුරු මැතිවරණය නොපැවැත් වුණි.

1959 දෙසැම්බර් මස ශ්‍රී. ල. නි. පක්ෂයේ නව නායකයා තේරීම සිදුවුණි. මේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස සී. පී. ද සිල්වා මහතා සිටි අතර අනිකුත් උප සභාපතිවරුන් වූයේ උත්තර මන්ත්‍රී ඒ. පී. ජයසූරිය, ටී. බී. ඉලංගරත්න, මෛත්‍රීපාල සේනානායක යන තිදෙනාය. පක්ෂයේ ලේකම් ලෙස ජේ. සී. ඩබ්ලිව්. මුණසිංහ මහතා සිටි අතර සම ලේකම්වරු වූයේ ඇම්. පී. ද සොයිසා හා දොස්තර ඩබ්ලිව්. ඩී. ද සිල්වා යන දෙදෙනාය. නව නායකයා තේරීමේ රැස්වීමේදී ඒ. පී. ජයසූරිය මහතා ශ්‍රී. ල. නි. පක්ෂයේ නව නායකයා ලෙසට සී. පී. ද සිල්වා මහතා සුදුසු බවට යෝජනා කළේය. ඒ අනුව ඒකමතිකව ශ්‍රී. ල. නි. පක්ෂයේ නව නායකත්වයට (සභාපති ධුරයට) සී. පී. ද සිල්වා මහතා පත්වූයේය. මෙම පත්වීම ස්ථිර පත්වීමක් මිස කිසිම විටක වැඩබලන පත්වීමක් නොවීය.

මේ කාලය වනවිට රාජපක්ෂලා ද ශ්‍රී. ල. නි. පක්ෂය අත්හැර ගොස් තිබිණි. විශේෂයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පියාණන් වූ බෙලිඅත්ත මන්ත්‍රීව සිටි ඩී. ඒ. රාජපක්ෂ මහතා ද, හම්බන්තොට මන්ත්‍රීව සිටි ලක්ෂ්මන් රාජපක්ෂ මහතා ද, අධිනීතිඥ ජෝර්ජ් රාජපක්ෂ මහතා ද සම්බන්ධව සිටියේ ශ්‍රී. ල. නි. පක්ෂයට නොව පිලිප් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් තිබූ මහජන එක්සත් පෙරමුණටය. සී. පී. ද සිල්වා මහතා ශ්‍රී. ල. නි. ප. නායකත්වයට පත්වීමෙන් පසුව 1960 මාර්තු මැතිවරණයේදී තරග කිරීමට ඉදිරිපත් වූයේ මින්නේරිය ආසනයටය. මේ නිසාම ඔහුට විරුද්ධව සුදුසු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමේ ප්‍රශ්නය ඇති වූයේ එක්සත් ජාතික පක්ෂයටය. 1956 මැතිවරණයේදී සී. පී. ද සිල්වා මහතා සමග එ. ජා. පක්ෂයෙන් තරග කළ කොතලාවල පරපුරට අයත් ජෝර්ජ් කොතලාවල මහතා මින්නේරිය ආසනයට තරග කිරීමට ඉදිරිපත් වූයේ නැත. අන්තිමේදී එකල එ. ජා. ප. නායක ලෙස සිටි ඩඩ්ලි සේනානායක මහතාගේ ඉල්ලීම පරිදි මින්නේරිය ආසනයට තරග කළේ දික්වැල්ලේ පොල්ගහමුල්ලේ උපන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමුපකාර දෙපාර්තමේන්තුවේ උසස් නිලයක් දැරූ ඩී. ඩී. කුලතුංග මහතාය. ඔහු මෙම ලියුම්කරුගේ මාමා (මවගේ එක කුස උපන් වැඩිමහල් සොහොයුරු) වූ අතර ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ හිටපු නායක ඩිව්. ගුණසේකර මහතාගේ ලොකු අම්මාගේ (මවගේ වැඩිමහල් සොහොයුරිය) පුත්‍රයකු විය. නමුත් මින්නේරිය ආසනය තුළ සී. පී. ද සිල්වා මහතාට තිබූ දැවැන්ත ශක්තිය නිසා ඩී. ඩී. කුලතුංග මහතා විශාල ඡන්ද ගණනකින් පැරදුණි.

1960 මාර්තු මැතිවරණයේදී සී. පී. ද සිල්වා මහතා ශ්‍රී. ල. නි. පක්ෂයට නායකත්වය දෙමින් අගමැති අපේක්ෂකයා විය. මෙහිදී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ද රැස්වීම් ඇමතීමට ඉදිරිපත් වූ අතර ඇයට පක්ෂයේ තනතුරක් නොතිබූ නිසා අනුශාසක ලෙසින් නම් කෙරිණි. එම මාර්තු මැතිවරණයේදී ජනතාව ශ්‍රී. ල. නි. පක්ෂයට ඡන්දය දුන්නේ සී. පී. ද සිල්වා මහතා අගමැති කිරීමට මිස සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අගමැති කිරීමට නොවේ. තවද එම මැතිවරණයේදී ලියාපදිංචි දේශපාලන පක්ෂ 18 ක් තිබුණු අතර ලියාපදිංචි නැති පක්ෂ කීපයක් ද විය. ශ්‍රී. ල. නි. පක්ෂය තරග කළේ තනි පක්ෂයක් ලෙසය. එමෙන්ම වාමාංශික පක්ෂ සමග නිතරග ගිවිසුමක් නොවීය. ශ්‍රී. ල. නි. ප. රැස්වීම්වලදී ජනතාව විසින් සී. පී. ද සිල්වා මහතා පිළිගනු ලැබුවේ ශ්‍රී. ල. නි. පක්ෂයේ නායකයාට ජයවේවා! අනාගත අගමැතිතුමාට ජය වේවා! බලපිටියේ වීරයාට ජය වේවා! මින්නේරියේ වීරයාට ජය වේවා! යනුවෙන් ප්‍රීතිඝෝෂා පවත්වමිනි.

1960 මාර්තු මැතිවරණයේදී කිසිම පක්ෂයකට බහුතර බලයක් හිමි නොවූ අතර ශ්‍රී. ල. නි. පක්ෂයට සැලකිය යුතු ආසන සංඛ්‍යාවක් ලැබුණි. මැතිවරණ ප්‍රතිඵල අනුව එ. ජා. පක්ෂයට ආසන 50 ක්ද,

ශ්‍රී. ල. නි. පක්ෂයට ආසන 46 ක්ද, ෆෙඩරල් පක්ෂයට ආසන 15 ක්ද, ල. ස. ස. පක්ෂයට හා ම. එ. පෙරමුණට ආසන 10 බැගින් ද, ල. ප්‍ර. පක්ෂයට ආසන 4 ක්ද, කොමියුනිස්ට් පක්ෂයට ආසන 3 ක්ද, ජාතික විමුක්ති පෙරමුණට ආසන 2 ක්ද, ස. ම. පෙරමුණට, ද්‍රවිඩ සංගමයට, බෝ. බ. පෙරමුණට, ශ්‍රී. ල. ජා. පෙරමුණට ආසන 1 බැගින් ද ලැබී තිබිණි. ස්වාධීන මන්ත්‍රීවරු 7 ක් පත්වූහ. ඉන් 4
දෙනකුගේම සහාය තිබුණේ ශ්‍රී. ල. නි. පක්ෂයටය.

මේ අතර ල. ස. ස. පක්ෂය, ලංකා කොමියුනිස්ට් පක්ෂය, ජා. වි. පෙරමුණ, බෝසත් බණ්ඩාරනායක පෙරමුණ, ශ්‍රී ලංකා ජාතික පෙරමුණ සහ පක්ෂ කැමැත්ත පළ කළේ ශ්‍රී. ල. නි. ප. රජයක් පිහිටුවා සී. පී. ද සිල්වා මහතා අගමැති කිරීමටය. ස්වාධීන මන්ත්‍රීන් 7 දෙනාගෙන් 4 දෙනකුගේම සහාය තිබුණේ ශ්‍රී. ල. නි. පක්ෂයටය. මේ අනුව මන්ත්‍රීන් 70 වකගේ සමීප ඡන්ද සංඛ්‍යාවක් ශ්‍රී. ල. නි. පක්ෂයට තිබියදීත් එකල සිටි අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක මහතා සී. පී. ද සිල්වා මහතාට අගමැතිකම නොදී එ. ජා. පක්ෂයේ ඉදිරියෙන් සිටි නායක ඩඩ්ලි සේනානායක මහතාට අග්‍රාමාත්‍ය ධුරය ලබා දුන්නේය. ඒ අනුව එ. ජා. පක්‍ෂ රජයක් ඇති විය. සී. පී. ද සිල්වා මහතා විපක්ෂ නායක ලෙස පත් විය. කෙසේ වෙතත් ඔහුට විපක්ෂයේ අනිකුත් පක්‍ෂ සමග එක්වී 1960 අප්‍රේල් 22 වන දින පැවැති රාජාසන කතා ඡන්ද විමසීමේදී එ. ජා. ප. රජය පරාජය කිරීමට හැකි විය. මේ නිසාම අග්‍රාණ්ඩුකාරතුමා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා 1960 මැයි 20 වැනිදා නාම යෝජනා පත්‍ර ගැනීමටත් 1960 ජූලි 20 වැනිදා මැතිවරණයක් පැවැත්වීමටත් දින නියම විය. එහෙත් 1960 ජූලි මැතිවරණයට නාම යෝජනා භාර ගැනීමට පෙර සී. පී. ද සිල්වා මහතා ශ්‍රී. ල. නි. ප. නායකත්වයෙන් ඉල්ලා අස්විය. එය ඔහුගේ දේශපාලන ජීවිතයේ ගත් වැරදි තීරණයකි. තවත් විදියකින් කිවහොත් එය දේශපාලන වශයෙන් දිවිනසා ගැනීමකි. ඔහු පක්ෂ නායකත්වයෙන් අස් නොවී සිටියේ නම් 1960 ජූලි මැතිවරණයෙන් ජයගෙන ස්ථිරවම මේ රටේ අගමැතිවරයා වන්නේය.

1960 ජූලි මැතිවරණයේදී ශ්‍රී. ල. නි. පක්ෂයට ආණ්ඩු බලය ලැබුණේ ශ්‍රී. ල. නි. ප, ල. ස. ස. ප, කො. ප. නිතරග ගිවිසුම තනි පක්‍ෂයක් ලෙස ජයග්‍රහණය ලබා නැත. ජයලබා ගත්තේ නිතරග ගිවිසුමක් හෝ පෙරමුණක් හෝ සන්ධානයක් හෝ ලෙසය. 1956 මැතිවරණයේදී ශ්‍රී. ල. නි. ප. ය ජය ගත්තේ මහජන එක්සත් පෙරමුණ ලෙසය. 1960 ජූලි මැතිවරණයේදී ජය ගත්තේ ශ්‍රී. ල. නි. ප., ල. ස. ස. ප., කො. ප. නිතරග ගිවිසුම නිසාය. 1970 දී ජය ගත්තේ ල. ස. ස. ප. හා කො. ප. ඇතුළත් සමගි පෙරමුණ තුළිනි. 1994 මැතිවරණයේදී ජය ගත්තේ පොදුජන එක්සත් පෙරමුණ තුළිනි. 2004 මැතිවරණයේදී ජය ගත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේය. 2010 මැතිවරණයේදීත් ජය ගත්තේ එ. ජ. නි. සන්ධානය යටතේය. 1960 ජූලි මැතිවරණයේදී සී. පී. ද සිල්වා මහතා ශ්‍රී ල. නි. ප. නායක ලෙස සිටියේ නම් බණ්ඩාරනායක මැතිනිය ලැබූ ජයග්‍රහණයට සමාන හෝ ඊටත් වඩා ජයග්‍රහණයක් ගැනීමට හැකියාව තිබිණි. 1960 මාර්තු මැතිවරණයේදී සී. පී. ද සිල්වා මහතාගේ නායකත්වය යටතේ වත්තේගම, යාපහුව, සොරණාතොට, ගම්පොල යන ආසන ජය ගත්තේ ශ්‍රී. ල. නි. පක්ෂයයි. නමුත් 1960 ජූලි මැතිවරණයේදී බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වය යටතේ මෙම ආසන ශ්‍රී. ල. නි. පක්ෂයට අහිමි වූයේ නිතරග ගිවිසුමක් තිබියදීය. ජය ගත්තේ එ. ජා. පක්ෂයයි. ඒ. සේනානායක (වත්තේගම), යූ. බී. වන්නිනායක (යාපහුව), ඇස්. බී. ඒකනායක (සොරණාතොට), ඇල්. බී. දසනායක (ගම්පොල) යන එ. ජා. ප. අපේක්‍ෂකයෝ ජය ගත්හ.

1960 මාර්තු මැතිවරණයේදී සී. පී. ද සිල්වා මහතාගේ නායකත්වය යටතේ දිනූ ආසන 19 ක වැඩි ඡන්ද සංඛ්‍යාව ජූලි මැතිවරණයේදී බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වය යටතේ නිතරග ගිවිසුමක් තිබියදීත් බොහෝ සෙයින් පහත වැටී තිබිණි. ඒ අනුව දඹුල්ල, ලග්ගල, කුණ්ඩසාලේ, උඩුනුවර, හේවාහැට, නාවලපිටිය, නිකවැරටිය, හලාවත, වෙන්නප්පුව, දඹදෙණිය, මැදවච්චිය, පොළොන්නරුව, මින්නේරිය, කලාවැව, කැකිරාව, බණ්ඩාරවෙල, හපුතලේ, රඹුක්කන, බලංගොඩ යන ආසන 19 ක ශ්‍රී. ල. නි. ප. වැඩි ඡන්ද සංඛ්‍යාවක් මාර්තු මැතිවරණයට වඩා අඩු වී තිබිණි. මෙම කරුණු විමර්ශනය කරන විට අපට පෙනී යන්නේ සී. පී. ද සිල්වා මහතා ශ්‍රී. ල. නි. ප. නායකත්වයෙන් අස් නොවී සිටියේ නම් 1960 ජූලි මැතිවරණයේදී පක්ෂය ජයග්‍රහණය කරවමින් ස්ථිරවම මේ රටේ අගමැතිවරයා බවට පත්වන කාරණාවයි.

1964 දෙසැම්බර් 3 වැනිදා ශ්‍රී. ල. නි. ප., ල. ස. ස. ප. හවුල් රජයේ රාජාසන කතා ඡන්ද විමසීමේදී සභානායක ලෙස සිටි සී. පී. ද සිල්වා මහතා ආණ්ඩු පක්ෂයේ තවත් මන්ත්‍රීන් 13 දෙනකු සමග විපක්ෂයට ගිය කතාව සැබෑය. ඊට වඩාත්ම හේතු වූයේ පුවත්පත් නිදහස නැති කිරීමට රජය ගත් තීරණයට විරුද්ධවීමටය. ඒ නිසා සී. පී. ද සිල්වා මහතා සමග ගිය මන්ත්‍රීවරු රාජාසන කතා ඡන්දයේදී ශ්‍රී. ල. නි. ප. – ල. ස. ස. ප. හවුල් රජය පරාජය කළහ.

මෙම සිද්ධිය ගැන ප්‍රවීණ මාධ්‍යවේදී ගුණදාස ලියනගේ සූරීන් ලියූ හැටපහේ පෙරළිය නම් ග්‍රන්ථයේ සඳහන් වී ඇත්තේ සී. පී. ද සිල්වා මහතා වීර ක්‍රියාවක් කර රට බේරාගත් බටව හඬ නැගුණ අතර ඔහු ද්‍රෝහිකමක් කර ආණ්ඩුව පාවා දුන්නේ යැයි ආණ්ඩුවෙන් චෝදනා නැගුණ බව යන කාරණයයි.

කෙසේ වෙතත් මෙම සිද්ධිය හේතුකොට සී. පී. ද සිල්වාගේ නාමය පක්ෂයේ නායක පුරාණයෙන් ඉවත් කර ඇත. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක පුරාණය දෙස බලන විට දිවංගත අගමැති ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා හැර අනිකුත් නායකයන් හැම දෙනාම පක්ෂයට එරෙහි වී ඇත. නමුත් නායක පුරාණයෙන් දඬුවම් කර ඇත්තේ සී. පී. ද සිල්වා මහතාට පමණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තුන්වන නායිකාව ලෙස සලකන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ද ශ්‍රී. ල. නි. පක්ෂය නොසලකා හැර ඇත. ඇය 1959 නොවැම්බර් මස නාම යෝජනා පත්‍ර ගනු ලැබූ තම සැමියා නියෝජනය කළ අත්තනගල්ල ආසනයට ඉදිරිපත් වූයේ ස්වාධීන අපේක්ෂිකාවක් ලෙසය.

ශ්‍රී. ල. නි. පක්ෂයේ සිවුවන නායිකාව වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද පක්ෂය හැරගිය නායිකාවකි. ඇය 1984.01.20 වැනිදා ශ්‍රී. ල. නි. පක්ෂයෙන් ඉවත් වී පසුව 1984.01.22 වැනිදා තම සැමියා සමග එක්වී ශ්‍රී ලංකා මහජන පක්ෂය නම් නව දේශපාලන පක්ෂයක් බිහි කිරීමට යෙදුණි. 1986-09-11 වැනිදා ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සභාපති ධුරයට පත්වූ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කලක් විදේශගත වී සිටියාය. 1991 වර්ෂයේදී ඇය නැවත ශ්‍රී ලංකාවට පැමිණ බහුජන නිදහස් පෙරමුණ නමින් තවත් පක්ෂයක් බිහි කළාය. ඉන්පසු ඇය එම පක්ෂයෙන් ද ඉවත් වී 1992 දී නැවත වරක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වූවාය. ශ්‍රී. ල. නි. පක්ෂයේ 5 වන නායකයා වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද 2015.01.08 දින පැවැත්වූ ජනපතිවරණයෙන් පසු ජනවාරි මාසයේදීම ශ්‍රී. ල. නි. පක්ෂයේ නායක ධුරයෙන් ඉවත් විය. ඔහු 2016 අග භාගයේදී සම්පූර්ණයෙන්ම ශ්‍රී. ල. නි. පක්ෂයෙන් ඉවත් වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුවට) එක් විය.

එමෙන්ම වර්තමාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 6 වන නායකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ද 2014 නොවැම්බර් 21 වැනිදා මුළු දේශපාලන ක්‍ෂේත්‍රයම පුදුමයට පත් කරවමින් ශ්‍රී. ල. නි. පක්ෂය ප්‍රමුඛ එ. ජ. නි. සන්ධානයේ රජයෙන් ද අස් විය. ඔහු ඒ වනවිට ශ්‍රී. ල. නි. පක්ෂයේ ලේකම් ධුරය ද, සෞඛය අමාත්‍ය ධුරය ද දැරීය. 2015 ජනපතිවරණයේ ශ්‍රී. ල. නි. ප. ප්‍රමුඛ එ. ජ. නි. සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වී සිටී. ඔහු මෙසේ කරණමක් ගසා එ. ජා. පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට එක් විය. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා එ. ජා. පක්ෂයේ සහායෙන් 2015 ජනාධිපතිවරණය දිනා ජනාධිපති විය.

මෙම කරුණු විමසන විට නායකයන් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහි වී ඇත්තේ සී. පී. ද සිල්වා මහතා පමණක් නොවන බව පෙනේ.

එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ නායක පුරාණයේ කිසිම අඩුවක් නැත. එම පක්ෂයේ නායකයන් වන්නේ ඩී. ඇස්. සේනානායක, ඩඩ්ලි. සේනානායක, සර් ජෝන් කොතලාවල, ජේ. ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස සහ ඩී. බී. විජේතුංග යන අයයි. වර්තමාන නායකයා රනිල් වික්‍රමසිංහ මහතාය. හිටපු නායකයන් සියලු දෙනාගේම පිළිරූ පක්ෂ මූලස්ථානය වන සිරිකොත මන්දිරයේ ඇත. එ. ජා. පක්ෂය තම ප්‍රචාරක පත්තර හා පත්‍රිකා බෙදන විට සියලු දෙනාගේම පින්තූර පළ කිරීම වැදගත්ය. මේ අනුව හිටපු නායකයන් කිසිම කෙනෙකුගේ නම ඉවත් කර නැත. නමුත් ශ්‍රී. ල. නි. පක්ෂය තුළ මාස 5 ක් පමණ පක්ෂ නායකත්වය දරා සෑහෙන ආසන සංඛ්‍යාවක් අගමැති අපේක්ෂක ලෙස පක්ෂයට ලබාදුන් සී. පී. ද සිල්වා මහතාගේ නම ශ්‍රී. ල. නි. ප. නායක පුරාණය තුළින් ඉවත් කිරීම සුදුසු නොවේ.

එම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ 1 වන නායකයා ලෙස ඇස්. ඩබ්ලිව්. ආර්, ඩී. බණ්ඩාරනායක මහතා ද, 2 වන නායකයා ලෙස සී. පී. ද සිල්වා මහතා ද, 3 වන නායිකාව ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියද, 4 වන නායිකාව ලෙස චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ද, 5 වන නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ද, 6 වන නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ද හඳුන්වා නායක පුරාණය නිවැරදි කළ යුතුය. එසේ නොමැති වුවහොත් අනාගත පරපුරට ශ්‍රී. ල. නි. ප. නායක ඉතිහාසය ගැන නිවැරදි වැටහීමක් ඇති නොවේ.

විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්ෂ
නන්දලාල් වාකිස්ට

advertistmentadvertistment
advertistmentadvertistment