පාස්කු ප්‍රහාර යළි නොවන්න ජාතික ආරක්ෂාව තහවුරු කරනවා – ජනාධිපති පාස්කු දින පණිවිඩයෙන් කියයි

53

ශ්‍රී ලාංකේය කිතුනු ජනතාව අසීමිත ගෞරවයෙන් සමරන පාස්කු සමයේදී අතීතයේ දිනක එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරයක් නැවත රටේ ඇතිවීමට කිසිදු ඉඩක් නොතබා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පාස්කු ප්‍රහාරයට වගකිව යුතු අයට එරෙහිව නීතිය ස්වාධීනව හා අපක්‍ෂපාතීිව ක්‍රියාත්මක කරන බවද ජනාධිපතිවරයා පාස්කු දින පණිවිඩය මගින් සඳහන් කර තිබේ. ජනාධිපතිවරයාගේ පණිවිඩයේ මෙසේද දැක්වේ.

ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ විසින් නපුර පරදා උත්ථානය ලැබූ අවස්ථාව සිහිපත් කරමින් ලොව පුරා වෙසෙන කිතුනු ජනයා පාස්කු මංගල්‍යය සමරති.

ජේසුස් වහන්සේගේ දුක් විඳීම, මරණය සහ උත්ථානය සිහිපත් කරමින් දින 40ක චතාරිය සමය ගෙවන කිතුනු බැතිමත්හු උපවාසයේ නිරත වෙමින් සහ ආගමික වතාවත්වල නිරත වෙමින් පාස්කු මංගල්‍යයට එක්වෙති.

ඉතිහාසයේ දරුණුතම ආර්ථික අභියෝගය හමුවේ රටක් ලෙස අප සියලුදෙනා ද මහත් පීඩාවකට පත් වූයෙමු. එහෙත් දරාගත හැකි ජාතියක් ලෙස ඒ උත්ථානයේ ගමනේ ආශිර්වාදයත් සමගින් අප නැවත නැඟී සිටිය යුතුය.

බහුවාර්ගික සමාජයක් ලෙස ජීවත්වන අප අද රට ඉදිරියේ ඇති අභියෝග ජය ගැනීම වෙනුවෙන් එකමුතුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ. එබැවින් ශ්‍රී ලාංකිකයන් ලෙස අපගේ එකමුතුකම සහ සංහිඳියාව ප්‍රවර්ධනය කළ යුතු අතර ඊට කැළලක් ඇති කරන කිසිදු ආකාරයේ කුමන්ත්‍රණයකට හසු නොවී බුද්ධිමත්ව රටේ ආරක්ෂාව, සාමය සහ සංවර්ධනය වෙනුවෙන් කැපවීම සියලුදෙනාගේ යුතුකමකි.

advertistmentadvertistment
advertistmentadvertistment