වතු කම්කරු ගැටලුවට පිළියමක්

36

තේ දලු නෙළන්න චීන මැෂිමක්

දිනකට දලු කිලෝ 100 ක් නෙළන්න පහසුවෙන්ම පුළුවන් – හැටන් වැවිලි සමාගමේ සාමාන්‍යාධිකාරී වරුණ ප්‍රනාන්දු

තේ වතුවල වැඩ කිරීමට වතු කම්කරුවන් නොමැති වීම හමුවේ තේ දලු නෙලීමට චීනයෙන් මෙරටට ආනයනය කර හඳුන්වා දුන් තේ දලු නෙලීමේ යන්ත්‍රයෙන් දිනකට විශාල තේ අස්වැන්නක් නෙලිය හැකි බව හැටන් වැවිලි සමාගමේ සාමාන්‍යාධිකාරී වරුණ ප්‍රනාන්දු මහතා පැවසීය.

වතු කම්කරු ගැටලුවට පිළියමක්

හැටන් වැවිලි සමාගම මෙරට තේ ආර්ථිකය ඉහළ දැමීමට මේ වනවිට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා හැටන් දික්ඔය වතුයායේ ඊයේ (29 දා) පැවති සංචාරයක් අතරතුර මාධ්‍යයට අදහස් දක්වමින් වරුණ ප්‍රනාන්දු මහතා ඒ බැව් පැවසීය.

පසුගිය වසර කිහිපය තුළ තේ වගාවට රසායනික පොහොර යෙදීම නතර කර තිබියදී වතු කම්කරුවන් තේ කර්මාන්තයේ රැකියාවලින් ඉවත් වූ නිසා වර්තමානය වනවිට තේ කර්මාන්තයේ රැකියාවල නිරත වීමට ප්‍රමාණවත් වතු කම්කරුවන් නොමැත.

මේ නිසා ආනයනය කළ තේ දලු නෙලීමේ යන්ත්‍රයෙන් දිනකට අමු තේ දලු කිලෝ 100 කට වැඩි ප්‍රමාණයක් නෙළිය හැකි බවත්, දිනක වැටුපට වතු කම්කරුවකු එම යන්ත්‍රයෙන් අමු තේ දළු කිලෝ 40 ක් නෙලිය යුතු බවත්, ඊට වැඩියෙන් නෙලන සෑම තේ දලු කිලෝවකටම රු 50 බැගින් අමතර මුදලක් ගෙවන බවත් වරුණ ප්‍රනාන්දු මහතා කියා සිටී.

තේ නිෂ්පාදනය සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදු වී ඇති බවත්, ඩොලරයේ අගය පහළ යෑම හමුවේ තේ මිල පහළ බැස ඇති බවත්, එම තත්ත්වය මත අඩු පිරිවැයකින් තේ නිෂ්පාදනය කිරීම තම වතු සමාගමේ අරමුණ බවත් සාමාන්‍යාධිකාරිවරයා කියා සිටී.

තවද තේ නිෂ්පාදනය සඳහා ආනයනය කරන යන්ත්‍ර සූත්‍ර, විදුලිය සහ තේ වගාව සඳහා යොදන රසායනික ද්‍රව්‍ය සහ පොහොර සඳහා රජයෙන් යම් සහනාධාරයක් ලබා දෙන්නේ නම් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩි කිරීමට හැකියාව ඇති බවත් ඒ මහතා පැවසීය.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment