ව්‍යාජ ලේබල් යොදාගෙන බීඩි හැදූ කම්හල් දෙකකට සුරාබදු ගාස්තුවක්

268

ජනප්‍රිය බීඩි වර්ගයක ලේබලයට සමාන ලෙස සැකසූ ව්‍යාජ ලේබල් භාවිත කරමින් නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය බීඩි කම්හල් දෙකක හිමිකරුවන් අදාළ චෝදනාවලට වරද පිළිගත් අතර කළුතර සහකාර සුරා බදු කොමසාරිස් සමන්ත කොස්තා මහතා ඔවුන්ට රුපියල් 1,60,000ක සමථ ගාස්තු ගෙවන ලෙස නියම කරන ලදී.

ඒ අනුව,මාවල පදිංචි දර්ශන පුෂ්පකුමාර යන අයට රුපියල් 1,25,000ක සමථ ගාස්තුවක් ගෙවීමට නියමවූ අතර ඔහුට අයත් බීඩි කම්හලේ තිබී ව්‍යාජ ලෙස සැකසූ බීඩි 28,000ක් සුරා බදු නිලධාරීන්ගේ භාරයට ගෙන තිබුණි.

පරගස්තොට පිහිටි ලහිරු සේනාරත්න යන අයට අයත් බීඩි කම්හලේ තිබී ව්‍යාජ ලෙස සැකසූ බීඩි 7000ක් සුරා බදු නිලධාරීන්ගේ භාරයට ගෙන තිබූ අතර ඔහුට රුපියල් 35,000ක සමථ ගාස්තුවක් ගෙවීමට නියම විය.

ව්‍යාජ ලෙස සැකසූ බීඩිවලට අමතරව ව්‍යාජ බීඩි ලේබල්, දුම්කොළ සහ තෙන්දු කොළ ද සුරා බදු නිලධාරීන් තම භාරයට ගෙන තිබේ.

කළුතර සහකාර සුරා බදු කොමසාරිස් සමන්ත කොස්තා සහ සුරා බදු අධිකාරි සුගත් කොලොන්නේ යන මහත්වරුන්ගේ උපදෙස් මත කළුතර සුරාබදු ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක ප්‍රදීප් ජයවර්ධන, සුරාබදු පරීක්ෂක ධම්මික චතුරංග, සුරාබදු සැරයන් කෝසල සමන්ත, සුරාබදු කෝප්‍රල්වරුන් වන රාහුල කුමාර, උමේෂ් ජයසූරිය, සුරාබදු නියාමකවරුන් වන අරවින්ද රාජපක්ෂ, දිල්හාරා ලක්මිණි, රියැදුරු වරුණ සිල්වා යන මහත්ම මහත්මීන් මෙම වැටලීම සඳහා එක්ව සිටියහ.

කළුතර විශේෂ එස්. ආරච්චිගේ

advertistmentadvertistment
advertistmentadvertistment