අධිමානසිකත්වය සහ භාවනාව

242

පූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන් විසිනි

පසුගිය සතියේ ඉතිරි කොටස

අධිමානසිකත්වය සහ භාවනාව

මේ වගුව තුළින් ප්‍රකට වන්නේ කාමය හා ව්‍යාපාදය අකුශල පිළිවෙතේ දී ප්‍රබල වන ආකාරයන් නෙක්ඛම්මය හා අව්‍යාපාදය කුශල පිළිවෙතේ දී ප්‍රබල වන ආකාරයත්ය. කාමය හා ව්‍යාපාදය සමාජගත වශයෙන් සිදු කරන විපත අති විශාලය. අප කථා කරන සමාජමය ජීවිතය කාම ලෝකය පිළිබඳ වූවකි. කාම ලෝකයට ආවේණික චර්යාවන් සැකසීමට අභිජ්ඣාවත් ව්‍යාපාදයත් පදනම් වේ. කාම ලෝකය ඕලාරික අත්තපටිලාභයෙන් යුතුය. (කරජකය) කරජ ශරීරය පිළිබඳ වූ අවශ්‍යතා වස්තු කාමයයි. ඒ නිසා මනුෂ්‍යයා අතර අද ඇති සටන, අරගලය නම් කාම සම්පත් දිනා ගැනීම පිළිබඳවයි. බුදුරජාණන් වහන්සේ සාලෙය්‍යක වේරඤ්ජක සූත්‍ර වලදී අභිජ්ඣාව නිර්වචනය කළේ යම් අනුන් අයත් සන්තකයක් වේ නම් එය උන්ට නොවී මට ම වේවායි කැමති වීම ලෙසයි.

කාමභවයට ආවේණික මේ ස්වභාවය හමුවෙහි අනුන් නැසීම, අනුන් පෙළීම ක්‍රියාත්මක වේ. ව්‍යාපාදය නම් එයයි. මාංශ ශරීරයක් දරන අය අතර ක්‍රියාත්මක විය හැකි අභිජ්ඣාව හා ව්‍යාපාදය නිසා සතුරු බව, අනුන්ගේ දුක කැමති වීම, අනුන්ගේ සැපතට ඊර්ෂ්‍යා කිරීම, අනුන් කෙරෙහි මැදිහත් බවින් තොරවීම යන දුර්වලතා දක්නට ලැබේ. මේ ව්‍යාපාදයේ ක්‍රියාකාරිත්වය ධර්මයේ සඳහන් වන්නේ මෙසේය. “මේ සත්ත්වයෝ ඝාතනය වෙත්වා. නැසෙත්වා. නසනු ලබත්වා. අභාවයට යේවා යනුවෙන් ව්‍යාපාද සිතින් ද්වේෂයෙන් දුෂ්ට චිත්ත සංකල්පනා ඇති වේ” යනුවෙනි.

කාම භාවයට ආවේණික ස්වභාවය එසේ වන නමුත් මාංශ ශරීරයකින් තොර බ්‍රහ්ම කායික පැවතුම් වල අනුන්ට සතුරු වීමක් නැත. ඇත්තේ මිත්‍රත්වයයි. (මෙත්තා) අනුන්ට දුක සැළසීමක් නැත. ඇත්තේ අනුන්ට දුකක් නොපැතීමයි. (කරුණා) අන් අයගේ සැපතට ඊර්ෂ්‍යා කිරීමක් නැත. ඇත්තේ අන් සැපතෙහි සතුටු වීමයි. (මුදිතා) එකඟතා හා විරුද්ධතා වෙනුවට ඇත්තේ මැදිහත් බවයි. (උපෙක්ඛා) ඒවා බ්‍රහ්මවිහාර ලෙස හඳුන්වනු ලැබේ. කාමභවයට අයත් සමාජයේ ඇති වියවුල දකින විට ඉහත කී බ්‍රහ්ම විහාරවල ප්‍රායෝගික වටිනාකම වඩ වඩාත් ප්‍රකට වේ. ඒ අනුව කාමභවයේ නොසතුටුදායක තත්ත්වයන් සංසිඳුවීමට නම් යම් පමණකින් බ්‍රහ්මවිහරණයට නැඹුරු විය යුතුය. ඒ කාර්යය සිදු වන්නේ සම්ප්‍රජන්‍යයෙන් යුතුව ක්‍රියා කිරීමෙනි. භාවනාවේ සමාජගත ප්‍රායෝගික අර්ථය එයයි.

අධිමානසිකත්වය සහ භාවනාව

අභිජ්ඣාවෙන් පෙළඹුන පුද්ගලයාට කාම භවයේ දී බාධක පැමිණෙන්නේ එබඳු ම අභිජ්ඣාවෙන් සමන්විත පුද්ගලයන් ගෙනි. තමාගේ යම් අවශ්‍යතාවක් වේ නම් අනෙකකුට ද එය ම අවශ්‍ය වීම කාමලෝකයේ ස්වභාවයයි. ව්‍යාපාදයට හෙවත් අනුන් නැසීමට පදනම සැකසෙන්නේ එවිටයි. එය යුද්ධමය කාර්යක් දක්වාම ඇදී යාමට හේතු වෙයි. ප්‍රියවස්තූන් කෙරෙන් කලහ විවාදයෝ උපන්නයි සුත්තනිපාතයේ කියැවෙන්නේ එයයි. මෙත් සිත ව්‍යාපාදයෙන් මිදීමට ප්‍රගුණ කළ යුතු බව බුද්ධ වචනයයි.

කලහකාරිත්වයේ, අරගලයේ, යුද්ධයේ අමිහිර අත්දකින අද යුගයේ ඉහත කී පරිදි අරගලයේ හේතු ඵල සම්බන්ධතාවන් ගැන අවදියෙන් ක්‍රියා කළ යුතුය. එය භාවනාමය කාර්යයකි. මෙය පුද්ගලයා විසින් ආත්ම ප්‍රත්‍යවේක්‍ෂණයෙන් ක්‍රියා කිරීමේදී වැඩෙන, පිබිදෙන ක්‍රියාවකි.

මේ පිළිවෙතෙහි පුද්ගලයා තුළ උද්යෝගයක් ඇතිවීමට නම්, දතයුතු විශේෂ කරුණක් ඇත. සාමාන්‍යයෙන් පුද්ගලයා සිතන්නේ නිවන් අරමුණට යොමු වීම පහසුවෙන් අපහසුවට යොමුවීමක් හැටියටය. එහෙත් සත්‍යය නම් සසර සිටීම සිතට අපහසුවක් බවයි. මාලුවාට ගොඩබිම අගෝචරය. ගෝචරස්ථානය නම් දියඹය. එමෙන්ම සිතට සසර අගෝචරය. ගෝචර පරිසරය නම් නිර්වාණයයි. එබැවින් සිත නිරන්තරයෙන් වෙහෙසෙන්නේ මාරයාගේ දැරීමක් වූ සසරෙහි අපහසුතාවෙන් මිදීම උදෙසා ය. පුද්ගලයා මේ ලෝකයේ දහසකුත් එකක් නොයෙක් කටයුතුවලට අරමුණුවලට එකක් හැර එකක් පැනීමේ ක්‍රමයට මාරුවෙමින් කරන්නේ සංසාරය නමැති මාර චක්‍රයේ අපහසුතාවෙන් මිදීමට යත්න දැරීමයි. සාමාන්‍ය පුද්ගලයාගේ හැම කියුම් කෙරුමකම ඇත්තේ සංසාර අපහසුතාව මගහරවා ගැනීමේ වෑයමයි. ඒ බව නොදත් පුද්ගලයා තරගකාරී ලෙස, සටන්කාමී ලෙස, ඉස්පාසුවකින් තොරව කරන සැමදෙයක් ම පුද්ගල ජීවිතය අපහසුතාවට ලක්කරන අතර ම සමාජය තුළ විවිධ අපහසුතා නිර්මාණය කරයි. මේ හේතු ඵල ධර්මතාව දන්නා පුද්ගලයා මාරදායාදයේ අපහසුව නිවන් අරමුණට යොමු වන පමණට නැතිවන බව දැනගනියි. ජීවිතයේ නිරන්තර අවදිය, පුද්ගල ජීවිතයටත්, සමාජ ජීවිතයටත් යහපත සලසයි.

(අපවත්වීමට පෙර ලියන ලද ලිපියක නැවත පළ කිරීමකි.)

advertistmentadvertistment
advertistmentadvertistment