(1947 ප්‍රකාශිත ලියවිල්ලකි)

ශත වර්ෂ බොහෝ ගණනක් මුළුල්ලෙහි සැදැහැවත් බෞද්ධයෝ භක්ති ප්‍රමෝදයෙන් යුතුව පසඟ පිහිටුවා බුද්ධගයාවේ මහාබෝධි විහාරයට වැඳුම් පිදුම් කළහ. හෙතෙම ශාක්‍ය මුනීන්‍ද්‍රයන්වහන්සේ ප්‍රථමයෙන් පස්මරුන් බිඳ බුද්ධරාජශ්‍රියට පත්වී වදාළ උරුවෙලාහි පවිත්‍රභූමිය සිපගැනීමේ අදහසින් අනාදිමත් කාලයක් මුළුල්ලෙහි ලෝකයේ නානා දිසාභාගවල ස්ත්‍රි, පුරුෂයෝ මේ භූමිය මහත් අභිරුචියකින් අවලෝකනය කළහ.

ශත වර්ෂ ගණනක් මුළුල්ලෙහි වන්දනාකාරයෝ වැල නොකැඩී එහි ගියහ. එහි යා නොහැකි වූවෝ සිතින් වුවද එහි පිවිසුනාහ. මේ අතිශ්‍රේෂ්ඨ පූජ්‍ය ස්ථානය කලා ශිල්පමය වූ ශ්‍රේෂ්ඨ නිර්මාණයන්ගෙන් දැකුම්කලු කිරීමට රජවරු ඔවුනොවුන් පරයා තරග කළහයි, ආචාර්ය මිත්‍ර මහතා පවසයි. ආදිම කාලයෙහි සිට මෙය අති සම්භාවනීය පූජ්‍ය ස්ථානයක් වී පැවැති බවට කිසිම සැකයක් නැත.

මහන්තා පරපුරට හිමිවීම

මීට අවුරුදු දෙසීයකට පමණ පූර්වයෙහි හින්දු ලබ්ධික පකීර් කෙනෙක් බුද්ධගයාවට ගියේය. භක්තිමතකු වූ ඔහුට මේ මහා විහාරයේ පරිවෙෂ්ටනය හා සබඳව සිටි අපූර්වතම ආස්වාදය මැඬීමට නොහැකි විය. විහාරය සම්බන්ධයෙන් ඔහුට කිසිම අයිතිවාසිකමක් නොවූ නමුදු හෙතෙම ඒ අසල කුඩා විහාරයක් නැංවිය.

බුද්ධගයා මහා විහාරය රැක බලාගැනීමට එකල කිසිවකු නොසිටියෙන් එයට පුද කළ වස්තූන් අත්පත් කරගැනීමට සාමන්දිගිර් නමැති මහන්තා ද ඔහුගේ උරුමක්කාරයන් ද සිතන ලද්දේ ඒ හේතුව නිසාය. මේ ශුද්ධ විහාරය මහන්තාගේ පාලනයට පත්වූයේ මෙසේ අයුතු ලෙස එය අත්පත් කර ගැනීම හේතුකොට ගෙනය. ඊට පසු පත් වූ මහන්තාවරු ද විහාරය අලුත්වැඩියා කිරීම සම්බන්ධයෙන් කිසිම සැලකිල්ලක් නොදැක්වූහ. ඉන්දියාවේ ඉම්පීරියල් ගැස්ටියර් නම් අතිරේකයෙහි විහාරය පිළිබඳව පහත සඳහන් විස්තර දක්වා තිබේ.

“බුද්ධගයාවේ මෙකල පවත්නා විහාරය සමතලා මළුවකින් පටන් ගන්නා සතරැස් අඩි 47ක් පමණ වූ පාදාන්තය ඇති ශෘංගාකාර උස් කොතකින් සමන්විත වූවකි. මළුව පමණක් උසින් අඩි 30ක් පමණ වෙයි. කොත නොමැතිව ශෘංගය පමණක් පහත භූමියේ සිට අඩි 160ක පමණ උසට නංවා තිබේ. මේ කූටාගාරය ඇතුළත කුහර සහිතය. එහි එකිනෙකට තට්ටු වශයෙන් ඇති ඇතුළු කාමර සතරක් තිබේ. පහත කාමර දෙක සැමවිටම විවෘතව ඇති හෙයින් ඊට පහසුවෙන් පිවිසිය හැක. පෙනෙන තෙක් මානයේ ඇති තුන්වෙන කාමරය ගරාවැටුණ ගල් ගඩොල් ආදිය නිසා ඇහිරී ගොස් තිබේ. කූටාගාරයේ චතුරඝ්‍රාකාර කොටසේ ඉහළින් සිව් වන කාමරයක් ද ඇති බැව් නොබෝදා කරගෙන ගිය ප්‍රතිසංස්කරණවලින් හෙළි විය. ඉහළ කාමරයෙහි බැම්මෙන් කළ ආසනයක් වෙයි. ඒ වූ කලී අභ්‍යන්තරයේ කුඩා ආසනයක් වසා සිටින සේ කරන ලද්දකි. මේ කාමරය හැමවිටම හිස්ව පැවැතියේය. බෞද්ධ සිද්ධස්ථානවලට ම විශේෂවූ ගරාදි වැටකින් විහාරය පරික්ෂේප කොට තිබුණ බැව් පෙනේ. ශත වර්ෂ ගණනක් තිස්සේ ගරාවැටෙමින් තිබෙන පස් කඳුවලින් මේ ගරාදි වැටේ ඇතැම් කොටස් යටවී තිබෙන නමුත් හැකි පමණ දුරට ඒවා ද පළවූ තිබුණ ආකාරයට ම සවි කරන ලදී. ශිලා ලිපිවලින් පෙනී යන ලක්ෂණවලින් ද කැටයමට නඟන ලද දර්ශනවලින් සහ මල්ලියකම් ආදී විසිතුරු වැඩවලින්ද පෙනී යන්නේ මේ ගරාදි වැට ක්‍රිස්තු වර්ෂයට පෙර තුන් වන ශත වර්ෂයෙහිදී පමණ සාදන ලද්දක් බවයි. මෙය ඉතාමත් සැලකියයුතු ගරාදි වැටට අයත් කුලුනු කිහිපයක්ම මීට අවුරුදු ගණනකට පෙර අසල ආරාමයෙහි වෙසෙන මහන්තා විසින් ගෙන යන ලදුව ඔහුගේ නිවාසයේ විශාල චතුරඝ්‍රාකාර අංගණය හාත්පස තනා තිබෙන ආලින්දයේ කණු වශයෙන් සවිකොට තිබේ.

බුද්ධගයාව බෞද්ධයන්ට උරුම කරදුන් සටන
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා

විහාරය පිළිබඳ ඉතිහාස කතා ප්‍රවෘත්තියෙන් පෙනී යන්නේ මේ පූජනීය සිද්ධස්ථානය අලුත්වැඩියා කොට නඩත්තු කරනු වෙනුවට හින්දූන් විසින් එය ටිකෙන් ටික කඩාදමා තිබෙන බවයි.”

ධර්මපාල – මහන්තා නඩුව

මෙහි සිදුවන බලවත් අයුත්ත ධර්මපාලතුමාට පෙනුණේය.

බුද්ධගයාවේ මහන්තාට විරුද්ධව නඩු පවරනු ලැබීමෙන් එතුමා විසින් බෞද්ධයන්ගේ අයිතිවාසිකම තහවුරු කළ නමුත් සිද්ධස්ථානය පිළිබඳ අයිතිය හැරදමන ලෙස මහන්තා පොළඹවාලීමට මහත් වෙහෙසක් දැරීය.

මහන්තා විසින් එහි පැමිණෙන වන්දනාකාරයන්ට හා අමුත්තන්ට විහාරස්ථානය පෙන්වන නමුත් එපමණකින් සෑහීමකට පත්වන්නට නොපිළිවන. බුද්ධගයා මහා විහාරාධිපති පද්මය දරන තැනැත්තා බාහිර ලෝකයා සම්බන්ධයෙන් මෙසේ සුළු සේවයක් කරන පුද්ගලයකු නොවිය යුතුය.

බුද්ධගයා විහාරයේ අධිපති පදවිය දරන තැනැත්තා මේ ඓතිහාසික බෞද්ධ සද්ධස්ථානය නඩත්තු කොට පරිපාලනය කිරීමෙහිලා ස්වකීය හිතත්, කයත්, ධෛර්යයත් මුළුමනින්ම යොදා ක්‍රියාකරන්නකු විය යුතුය. මේ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමට දැන් හාත්පසින්ම කාලය එළඹ තිබෙන බැව් ආසියාතික මහා සම්මේලනය වෙත පැමිණි නියෝජිතයන් වෙත ඉන්දීය මහාබෝධි සමාගම විසින් නිකුත් කරන ලද ආයාචනයක සඳහන් කර තිබේ.

ඉන්දියන් ජනනායකයන්ගේ ප්‍රකාශ

බුද්ධගයා මහා විහාරය අරභයා ඇතැම් ශ්‍රේෂ්ඨ ඉන්දියානුවන් කිහිපදෙනකු සහ එක් යුරෝපීයයකු ද විසින් මහාබෝධි සමාගම ඉදිරියේ තබන ලද අදහස් මෙසේය.

මහාකවි රබීන්ද්‍රනාත් තාගෝර්තුමා:-

“තථාගත සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ සර්වඥතාඤාණය ලැබගත අතිපිරිශුද්ධ භූමියෙහි නංවන ලද විහාරය බුද්ධාගම ගැන සියුම් අවබෝධයක් හෝ හිතවත් බවක් හෝ නැත්තා වූ ප්‍රතිවිරුද්ධ නිකායක් යටතේ පරිපාලනය වන්නට ඉඩහැරීම ඉවසිය නොහැකි තදබල අයුත්තක් බැව් ස්වකීය පරමාර්ථයන් කෙරෙහි විශ්වසාය තබන සියලුම හින්දූන් විසින් පිළිගනු ලබන බැව් මට සහතික කර කියන්නට පිළිවන. තවද මේ ඓතිහාසික සිද්ධස්ධානය ඒ හා සම්බන්ධව සිටින විශේෂ ඉතිහාසයට අනුකූල වන පරිදි ස්වකීය ජීවිතයෙහි, භක්තියෙන් බැඳි තවමත් ගෞරව ප්‍රයුක්තව පවත්වා ගෙන යන හා අදහන ජනතාවන්ට ම භාරදීම සඳහා උපකාර වීම නිදහස සහ යුක්තියත් ගරු කරන සියලුම පුද්ගලයන්ගේ අති පරිශද්ධ පරම යුතුකම වන බැව් මගේ හැඟීමයි.”

බුද්ධගයාව බෞද්ධයන්ට උරුම කරදුන් සටන
රබීන්ද්‍රනාත් තාගෝර්තුමා
බුද්ධගයාව බෞද්ධයන්ට උරුම කරදුන් සටන
මහත්මා ගාන්ධිතුමා

ගාන්ධිතුමා:-

“ඉන්දියාවට ස්වරාජ්‍යය ලැබුණු වහාම බුද්ධගයා ප්‍රශ්නය එක මොහොතකින්ම විසඳිය හැක්කේය.”

සී.ඇෆ්. අන්ඩෲස් දේවගැතිතුමා:-

“බුද්ධගයාව වන්දනා කිරීම පිණිස යෑමට කලක සිට ම මා තුළ තදබල ආශාවක් පැවැති නමුත් එය ඉටු කිරීමට තවමත් මට පුළුවන් නොවීය. මා නියම වශයෙන්ම එහි ගියවිට දැනට වඩා සිත ඇදී යන ආකාරයෙන් ලියන්නට මට හැකි වෙනවා ඇත. සමස්ත ලෝකයේම අති පාරිශුද්ධ පූජනීය ස්ථානයක් වන මේ භූමිය අද දවසේ බුද්ධාගම පිළිබඳ ජීවත් වූ කිසිම සලකුණක් පවා දරාගත නොහෙන අයුරින් නොසැලකිල්ලට භාජන කර තිබෙනා බැව් දැනගන්නට ලැබීම මාගේ නිරන්තර ශෝකයට හා සිත් වේදනාවට ද හේතු වූ බැව් ඇත්ත වශයෙන්ම කියන්නට පිළිවන.

වනසාලිය නොහැකි ස්මාරක පමණක් මෙහි ඉතුරුව තිබේ. ඒ ස්මාරකයන්ද අන්‍යයන්ගේ අත්අඩංගුවෙහි පවතී. තත්ත්වය මෙසේ නම් මනුෂ්‍ය සංහතියට ගරු කරන සියල්ලන්ගේම නින්දාවට හා කනගාටුවට ද කරුණක් විය යුතුය.

පෙරදිග සභ්‍යත්වය පිළිබඳ ඉතිහාසය සම්බන්ධයෙන් මා විසින් දැන කියාගෙන තිබෙන කරුණුවල හැටියට පුරාණ කාලයෙහි ආසියාව එකමුතු කිරීමට හේතුභූත වූ සියලුම බලයන් අතරෙහි බෞද්ධ ව්‍යාපාරය ශ්‍රේෂ්ඨතම සම්භාවනීය ව්‍යාපාරය වූ බැව් මාහට ප්‍රත්‍යක්ෂ වී තිබේ.

ජාතිය, කුලය හෝ ආගම හෝ නොසලකා මෙහි දැක්වෙන දෙයාකාර පුණ්‍ය ක්‍රියාවට සහභාගි වන ලෙස මනුෂ්‍ය සංහතියට ගරු කරන සියල්ලන්ගෙන්ම මම ඉල්ලා සිටිමි. එනම්:- (1) මේ ශුද්ධ භූමිය බෞද්ධයන්ට ලබාදීම සහ (2) එය ආරක්ෂා කිරීම පිණිස ගෞරව ප්‍රකාරව උපකාර වීමත්ය. බුදුරජාණන් වහන්සේ සියලුම මනුෂ්‍ය වර්ගයාට ප්‍රේම කළ බැව් මාගේ විශ්වාසයයි. උන්වහන්සේ අනුගමනය කරන ක්‍රිස්තු භක්තිකයෙකු වශයෙන් මේ ව්‍යාපාරයට ආධාර වන ලෙස මම ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටිමි.”

සංරක්ෂණය – දිවංගත විදුහල්පති
● නාමචන්ද්‍ර නිශ්ශංක

advertistmentadvertistment
advertistmentadvertistment