නොරොච්චෝලේ මහා පරිමාණ කාබනික පොහොර ජාවාරමක් – අලෙවි බලපත්‍රයකුත් නෑ

219

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ පොහොර ලේකම් කාර්යාලයේ නම අවභාවිතා කරමින්

කාබනික පොහොර බව අඟවමින් පස්, වැලි, අඟුරු ඇතුළු අපද්‍රව්‍ය යොදා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නම සහ පොහොර ලේකම් කාර්යාලයේ නම නීති විරෝධී අයුරින් අවභාවිතා කරමින් සිදුකළ මහා පරිමාණ කාබනික පොහොර ජාවාරමක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂිකා තරංගිකා ශ්‍යාමලී මහත්මිය ඇතුළු නිලධාරීන් විසින් වැටලීමට ඉකුත් 14 දා කටයුතු කළේය.

මෙම කාබනික පොහොර කල්පිටිය, නොරෝච්චෝල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට ස්ථානයක ඇසුරුම් කරමින් සිටියදී වැටලීම සිදු කළේය. පොහොර ඇසුරුම්වල ලියාපදිංචි අංකයක් නොමැති අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ පොහොර ලේකම් කාර්යාලයේ නම් අසුරුම්වල සඳහන් කර ඇත. අලෙවි කිරීම සඳහා අලෙවි බලපත්‍රයක්ද නොමැත.

වැටලීම සිදු කරන අවස්ථාවේ එහි සිටි කළමනාකරු මේවා විකිණීමට නොවන බවත්, වෙනත් අවශ්‍යතාවකට සකස් කළ බව හා අසත්‍ය ප්‍රකාශ කරමින් නිලධාරින්ගේ පරීක්ෂාවන්ට දැඩි ලෙස බාධා පැමිණ විය.

මෙම ස්ථානය පවත්වාගෙන ගිය හිමිකරුට පැමිණීමට දැනුම් දුන්නද නිලධාරීන් මඟහරිමින් නොපැමිණීම නිසා පොහොර මහ ලේකම් කාර්යාලයට දැනුම් දීමට කටයුතු කෙරිණි. විශාල පොහොර තොගයක් ප්‍රවාහනය සඳහා ද සූදානම් කර තිබිණි.

මෙම ජාවාරම සම්බන්ධව නීතිමය කටයුතු සිදු කිරීමට පියවර ගන්නා බවද සහකාර අධ්‍යක්ෂතුමිය මෙහිදී පැවසුවාය.

පුත්තලම දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ සරත් පතිරණ , හරිත කෘෂීකර්මාන්තය ක්‍රියාත්මක කිරීමේ මධ්‍යස්ථානයේ පුත්තලම ඒකකයේ නිලධාරීන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙහිදී අදාළ ස්ථාන පරීක්ෂාවට එක්වූහ.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment