සූර්යාගේ සරාගී මනසාරී

87

හිනැහෙන්න ළඟ ඉන්න
අත් අල්ලගෙන යන්න ආදරේ මගේනේ…

එහෙම කිව්ව සූර්යාට සැබෑවටම අත් අල්ලගෙන යන්න නම් කෙනෙක් නැතිලු. හැබැයි මේ දවස්වල මනසාරී නිසා බොහොම ජනප්‍රියවෙලා කියල නම් දැනගන්න ලැබුණා. ඒ ගැන සූර්යා දයාරුවන් කිව්වෙ මෙහෙම කතාවක්.

● සූර්යා ‘මනසාරි. එක්ක කියලයි ආරංචිය?

ඔව්” මනසාරි කියන්නෙ මගේ අලුත්ම ගීතය. වෙනස් විදිහෙ වැඩක්. නමුත් මම කරල තියෙන නිර්මාණ එක්ක බලද්දි කෙනෙක් කියන්න පුළුවන් මේක සූර්යාට නොගැළපෙන දෙයක්ද මේ කළේ” මෙවැනි දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ කියයිද වගේ දේවල් හිතුණා. කොහොම වුණත් ට්‍රැක් එකේ පටන් ටෙක්නො පැත්තට බරව” විෂුවල් එක වුණත් පොඩි වෙනසක් එක්ක කරන්න ඕන කියන දේ මම කල්පනා කළා.

සූර්යාගේ සරාගී මනසාරී

● කවුද මේ වැඩේට සම්බන්ධ වුණේ?

මනසරී පදරචනය කළේ ශෙහාන් ගලහිටියාව” සංගීතවත් කළේ තුසිත් සිම්සන්” මියුසික් වීඩියෝ එක කළේ තිසර ඉඹුලාන.

● මියුසික් වීඩියෝ එකට තියෙන්නෙ මොන වගේ ප්‍රතිචාරයක්ද?

බොහෝ දෙනෙක් මුලින්ම මාව දැක්කෙ සමනල සංධ්වනිය චිත්‍රපටයෙන් ආදරණීය චරිතයක් හැටියට. දිවිතුරා ටෙලි නාට්‍යයේත් ඒ වගේ. සල් මල් ආරාමයේ ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට. නමුත් මීට හාත්පසින්ම වෙනස් චරිතත් මම කළා. රංගනයට ඇවිත් මේ වන විට අවුරුදු දහහතරක් වගේ වෙන්නෙ. නමුත් සංගීත ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු විසි අටක් විතර වෙනව. නිර්මාණයකට හානියක් නොවෙන්න අපි අලුත් අලුත් දේ කරන්න ඕන. සම්ප්‍රදාය කියන දේට අපි කොටු වෙන්න ඕන නැහැ. නමුත් සම්ප්‍රදායට හානියක් කරන්නත් හොඳ නැහැ. මේ ගීතයේ රූප රචනාව කෙරෙන්නෙ පද රචනාවේ හැටියට. සරාගී කාම රූ යන පදරචනාවේ තියෙන කොටස් ඒ විදිහටම රූප රචනාවට ගේන්න ඕන කියන දේ මම හිතුවා. මම ගායන ශිල්පියෙක්” රංගන ශිල්පියෙක් හැටියට ගත්තාම සමාජයට මේ නිර්මාණය මගින් කිසිම වැරැද්දක් කරල නැහැ. දකින අයට විවිධ අදහස් ඇති. නමුත් මම හිතන්නෙ සරල සාමාන්‍ය විදිහට මම ඒ දේ කළා කියල. මේ හැම දෙයක්ම නිර්මාණ. ඒ නිර්මාණ දිහා නිර්මාණාත්මක ඇසකින් බැලිය යුතුයි. ඒවා පෞද්ගලික කරගන්න හොඳ නැහැ. ඒක මගේ තවත් එක නිර්මාණයක් විතරයි.

සූර්යාගේ සරාගී මනසාරී

● කොහොමද බෑන්ඩ් එකේ වැඩකටයුතු?

නාලක සජී ජයසිංහගෙ ග්‍රේඩ් ෆෝටීන් සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායක ශිල්පියා හැටියට ගෘහස්ථ වගේම එළිමහන් සංගීත ප්‍රසංගවලටත් අපි සම්බන්ධ වෙනවා. දැනට මාස දහයකට එකොළහකට කලින් වගේ තමයි අපි මේක පටන්ගත්තෙ. ඒ කාලෙත් එක්ක ගත්තාම අපි ගොඩක් ඉදිරියට ඇවිත් තියෙනව. ඒ අපි අටදෙනාගේ මහන්සියේ” කැපකිරීමේ ප්‍රතිඵලයක් හැටියට. ඉදිරියටත් අපි ප්‍රසංග භාරගෙන තියෙනව. තව කෙටි කාලයක් ඇතුළත ලංකාවේ ප්‍රසිද්ධම බෑන්ඩ් දහය අතරට අපිට එන්න පුළුවන් වෙයි කියල විශ්වාස කරනවා. මොකද අපේ බෑන්ඩ් එකේ සියලු දෙනාම හොඳ සංගීත පසුබිමක් තුළ හොඳ අධ්‍යාපනයක් ලබපු අය. ඒ වගේම අලුත් අලුත් දේවල් කරන්න අපි නිතරම උත්සාහ කරනවා.

● කොහොමද රඟපෑම් කටයුතු?

මේ දිනවල දිවිතුරා ටෙලි නාට්‍ය විකාශය වෙනවා. ඒ වගේම තවත් ටෙලි නිර්මාණ කිහිපයකම රූගත කිරීම් කටයුතු අවසානයි. ඉදිරියේදී දැකබලාගන්න පුළුවන්. චිත්‍රපට දෙකකට සම්බන්ධ වුණා. එයින් තිසර ඉඹුලානගෙ නිර්මාණයේ ප්‍රධාන චරිතයට පණ පොවන්න අවස්ථාව ලැබුණා. මේ මගේ දොළොස් වැනි සිනමා නිර්මාණය. දහතුන් වැනි චිත්‍රපටයත් මේ වන විට භාරගෙන තියෙනවා.

● වැඩිපුර ආරාධනා ලැබෙන්නෙ ටෙලි නාට්‍යවලටද” චිත්‍රපටවලටද?

පසුගිය කාලයේ සිදු වුණ ආර්ථික කටාවැටීමත් එක්ක බොහෝ වෙලාවට ටෙලි නාට්‍ය සඳහා තමයි ආරාධනා ලැබුණේ. නමුත් දැන් දැන් චිත්‍රපට සඳහා වැඩියෙන් ආරාධනා ලැබෙමින් පවතිනවා.

● සූර්යාගේ කැමැත්ත?

මට ටෙලි නාට්‍ය ද චිත්‍රපට ද කියල විශේෂයක් නැහැ. නිර්මාණයේ වටිනාකමක් තියෙනවා නම්” සමාජයට යහපතක් වෙන දෙයක් නම්” කලාවට වටිනාකමක් එකතුවෙනව නම් ඒ නිර්මාණයට මම දායක වෙන්න කැමතියි.

● ප්‍රසංග වේදිකාවේ තොරතුරු කොහොමද?

ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනව වගේම විදෙස් සංචාර කිහිපයකටත් ආරාධනා ලැබිල තියෙනව. බෑන්ඩ් එකත් එක්කම භාරගන්න වැඩ වගේම පුද්ගලිකවම මට ලැබෙන ආරාධනාත් මේ අතර තියෙනව. මේ දවස්වල එළිමහන් ප්‍රසංගවලටත් මම සහභාගි වෙනව. මනසාරී ගීතයත් මේ වේදිකාවට හොඳින් ගැළපෙනවා.

● මගේ නේ… ගීතය තවමත් ජනප්‍රියයි?

මේ ගීතය එළිදක්වා දැන් වසර අටක් වෙනවා. නමුත් ඒ තරම් කාලයක් ගෙවුණා කියල හිතාගන්නවත් බැහැ. එදා වගේම අදත් රසිකයන් මේ ගීතයට කැමතියි.

● සූර්යාට මගේම කියන්න කෙනෙක් නැද්ද?

මගේම කියන්න කෙනෙක් මේ දවස්වල නැහැ. මගේම කිව්වොත් මගේම වෙන්න ඕනනෙ. ඒක ටිකක් අමාරු තීරණයක්. ජීවිතයේ අපිත් එක්ක මැරෙනකල්ම ඉන්න කෙනා අපි තෝරා ගන්න ඕන. ඒ නිසා කලබලයක් නැතිව ටිකක් නිදහසේ තෝරා බේරා ගන්න ඕන. තීරණය වැරදි වුණොත් මේ යන ගමනට වුණත් ප්‍රශ්නයක් ඇතිවෙන්න පුළුවන්. මම හිතනව මම හොඳ කෙනෙක් කියල. බලමු ඉතිං හොඳ කෙනෙක්ම හම්බවෙයි.

● ජීවිතය දකින්නෙ කොහොමද?

ගෙවුණ ජීවිතය දෙස ආපසු හැරිල බලනකොට ලොකු සතුටක් තියෙනව. පොලොන්නරුව” දියබෙදුම කියන දුෂ්කර ගමේ ඉපදිලා පුංචි කාලෙ ඉඳන් ගායනය පැත්තට නැඹුරු වෙලා කටයුතු කරගෙන ආවා. එතනින් පස්සෙ කොළඹ ඇවිත් විශ්ව විද්‍යාලයේ කටයුතු කරන කාලෙ තමයි රංගනයට මට අවස්ථාව ලැබුණෙ. ඒකත් අහම්බයක්. ඒ අහම්බයත් එක්ක රටේ ජනප්‍රිය” ප්‍රේක්‍ෂකයන්ගෙ ආදරය ලබන චරිතයක් බවට පත්වෙන්න මට අවස්ථාව ලැබිල තියෙනව.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment