තාක්‍ෂණික දියුණුවත් සමග වැඩිවන අන්තර්ජාල අපරාධ

109

දිනපතා උදෑසන පුවත්පතක් කියවීමේ හෝ තොරතුරක් සොයායෑමේ සිට මහා පරිමාණ ව්‍යාපාරික කටයුතු දක්වා අන්තර්ජාලය හරහා සිදුකෙරෙන තරමට තොරතුරු තාක්‍ෂණය දියුණුවට පත්ව ඇත. මෙහි අතුරුඵලයක් ලෙස අනෙකාගේ පරිගණකයට කඩාවැදී පෞද්ගලික, ව්‍යාපාරික තොරතුරු පැහැරගැනීම හෝ විනාශ කරදැමීමේ සිට ත්‍රස්තවාදී ක්‍රියාවලට යොමුකරවන අන්දමේ ක්‍රියාකාරකම් ද අද අන්තර්ජාලය හරහා සිදුවෙමින් පවතී.

මෙහිදී අන්තර්ජාලය හරහා සිදුවන සෑම අනර්ථකාරී ක්‍රියාවක්ම නැතිනම් අනවසරයෙන් කඩාවැදී දත්ත සොරා ගැනීම, තර්ජන, ගර්ජන, තොරතුරු වෙනස් කිරීම්, තොරතුරු විනාශ කිරීම් යන ක්‍රියාකාරකම් සියල්ල පරිගණක අපරාධයක්ද යන්න තීරණය වනුයේ ඊට මුහුණදුන් පුද්ගලයා හෝ ආයතනය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ගයන්ට අනුවය. කිසියම් පුද්ගලයකු හෝ ආයතනයක් තමන්ට සිදුවූ සිදුවීම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කොට ඊට වගකිවයුත්තන් නීතිය හමුවට පැමිණවීමට කටයුතු කරන්නේ නම් එය පරිගණක අපරාධයකි.

අන්තර්ජාල සබඳතාවක් තිබූ පමණින් අනෙකුගේ පරිගණකයට කඩා වැදිය නොහැකිය. ඒ සඳහා අන්තර් සම්බන්ධතාව ඇති කරදෙන මෘදුකාංගයක් තිබිය යුතුය. මෙසේ අප පරිගණකයත් පරිගණකයට කඩා වැදීමට බලා සිටින්නාත් අතර සබඳතාව ගොඩනගා දෙන මෘදුකාංග පරිගණකයට ඇතුළත් කළ යුතුය. අප නොදැනුවත්වම මෙලෙස ඇතුල්වන ක්‍රමද රැසකි. බොහෝ විට මෙවැනි මෘදුකාංග අප වෙත එවනු ලබන්නේ ඊමේල් ගොනුවක් අයුරින්, නැතිනම් වෙබ්අඩවි ලිපිනයක් ලෙසිනි. මෙම ගොනුව හෝ වෙබ් ලිපිනය විවෘත කළ සැණින් එය පිටුපස ඇති මෘදුකාංගය ක්‍රියාත්මක වී අපට නොදැනුවත්වම පරිගණකයේ ස්ථාපිත වීම සිදු වේ. එතැන් සිට අප අන්තර්ජාලයට සම්බන්ධ වන සෑම මොහොතකම අදාළ දත්ත සොරාට අවැසි පරිදි ලබාගත හැකිය. මෙවැනි ක්‍රියාන්විතයන් සඳහා බොහෝ විට යොදාගන්නා මෘදුකාංගයන් අතර ස්පයිවෙයාර්, මැල්වෙයාර්, ට්‍රොජන් යන මෘදුකාංග සුවි ශේෂීය.

තාක්‍ෂණික ක්‍රමෝපායන් මගින් පරිගණක දත්ත සොරුන්ගෙන් මෙන්ම වෛරස්වලින්ද බේරා ගැනීමට නම් නිතර යාවත්කාලීන වෛරස් ආරක්ෂක පද්ධතියක් තිබිය යුතුය. එදිනෙදා අන්තර්ජාල කටයුතු කල්පනාකාරීව සිදුකරන්නේද ඒ සඳහා anti virus software වුවත් ප්‍රමාණවත් වේ. ඇතැම් විට වෛරස ආරක්ෂක පද්ධති ඉහළ මුදලක් වන බැවින් බොහෝ දෙනා virus ආරක්ෂක පද්ධතීන්ද භාගත කරගනුයේ ටොරෙන්ට් හරහා ක්‍රැක් සොෆ්ට්වෙයාර් ලෙසිනි. මේ හරහා ඇතැම් විට අප නොදැනුවත්ව පරිගණකයට virus ගලා ඒමත්, පරිගණක දත්ත සොරා ගැනීමට සහය වීමත් සිදු වේ.

අප පරිගණකයෙන් ණයපත් නැති නම් ක්‍රෙඩිට් කාඩ් හරහා මුදල් ගනුදෙනු කරන්නේ නම් කිසි විටෙකත් ක්‍රෙඩිට් කාඩ් පතට අදාළ මුරපද හෝ නාම වෙබ්අඩවියේ තැන්පත් කිරීමට ඉඩ ලබා නොදිය යුතුය. මෙහිදී සාමාන්‍යයෙන් අන්තර්ජාලයේ මුදල් කටයුතු සම්බන්ධයෙන් විශ්වාසවන්ත ආයතනයක් නම් ලිපිනය ආරම්භයේ http ලෙස නොව https ලෙස සටහන්ව තිබිය යුතුය.

සයිබර් අපරාධ සම්බන්ධයෙන් ගතවූ වසර දෙකහමාරක කාලය තුළ පැමිණිලි 9,000කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බව ද පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය පවසයි. එමෙන්ම පරිගණක අපරාධ සම්බන්ධයෙන් මේ වසරේ පුද්ගලයන් 75ක් පමණ අත්අඩංගුවට ගෙන ඇත. මෙහිදී සයිබර් අපරාධ වැළැක්වීම සම්බන්ධයෙන් යොදාගෙන ඇති බුඩාපෙස්ට් සම්මුතිය ශ්‍රී ලංකාව විසින් අත්සන් තබා ඇති අතර ඒ අනුව පරිගණක අපරාධවලදී තොරතුරු හුවමාරු කර ගැනීමේ සහ දත්ත ආරක්‍ෂා කර ගැනීම සඳහා සම්බන්ධ වන පැය 24 පුරා ක්‍රියාත්මක සබඳතා ජාලය මෙම කොට්ඨාසය මගින් සම්බන්ධීකරණය කිරීම සිදු කරනු ලබයි.

තමන්ට නීතිය ඉදිරියට නොගොස් මෙවැනි සිදුවීම් ඉදිරියට නොවීමට වගබලා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ පිහිට පැතිය හැකිය. ඒ සඳහා https://cert.gov.lk/ වෙත පිවිසිය හැක. මෙමඟින් පරිගණක, අන්තර්ජාල හෝ සමාජ ජාල හරහා මුහුණ දෙන ගැටලු විසඳීමට සහාය ලබාදෙන අතර ඒවායේ රහසිගත භාවය රැක ගැනීමට ද බැඳී සිටී.

පසිඳු පෙරේරා
ජනසන්නිවේදන අධ්‍යනාංශය,
කැලණිය විශ්වවිද්‍යාලය.

advertistmentadvertistment
advertistmentadvertistment