යකඩ සමග හැප්පෙන යකඩ ගැහැනිය සොබා අම්මා…

265

දරුවෝ පස් දෙනත් එක්ක මහත්තයා මාව දාලා ගියා….
යකඩ තලන්න මහත්තයා කවදාවත්ම කියලා දුන්නේ නැහැ…
වැස්සට ගේ තෙමෙද්දි ජීවත් වෙන්න විදිහක් නැති වුණාම මැරෙන්න හිතුනා….

ඩීං.. ඩීං… නාදයෙන් යකඩ තලනා නාදය ඇසෙයි.. ඒ අම්පාර පල්ලංඔය කිව්ලේගම සොබාවතිගේ කම්මලෙනි. කිණිහිරය මත ඇති ගිනියම් යකඩය වේගයෙන් තැලෙයි. එසේ තැලෙනා යකඩයෙන් රන්වන් ගොයම් කැපීමට ලස්සනට කැරලි ගැසුනු දෑකැත්තක් නිමවී තිබේ. එසේ දෑකැත්තක් සාදා නිම කළ දෑතින් තවත් රත ගැහුනු යකඩයක් වේගයෙන් තැලෙයි. මෙසේ තැලි හැඩ වැඩ වී සැකසෙන නිසි පන්නරයෙන් යුතු කැත්තක්, පිහියක් සාදා ගැනීමට කිව්ලේගම සොබා මහත්මියගේ කම්මලට ජනයා පැමිණෙන්නේ සවි ශක්තියෙන් යුතු මෙවලමක් සාදා ගනු පිණිසය.

සුන්දර යුවතියක් වුණ සොබා පදිංචිව සිටියේ උහනය. වයස දහසයේදි පල්ලංඔය ප්‍රදේශයේ පදිංචි අල්ලිස්හාමි තරුණයා සමගින් ඇය දීගයට පිවිසෙන්නේ ජීවිතය ගැන දහසක් බලාපොරොත්තු පොදි බැඳ ගෙනය. සැමියාගේ රැකියාව කම්මල් වැඩය. ඇය නිරන්තරයෙන් සහයෝගය ලබා දුන්නද සැමියාගේ බීමත්කම ඇයට විශාල ගැටලුවක් වන්නට වූවාය. එහෙත් සොබා සැමියාට අසීමිතව ආදරය කළාය.

ඇය සැමියාට කෙතරම් උපකාර කළද සැමියා කිසි දිනක කම්මල් වැඩ ගැන කියා නොදෙන ලදි. ඇතැම් දිනවල දෑකැති කැරලි ගසන විට එක පැත්තකින් දෑකැත්ත අල්ලාගෙන සිටීමට ඇයට සිදුවේ. එලෙස එක දිගට දිගු වේලාවක් දැකැත්ත කැරලි ගසන තෙක් අල්ලාගෙන සිටිනා විට ඇයට නොදැනීම ඇයගේ දෑස් නිදිමතින් පිරී යයි. එවිට සැමියාගෙන් ඇඟිලි තුඩුවලට වැදෙනා මිටි පහරින් ඇයගේ නිදිමත සැණෙකින් පලා ගියද සියුමැලි සොබාගේ දෑතේ ඇඟිලිවලට දැනෙනා වේදනාව දින ගණනක් යනකම් ඇයට ගෙන දෙන්නේ පීඩාවකි.

දිනක් සැමියා හට ඇවිදීමට නොහැකිව අසනීප විය. සොබාවතී දැඩි අසීරුතාවකට පත් වූවාය. ඇය මාස ගණනාවක් වෙහෙස වී සැමියා සුව පත් කර ගැනීම සඳහා රත්නපුරයේ සහ බොරැල්ල ආයුර්වේද රෝහල් වලින් පවා ප්‍රතිකාර ලබා දෙන ලදි.

අල්ලිස් හාමි මළා…. දිනක් උදෑසනම සොබාගේ දෑතට ලැබුණු විදුලි පණිවිඩයෙන් කියවිණි. සොබාගේ හදවත කඩා වැටුනා සේ දැනුණි. කඩිමුඩියේ ඇඳ පැළඳගත් සොබා දරුවන් දෙදෙනකුද රැගෙන කඳුළු සලමින් රත්නපුර රෝහල වෙත ගියද දුටුවේ මිය ගියා යැයි කියූ සැමියා යහතින් සිටින අයුරුය. ඇවිද ගැනීමටත් නොහැකිව සිටි සැමියා මේ වන විටත් නොන්ඩි ගසමින් ඇවිදිමින් සිටිති. බොරු කිරීම නිසා පසුව රෝහලෙන්ද ඔහුගේ ටිකට් කපන ලදි.

යකඩ සමග හැප්පෙන යකඩ ගැහැනිය සොබා අම්මා…

ඇයි ඔයා බොරු කීවේ. මාව රැවට්ටුවේ ඇයි යනුවෙන් අසද්දි සැමියාගෙන් පහර පිට පහර දෙනෝ දාහක් මැද ඇයට රත්නපුර නගරයේ බස් නැවතුම් පොළේදි වැදෙන්නට වුණි. නමුත් එලෙස ගුටිකෑවත් සොබා ඔහුව බොරුල්ල ආයුර්වේද රෝහලේ ප්‍රතිකාර සඳහා නතර කරන ලද්දේ පතිභක්තිය නිසාමය. සැමියා මසක් යන්නට මත්තෙන් නැවත නිවසට පැමිණයේය. ඊට සති කිහිපයකට පසුව පසුව මාස ගණනාවක් ඔත්පලව සිටිද්දි දෙපයින් ඇවිදීමට සාත්තු සාප්පායම් කළ සොබා සහ දරු තිදෙනා අතහැර යන ලදි.

දැන් සැමියාද නැත. දරු තිදෙනෙක් සමගින් කෙසේ නම් ජීවත් වන්නද. විටෙක ඇයට ලාම්පු තෙල් ටිකක් බී මැරෙන්නට සිතුනි. මොනවා කරන්නද? මම කොහොමද ජීවත්වෙන්නේ. කටු මැටි ගැසූ පුංචි නිවසේ සිදුරුව ගිය පොල් අතු අතරින් රාත්‍රියේ අහස් කුසෙහි දිලිසෙමින් තිබෙන සඳ දෙස බලමින් ඇය රෑ පුරා නිදි වරමින් කල්පනා කරන්නට වන්නීය. කිසිදු දෙයක් සිතට එන්නේද නැත. කෙසේ නම් මම මේ දරුවන්ගේ කුස පුරවන්නද? කෙසේ නම් පාසල් යවන්නද? කටු මැටි බිත්ති අතරේ හිඩැස් තුළ සැඟවී සිටින විසකුරු කරවලන්ගෙන්ද ඇයට ගෙන ආවේ ඉමහත් පීඩාවකි. මේ සියල්ල විඳ දරා ගනිමින් මම කොහොම හරි ජීවත් වෙනව. ඇයට කෙලි දොලෙන් පසු වන පුංචි දරු පැටව් තිදෙනා දුටු විට සිතිනි. ඔව් මම ලාම්පු තෙල් බොන්නේ නැහැ මම කොහොම හරි ජීවත්වෙනවා. ඇය තිර ලෙස අදිටන් කරගත්තාය.

පසුදින අලුයම පිබුදුනු සොබා මිටිය අතට ගත්තේ තිර අදිටනිනි. කිනිහිරය මත රත ගැහුනු යකඩයට ඉහිලුම් නොදෙන සේ සොබාගේ දෑඟිලි අතර සිරවූ රාත්තල් 10 මිටියෙන් පහර පිට පහර වැදෙයි. උදෑසන සිට වෙහෙස මහන්සි වී සවස් වන විට යාන්තමින් යකඩය තලා අවසන් වන ලදි. යකඩ තැලූ පහරට ඇගේ මුළු සිරුරම රිදුම් දෙති. පුදුම අමාරුවක්නේ යකඩ තලන්න තියෙන්නෙ. නමුත් මොනවා කරන්නද? පසුදින පිබුදුනු සොබා පෙරදා තලා සකසා ගත් දෑකැත්තේ කැරලි ගසන්නට වූවාය. එලෙස සාදා ගත් දෑකැත්තද ඇයට ගෙන ආවේ ඉමහත් සතුටක් වුවද ඇයට ලැබුණේ රු. 75ක් වැනි සුළු මුදලකි. එයින් කඩ පිලට ගිය ඈ ගෙදරට වුවමනා දේ ගත්තේ දින කිහිපයකින් හරි හමන් කෑමක් නැතිව සිටි දරුවන්ට එදිනවත් හොඳට කෑම වේලක් දීමේ අදහසිනි. පසුදා උදෑසනම පිබිදී පුංචි දරුවන්ට උයා පිහා කවා රෙදි පෙරදි සෝදා නිවසේ වැඩ කටයුතු කර කම්මලට ගිය සොබා යකඩ කැබැල්ලක් ගෙන තලන්නට වූවේ පිහියක් සාදනු පිණිසය. නමුත් මිටිය දෑතට ගන්නට බැරිය. දිය පට්ට සෑදීම නිසා මුළු අතම රිදුම් දෙන්නට වූවාය. එලෙස කම්මල් රස්සාව වේදනාවක් ගෙන දුන්නද වැඩ නොකර සිටියොතින් පුංචි දරුවන් බඩගින්නේය.

එනිසා අපහසුවද විඳ දරා ගනිමින් ඈ කිණිහිරිය මත රැඳුනු යකඩය දිගින් දිගටම තලන්නට වූවාය. ඝනකමට ඇති දුණුකොළ කැබැල්ලක් තැලීම සඳහා රාත්තල් 10ක මිටියකින් සහ රාත්තල් 04 ක මිටියකින් දෙදෙනකු නොකඩවා තැලිය යුතුය. සොබාට එලෙස උදව්වක් ගැනීමට සිටියේ පුංචි අත දරුවන් පමණි. එම නිසා ඇය උරහිස් පතු රිදෙනා තෙක් රාත්තල් 10 මිටිය ගෙන දිගින් දිගටම වේගයෙන් තලන්නට විය. උදුනට දමා යකඩය රත ගැන්වීමට විනාඩි 05ක් හෝ දහයක් මයිනහම ඇදිය යුතුය. මයින හමේ බලයෙන් රත ගැහි ගිනියම්ව එන යකඩය නැවත ගෙන කිසිදු අනුකම්පාවක් නොමැත්තෙකු සේ දිගින් දිගටම යකඩය තැලීම කළ යුතුය. කිනිහිරිය මත රත ගැසී තිබෙන යකඩය දුටු සැණින් සොබාගේ සියුමැලි දෑතට අමුතුම ශක්තියක් ලැබේ. පුංචි දරුවෝ සිහියට නැගෙත්ම තව තවත් සිරුරුට වැඩි වැඩියෙන් ශක්තියක් ලැබෙයි. මේ අයුරින් පැය කිහිපයක් රත විස්සක් විසි පහක් පමණ එක දිගටම කිසිදු නිනව්වක් නොමැතිව තැලීමට සොබාට සිදුවිය. සැමියා යකඩ තලද්දි සොබා මයින හම අදිමින් වසර ගණනාවක් උදව් උපකාර කළද ඔහු කිසි කලක ඇයට කම්මල් වැඩ කියා නොදෙන ලදි. සැමියා වැඩ පළ කරද්දි බලා සිටිමින් ලබා ගත් දැනුම ඇරෙන්නට ඇයට කම්මල් වැඩ සඳහා කිසිදු දැනීමක් නොමැත්තීය.

යකඩ සමග හැප්පෙන යකඩ ගැහැනිය සොබා අම්මා…

කරත්ත රෝදෙට පට්ටම් ගැසූ හැටි සොබා නංගි, කරත්තේ රෝදේ පට්ටන් ගහන්න තියෙනවා. මම හෙට අරගෙන එන්නම්. නිවස ආසන්නයේ පදිංවිව සිටි අයෙකු ඇයට පවසන්නට වූවාය. හා ගේන්න මම වැඩේ හොඳට කරලා දෙන්නම්, සොබා කිසිදු තිගැස්මක් නොපෙන්වා පැවසුවද ඇයගේ සිත තුළ එම කාරිය කළ හැකිදැයි චකිතයක් තිබුණි. රෑට නින්දට ගියද ඇයට මැවී පෙනෙන්නට වූවේ පසුදාට සිදූ කිරීමට තිබුණු කරත්තයේ පට්ටම් දැමිල්ලය. මට පුළුවන්ද පට්ටම දමා ගන්න ඈ රාත්‍රියේ නිදිවර්ජීතව කල්පනා කරන්නට වූවාය.

පසුදාට හිරු උදාවිය. කරත්තයේ රෝද දෙක පට්ටම් ගැසීමට ගෙන එන ලදි. බුරුල්ව තිබුණු පට්ටම ගෙන එයින් අඟලක් පමණ කපා වෙන් කිරීමට සොබා කටයුතු කළේ සැමියා කරන ආකාරය දැක තිබුණ නිසාවෙනි. දැන් එසේ වෙන්කළ පට්ටම නැවත පෑස්සිය යුතුය. වෑල්ඩින් නොතිබුනු ඒ සමයේ කෙසේ නම් මෙලස පට්ටම් පෑස්සිය යුතුද? ඈ පට්ටමේ කෙළවර වල් රත් කළාය. මයින හම අදින විට ඇතිවන හුළං පහරට දැල්වෙන පොල් කටු අඟුරු සැරට කරත්ත පට්ටම් දෙකළවර රක්තවර්ණ වී එයි. එලෙස ගිනියම්ව උණු වී එන මෙම දෙකළවර තප්පරයක් දෙකක් වැනි කෙටි කාලයක් තුළදි වේගවත් මිටි පහරවල් කිහිපයක් දි තළා දැමිය යුතුය. ඇඳ සිටි රෙද්ද තදින් ගැට ගසා ගත් සොබා දැන් පට්ටම් දෙක හා පුරා කියා පාස්සන්ට සැරසෙන්නීය. රත ගැහී උණු වී එන පට්ටම් කොන් දෙක නිසි ලෙස තබා ගත් ඈ රාත්තල් 10 මිටියෙන් වේගවත් පහරවල් කිහිපයක් ගසද්දි එම කෙලවරවල් දෙක හොඳින් පෑස්සී අවසන්ය. දැන් ඒ කාර්යද අවසන්ය. එලෙස සැකසු පට්ටම කරත්ත රෝදයට දැමිය යුතුය. එයත් ඉතා අසීරු කටයුත්තකි. එයද සැණෙකින් සිදු කළ යුතුය. දැන් මිදුලේ බිම පොල් ලෙලි රවුමට අතුරා ඒ මත යකඩ පට්ටම තබා ඒ මත යළිත් පොල් ලෙලි අතුරන්නට වූවාය. ටික මොහොතක් ගත විණි. දැන් එලෙස ඇතුරූ පොල් ලෙලි ගිනි ගෙන දැවෙයි. පොල් ලෙලි ගිනි ගෙන අවසන් වීමත් සමගම විශාල වන යකඩ පට්ටම කරත්තය රෝදය තුළට දමා රත බහින්නට පෙර කරත්තයේ ලී රෝදයට හොඳින් සවි වනසේ වටේටම හොඳින් මිටි පහරවල් දිගට හරහට හරි තැන් වලට එල්ල කරන ලදි. එලෙසින් ජීවිතයේ ප්‍රථම වතාවට කරත්ත පට්ටමක් සකස් කර යළිත් එයට සවි කිරීමට ඇයට හැකියාවක් ලැබී තිබේ. දැන් ඇයගේ සිත තුළ ආරම්භ කළ වැඩය පිළිබඳව සතුටක් මෝදු වෙමින් තිබුණි.

මේ ලෙස ඇය දිරිය කතක් සේ කම්මලේ යකඩත් සමග හරි හරියට ඔට්ටු වෙමින් තම දරු පවුල රැකගැනීමට මහත් වෙහසක් ගන්නා ලදි. ඇයට රැකවරණයක් ඇවැසි නිසාවෙන් සහ පියා අහිමිව ගිය පවුලට පියකුගේ සෙනෙහස ලබා ගැනීම පිණිස නැවතත් විවාහයක් ඇය විසින් කර ගන්නා ලදි. ඔහු ධීවරයෙකු ලෙස කටයුතු කළද හරි හමන් ආදායමක් ඉන් නොලැබීම නිසා ආර්ථීක බර සොබාගේ කර මතම රැඳෙන්නට වූවාය. තවත් දරුවන් තිදෙනකු මෙම කැදැල්ලට එක්වීම නිසා පවුල තව තවත් බර සාර වූහ. නමුත් සියලු දරුවන්ට කවා පොවා ඇති දැඩි කරමින් පාසල් යවමින් නිසි අධ්‍යාපනය දෙමින් ඇය දරු කැළ සමනල පැටව් ලෙස ඇති දැඩි කරලන්නට වූවාය. එදිනෙදා ලැබෙන ආදායමින් දරු පවුල නඩත්තු කරමින් ඉතිරි කර ගත් මුදලින් ටිකෙන් ටික නව නිවසක්ද ඉදිකර පරණ කටු මැටි පැළට ආයුබෝවන් කියන ලදි.

මේ වන විට ඇය වයස අවුරුදූ 67 ක් වුවද තවමත් පෙර මෙන් ජවයෙන් යකඩ තලන්නට ඇයට ශක්තිය ඇත. නමුත් සිරුර පුරා තිබෙන රත්වූ යකඩවලට පිළිස්සුන කැළලි ඇයගේ කම්හල් දිවියේ කටුක බව කියා පාන්නීය.

පවුලේ දරුවන් 06 දෙනාගෙන් එක් අයෙකු අද ඉංජිනේරුවකි. තවත් පුතෙකු විදේශගතවී ඇත. දියණියක් සමෘද්ධි බැංකුවේය. මෙලෙස දරු කැළ මේ වන විටත් විවිධ රැකියාවලය. මේ සියල්ල ඇයගේ දෑතේ ශක්තියෙන් වසර 45ක් පුරාවටම කිණිහිරයත් යකඩත් සමග හරි හරියට ඔට්ටුවෙමින් කළ ජීවන අරගලය නෙළා ගත් ප්‍රතිඵලය.

මෙලස දරු පවුල රැක ගැනීමට ඇය වෙහෙස මහන්සි වන අතර තුර ප්‍රදේශයේ සමිති සමාගම්වලද නිලතල හොබවමින් සමාජ සේවා කටයුතුවල නියළෙන්නේ ඇයට ලැබෙන මඳ ඉසිඹුවෙනි. සුළු දේටත් තම දරුවනුත් සමග ළිඳකට පැන හෝ වෙනත් අයුරකින් දිවි නසා ගන්නා මිනිසුන් සිටිනා යුගයක පුංචි දරු පැටව් සමගින් තනිවූ සොබාවති සැප වෙනුවට කටුක වූ දුක් විඳිමින් තම දරු කැළගේ දිවියද සරු කරමින් සමාජයටම ආදර්ශයක් දී ඇත්තේ දිරිය මාතාවක් විලසිනි.

සුසන්ත අමරබන්දු

advertistmentadvertistment
advertistmentadvertistment