ශ්‍රේණිගත කිරීම්වලට වඩා අවධානය තරගයෙන් තරගය සාර්ථක වීමටයි – ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා

265

ශ්‍රේණිගත කිරීම්වලට වඩා තමා අවධානය යොමු කරන්නේ තරගයෙන් තරගයට සාර්ථක වීමට බවත් ඒ අනුව මෙම තරගය නිමා වී ඊළග තරගයේදී කළ හැකි හොඳම දේ කුමක්ද, එය කිරීම තමාගේ ඉලක්කය බවත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා පැවසීය.

මේ වනවිට 1-0 ක් ලෙස ශ්‍රී ලංකාව තරගාවලියේ ඉදිරියෙන් සිටින බවත් ඒ අනුව තරගාවලිය ජයගත හැක්කේ කෙසේද යන්න පිළිබඳව සැලකිලිමත් වෙමින් පසුවන බවත් ශ්‍රී ලංකා නායකයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ලකුණු 328 කින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීමෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා එම අදහස් දැක්වීය.

ලෝක ශුරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවට නායකත්වය ලබා දුන් පළමු තරගයේදීම කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීමට සමත් වූ ධනංජය ද සිල්වා ජාතික කණ්ඩායමේ නායකත්වය බරක් ලෙස නොගනී.

“මීට පෙර ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායකත්වය මම දරා තිබෙනවා. එසේම ක්‍රීඩා සමාජ තරගවලදීත් මම නායකත්වය දරා තිබෙනවා. ඒ අනුව එය මට අලුත් දෙයක් නොවෙයි. ඊට අමතරව මින් පෙර ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම මෙහෙයවූ නායකයින් තිදෙනාම අපගේ කණ්ඩායමේ සිටිනවා. එසේම ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයාත් මෙම කණ්ඩායමේ සිටිනවා. ඔවුන් සියලුදෙනා මට සහයෝගය ලබා දෙනවා. ඒ අනුව නායකත්වය මට බරක් නොවෙයි. අය නව අවස්ථාවක් ලෙස මම දකිනවා.”

කණ්ඩායමේ අංක හත පිතිකරු ලෙස හෝ ඊට පහළින් පැමිණ එකම ටෙස්ට් තරගයේදී ශතක දෙකක් වාර්තා කළ ලොව පළමු පිතිකරුවා බවට පත් වූ කමිඳු මෙන්ඩිස් “ස්මාර්ට් ප්ලේයර්” කෙනෙකු ලෙස ධනංජය විසින් හඳුන්වනු ලබයි. එසේම කමිඳු සමගින් වාර්තාගත පිතිකරණයක යෙදීමට ද ධනංජය එම තරගයේදී සමත් වූයේය.

“වාර්තාවට වඩා මම කැමැතියි කමිඳු ලබා දුන් ‘කම් බැක්’ එකට. මොකද ඔහු සෑහෙන කාලයක සිටයි ජාතික කණ්ඩායමේ දොරට තට්ටු කරමින් සිටියේ. ඔහුට ලබා දුන් අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගත්තා කියා සිතනවා. එසේම මීට කළින් මම ක්‍රීඩා කළ ස්ථානය අංක 7. ඔහුට එම ස්ථානය හොඳින් ගැලපෙනවා කියා මම සිතනවා. ඔහු තාක්ෂණයෙන් ඉතාමත් ඉහළ තැනක සිටින අතරම ඉතා හොඳ ශක්තියක් තිබෙනවා ඕනෑම අවස්ථාවක ලකුණු 6ක් ලබා ගන්න. ඔහු හරිම ‘ස්මාර්ට්’. ඒ අනුව මම සිතනවා අපි මෙම ගත්ත තීරණයෙන් කණ්ඩායමට වරදක් වුණේ නැහැ කියා. කෙසේ වෙතත් සධීරට මීට පෙර අවස්ථා ලැබුණා. නමුත් ඔහු ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගත්තේ නැහැ. එසේම නිමා වූ එක්දින තරගාවලියෙත් එතරම් දස්කම් දක්වන්න ඔහුට හැකි වුණේ නැහැ. ඒ අනුව සධීරට යම් විවේකයක් ලබා දීමට අපි සිතුවා. ඒ අනුව ඔහුට විවේකයක් ලබා දී නැවත කණ්ඩායට එක්වීමට අවස්ථාවක් ලබා දී තිබෙනවා. එසේම මේ අවස්ථාවේදී කමිඳු උපරිම රිද්මයක සිටි නිසා ඔහුගේ උපරිමය ලබා ගැනීමත් අපගේ තීරණය වූවා.”

ධනංජය සහ කමිඳු දෙදෙනාට පසුව එම ජයග්‍රහණය සඳහා වැඩිම දායකත්වයක් ලබා දුන් ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩකයන් තිදෙනා වූ කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු සහ ලහිරු කුමාර පිළිබඳව ද ධනංජය ද සිල්වා ප්‍රශංසා මුඛයෙන් අදහස් දැක්වීය.

ශ්‍රේණිගත කිරීම්වලට වඩා අවධානය තරගයෙන් තරගය සාර්ථක වීමටයි - ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා

“මෙම තරගය සඳහා යොදා ගත් තණතීරුව වේගපන්දු යවන්නන්ට වඩාත් උචිත බව හැඟී ගියා. එම නිසා වේගපන්දු යවන්නන් තිදෙනකු යොදා ගැනීමට අපි තීරණය කරනු ලැබුවා. කෙසේ වෙතත් අවසානයේදී එම තීරණය වඩාත් සාර්ථක වුණා. එසේම තරගයේ පළමු දිනයට වඩා සෙසු දින ගතවෙද්දී තණතීරුවෙහි වේගපන්දු යවන්නන්ට තිබුණු සහය අඩු වුවත් එවන් තත්ත්වයක් තුළ අපගේ වේගපන්දු යවන්නන් පන්දු යැවූ ආකාරය ගැන මම ඉතාමත් සතුටට පත් වෙනවා. එසේම ශ්‍රී ලංකාවේදීත් අපි වේගපන්දු යවන්නන් තිදෙනෙකු යොදා ගනිමින් ක්‍රීඩා කර තිබෙනවා. ඕනෑම තණතීරුවක නව පන්දුව දෝලනය කිරීමට අපගේ පන්දු යවන්නන්ට හැකිනම්, නායකයාට තිබෙන කඩුලු ලබා ගැනීමේ මූලික අවස්ථාවන් වන්නේ ඒවායි. එහිදී දඟ පන්දු යවන්නන්ට තණතීරුව සහය දක්වන්නේ නැතිනම් වේගපන්දු යවන්නන්ට තීරණාත්මක අවස්ථාවක් හිමි වෙනවා.” යනුවෙන් පැවැසීය.

එමෙන්ම වත්මන් තේරීම් කමිටුව පිළිබඳව ද ඔහු තුළ ඇත්තේ ප්‍රසාදයකි.

“මෙම තරගාවලිය සඳහා තේරීම් කමිටුවෙන් මට ලබා දුන් කණ්ඩායම ගැන සතුටු වෙනවා. එපමණක් නොව තෝරා ගැනීමේ ක්‍රමවේදය ගැනත් සතුටුයි. එසේම මට අවශ්‍ය පන්දු යවන්නන් තෝරා ගැනීමටත් ඔවුන් අවස්ථාව ලබා දෙනවා.”

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment