මූලික විරෝධතා ඉවතට – කෙහෙළියගේ ඥාතීහු රූපවාහිනි කැමරා ශිල්පීන්ට ගොරවති

3987

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන විත්තිකරුවන්ගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා එම විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා තිබූ නඩුව විභාග කිරීමට පැමිණිල්ලට ඊයේ (26දා) අවසර ලබාදුන්නේය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් නඩුවට පාදක වූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර ඇත්තේ හා නඩු පවරා ඇත්තේ කොමිෂන් සභාවේ පූර්ව අනුමැතියකින් තොරව වන බැවින් එම නඩුවේ චෝදනා සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට මහාධිකරණයට නීතිමය බලයක් නොමැති බව විත්තිය එම මූලික විරෝධතා මගින් පෙන්වා දී තිබිණි.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ඔහුගේ පෞද්ගලික දුරකථන බිල රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදලින් ගෙවා රජයට රුපියල් දෙලක්ෂ තිස්දහසක මුදලක් පාඩු සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් එම නඩුව පවරා තිබිණි.

පළමුවන විත්තිකරු අධිකරණය හමුවේ පෙනී සිටි අතර බන්ධනානාගර නිලධාරීන් විසින් දෙවන විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි. එම නඩුවේ සාක්ෂි විභාගය ලබන ජූලි 22 වැනි දින ආරම්භ කිරීමට දින නියම කළ විනිසුරුවරයා පැමිණිල්ලේ දෙවන හා තෙවන සාක්ෂිකරුවන්ට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමට ද නියෝග කළේය.

විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා අධිකරණයට රැගෙනවිත් ආපසු රැගෙන යන අයුරු වීඩියෝගත කිරීමට උත්සාහ කළ රූපවාහිනි කැමරා ශිල්පීන්ට කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඥාතීන් යැයි පැවසෙන කිහිපදෙනකු පෙර දිනයේදී මෙන්ම ඊයේ (26දා) දිනයේත් දැඩි ලෙස බාධා කළහ. සිය සහෝදර මාධ්‍යවේදීන්ට සිදුකළ එම බාධා කිරීම් වැළැක්වීම සඳහා ඉදිරිපත් වූ මුද්‍රිත මාධ්‍යවේදියකු වන මනෝප්‍රිය ගුණසේකර මහතාට එම පිරිස අතර සිටි පුද්ගලයකු තර්ජනය කර බැන වැදුණු අතර ඉන් අනතුරුව එම පුද්ගලයා සිය ජංගම දුරකථනයෙන් එම මාධ්‍යවේදියාගේ ඡායාරූප ගැනීම නිසා ඔවුන් දෙදෙනා අතර උණුසුම් සංවාදයක් ද ඇතිවිය. ඊයේ දිනයේ කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර තිබූ නඩුව කැඳවා අධිකරණ ශාලාවේ පස්වරු 1.00ට පාස්කු නඩුව කැඳවීමට නියමිතව තිබූ අතර එම අධිකරණ ශාලාවට ඇතුළු වන විත්තිකරුවන් පරීක්ෂා කිරීම සඳහා පැමිණි ඇමැති ආරක්ෂක අංශයේ නිලධාරීන් රූපවාහිනි කැමරා මාධ්‍යවේදීන්ට එම ස්ථානයෙන් ඉවත් වන ලෙසට දන්වා තිබූ නමුත් පොලිස් නිලධාරීන්ගේ මැදිහත්වීම මත එම වෑයම ව්‍යවර්ථ වී තිබිණි.

සහකාර අධ්‍යක්ෂ ජනරාල් අනුරාධා සිරිවර්ධන මහත්මිය අල්ලස් කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටියාය.

මේ අතර නඩුවට කිසිදු සම්බන්ධතාවක් නොමැති එම පිරිස මාධ්‍යවේදීන්ට බැන වදිමින් ඔවුන්ට තර්ජනය කරමින් බාධා කළ අයුරු ඒ අසලින් ගමන් කළ මහාධිකරණ විනිසුරුවරයකු දැක වහාම ඒ පිළිබඳ සොයා බලන ලෙසට මහාධිකරණ පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන්ට නියෝග කොට ඇතැයි පැවැසේ.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment