වළක්වා ගත හැකි ලෙඩක් ඇඟට දමා ගැනීම

899

පසුගිය දිනවල මීගමුව ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථාන හෙවත් ස්පා 53ක් පොලිසිය විසින් වටලන ලදී. එහිදී එම මධ්‍යස්ථානවල සේවය කළ කතුන් එකසිය තිස් හතක් අත්අඩංගුවට ගැනුණි. අත්අඩංගුවට ගත් කතුන් අතර සිටි දෙදෙනකුට එච්.අයි.වී. හෙවත් ඒඩ්ස් රෝගය වැළඳී ඇතැයි පසුව කළ පරීක්‍ෂණවලදී හෙළිවිය.

මෙම සිද්ධියත් සමග නැවත ඒඩ්ස් පිළිබඳව කතා අලුත් වූ බවක් පෙනෙන්නට තිබේ. ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්‍ෂිකා ප්‍රජා විශේෂඥ වෛද්‍ය ජානකී විද්‍යාපතිරණ මහත්මිය පවසන්නේ පසුගිය වසරේ (2023) පමණක් එච්.අයි.වී. වෛරසය ආසාදිත වූ 695 දෙනකු සොයා ගත් බවයි. මෙසේ සොයා ගනු ලැබූ ආසාදිතයන්ගෙන් බහුතරය වයස 20-30ත් අතර බවද ඇය කියා සිටින්නීය. මෙලෙස සොයාගනු ලැබූ එච්. අයි. වී. ආසාදිතයන් මුළු දිවයිනම ආවරණය වන පරිදි විසිරී ඇති බව පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ. කෙසේ වෙතත් මෙලෙස සොයා ගනු ලැබූ ආසාදිතයන්ගෙන් 40%ක් කොළඹ දිස්ත්‍රික්කයෙනි.

ඉහත දත්ත පරීක්‍ෂා කිරීමේදී පැහැදිලි වන භයානක අනතුරු හැඟවීම් කීපයක් පැහැදිලිය. එච්.අයි.වී ආසාදිතයන්ගෙන් අවුරුදු 20-30 ත් අතර පිරිස බහුතරය ලෙස සොයා ගැනීම තුළ නිරීක්‍ෂණය වන්නේ භද්‍ර යෞවනයේ සිටින යෞවන යෞවනියෝ ලිංගික අධ්‍යාපනය අතින් කෙතරම් දුර්වල ද යන්නය. අනාරක්‍ෂිත ලිංගික හැසිරීම්වලදී ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බවට වෛද්‍යවරු ප්‍රකාශ කර සිටිය ද මෙම වයස් කාණ්ඩය ඊට ඇහුම්කන්දී ඇති බවක් නොපෙනේ. අනෙක් අතින් රටට අවශ්‍ය ශක්තිමත් ශ්‍රම බළකායෙන් කොටසක් මෙලෙස ඒඩ්ස් ආසාදිතයන් බවට පත්වීම ඉතාමත් කනගාටුදායකය. මෙහිදී පැහැදිලි වන තවත් කාරණයක් වන්නේ මෙලෙස ඒඩ්ස් රෝගය වැළඳුණු පිරිස හරහා තවත් කොතෙක් ප්‍රමාණයක් ඊට ගොදුරු වී ඇතිද යන කාරණයයි. එනිසා ඒඩ්ස් ප්‍රශ්නය සරලව නොගෙන එහි ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගැනීම අදාළ බලධාරීන්ගේ වගකීමය.

ඒඩ්ස් ඇතුළු ලිංගාශ්‍රිත රෝගවලට බොහෝ අය ගොදුරු වනු ලබනුයේ ඒ පිළිබඳව නිසි අවබෝධයක් නොමැතිකමෙනි. එනිසාම පාසල් කාලයේ සිට මේ පිළිබඳව දරුවන් දැනුවත් කිරීමට පියවර ගැනීම අත්‍යවශ්‍යය. මේ පිළිබඳව අදහස් දක්වන ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂිකා ප්‍රජා විශේෂඥ වෛද්‍ය ජානකී විද්‍යාපතිරණ මහත්මිය පවසන්නේ පරිපූර්ණ ලිංගික අධ්‍යාපනයක් පාසල් විෂය පද්ධතියට ඇතුළත් කළ යුතු බවයි. ඇයගේ යෝජනාවට අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු සියලුම ආයතනවල පූර්ණ සහයෝගය ලබාදීම ජාතික වගකීමකි.

ඒඩ්ස් රෝගය වළක්වා ගැනීම සඳහා know 4 Sure නම් නව ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දීමට ද මේ වන විට පියවර ගෙන ඇතැයි වෛද්‍ය ජානකී විද්‍යාපතිරණ මහත්මිය පවසයි. මේ තුළින් දිවයින පුරා ක්‍රියාත්මක ඕනෑම ලිංගාශ්‍රිත රෝග සායන සඳහා සම්බන්ධ වීමේ හැකියාව ලැබේ. ඊට සමගාමීව තමාට ඒඩ්ස් ඇතුළු ලිංගාශ්‍රිත රෝග වැළඳී ඇත්දැයි සොයා ගැනීම සඳහා ස්වයං පරීක්‍ෂණ කට්ටල ලබාදීමට ද පියවර ගෙන ඇතැයි ඇය කියා සිටින්නීය. ඒඩ්ස් රෝගය දිනෙන් දින ව්‍යාප්ත වෙද්දී එය වැළැක්වීම සඳහා මෙවැනි පියවර ගැනීම අගය කළ යුතුය.

කෙසේ වෙතත් මෙවැනි රෝග ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා හොඳම පියවර වන්නේ ස්වයං විනයක් ස්වයං පාලනයක් ඇතිකර ගැනීමයි. තමන්ට තමන්ගේ ජීවිතය පිළිබඳ ඇති වටිනාකම වටහා ගැනීම පළමුව තේරුම් ගත යුතුය. දෙවනුව පවුල් සංස්ථාවක් ලෙස කටයුතු කිරීමේදී තමන්ගේ යුතුකම් වගකීම් හරිහැටි අවබෝධ කරගෙන ඊට අනුගතව ක්‍රියා කිරීම සත්පුරුෂයන්ගේ ලක්‍ෂණය විය යුතුය. කාමයෙහි හැසිරීම වරදක් නොවේ. එහෙත් එය තමන්ගේ සහකාරියට, සහකරුවාට පමණක් සීමා කරගත හැකි නම් මේ ගොඩක් ප්‍රශ්නවලට විසඳුම් ලැබෙනු ඇත. බුදුරජාණන් වහන්සේ පවා දේශනා කරන්නේ කාමයෙහි වරදවා හැසිරීම වරදක් බවයි. එනිසා සිහිනුවනින් එළඹ සිහියෙන් තමන්ගේ ජීවන චර්යාව සකසා ගැනීම ගොඩක් ලෙඩවලින් වැළකීමට මගක් බව සක්සුදක්සේ පැහැදිලිය.

advertistmentadvertistment
advertistmentadvertistment