දශකයක මතක අලුත් කළ – හර්ෂ

113

අසෝක ආතාවුදහෙට්ටිගේ අධ්‍යක්ෂණයෙන් රේණුකා බාලසූරිය සහ සුනිල් ටී. ප්‍රනාන්දුගේ නිෂ්පාදනයෙන් පසුගිය 24 වැනිදා සිට තිරගත කිරීම ඇරඹුණු ‘මින්නු. සිනමා නිර්මාණ හරහා අපි දන්න හඳුනන රංගන ශිල්පියෙක්ව ආපහු රිදී තිරයෙන් දකින්න ලැබෙනවා. ඔහු නමින් හර්ෂ තෙන්නකෝන්. පසුගිය කාලයේ ඔහු ලංකාව දාලාගියා. දැන් ඔන්න ආයෙමත් ඇවිදින්. ඉතිං දිගු නිහැඬියාවට පසු හර්ෂ අප ඇමතුවා.

හර්ෂ තෙන්නකෝන්ව දිගු කලකට පසුව රිදී තිරයෙන් දකින්න ලැබෙනවා?

ඇත්තට ම කිව්වොත් මේක මගේ කලා ජීවිතයේ මුල් කාලේ දීම කරපු චිත්‍රපටයක්. ඒ කියන්නේ මම වේදිකාවේ ඉඳලා ටෙලිවිෂන් එකට ආපු මුල් කාලයේ කරපු චිත්‍රපටයක්. ඒ කාලේ මගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා මේ සිනමා නිර්මාණය සම්බන්ධයෙන්. ඒකට හේතුව අපි හැමෝම ආසා වේදිකාවෙන් සිනමාවට යන්න. ඊට පස්සේ එහෙම කරන්න සිනමා නිර්මාණත් ආවේ නැහැ. ඔය අතරේ ටෙලිවිෂන් එක්ක කාර්යබහුල වුණාට පස්සේ සිනමාවේ තිබුණ කාලසටහන වැඩකරගන්න අමාරුවුණා. මම ටිකක් තෝරලා බේරලා වැඩකරන කෙනෙක්. ඊට පස්සේ කළේ රෂ් සහ ගින්නෙන් උපන් සීතල චිත්‍රපටය විතරයි.

දශකයක මතක අලුත් කළ - හර්ෂ

මින්නු තිරගතවෙන්නෙ කොච්චර කාලයකට පස්සෙ ද?

මම හිතන්නෙ අවුරුදු දහයක් හෝ එකොළහක්.

අවුරුදු දහයක් ආපස්සට යනවා. මොකද හිතෙන්නේ ?

මිශ්‍ර හැඟීමක් තියෙන්නේ. සතුට තමයි අවුරුදු දහයකට පස්සෙත් ඒ සිනමා නිර්මාණය ඕනෑම කෙනෙකුට බලන්න පුළුවන් මට්ටමේ තියෙන එක. අපි අවුරුදු දහයකට පස්සේ කලාව සහ රංගනය ගැන හිතන විදිහ වෙනස් වෙනවා. තාක්ෂණය වෙනස් වෙනවා. ලංකාවේ සිනමා කර්මාන්තය සම්බන්ධයෙන් පැහැදිලි අර්බුදයක් තියේද්දි මම නම් ඇත්තටම චිත්‍රපටය තිරගත නොවේවි කියන අදහසේ හිටියේ. මම මගේ පාඩුවේ මගේ වැඩටික කරගෙන හිටියා.

ඒක සර්වකාලීන නිර්මාණයක් විදිහට අශෝක ආතාවුදහෙට්ටි නිර්මාණය කරලා තියෙනවා වගේම සුමිත්‍රා රාහුබද්ධගේ පිටපත සර්වකාලීනයි. මගේ රංගනය සම්බන්ධයෙන් වුණත් ටික්ක බයවෙලා හිටියේ. මම අවුරුදු දහයකට කලින් ඇක්ට් කරපු එක දැන් බලන්න පුළුවන් මට්ටමකද තියෙන්නේ කියලා. නමුත් ඒකේ ලොකු අවුලක් තිබුණේ නැහැ. දුකට හේතුව තමයි ලංකාවේ කර්මාන්තයක් නැතිවීම. බොහොම සීමිත පිරිසක් අතේ මේ කර්මාන්තය කැරකී කැරකී තියෙන එක නිසා කර්මාන්තය ඇතුළේ තියෙන එකිනෙකාගේ ප්‍රශ්න නිසා නිර්මාණකරුන්ට රංගන ශිල්පීන්ට එළියට එන්න තියෙන අවස්ථා අහිමි වෙලා.

දශකයක මතක අලුත් කළ - හර්ෂ

ඔය කලකිරීම් නිසා ද පසුගිය කාලේ ලංකාව දාලා ගියේ ?

ලංකාව දාලා යන්න හේතුව කලාව විතරක් නෙමෙයි රටක් විදිහට දේශපාලනිකව රටේ තිබුණ ප්‍රශ්නයක්. පාස්කු ප්‍රහාරයත් එක්ක තමයි ලංකාවෙන් යන්න ඕනෑ කියන සිතුවිල්ල මගේ හිතට ආවේ. නැතිනම් කිසිම වෙලාවක ලංකාව අතරහැරලා යනවා කියන අදහසක් මට තිබුණේ නැහැ. කලාවෙත් ප්‍රශ්න තිබුණා. ඒවා විසඳෙන එකක් නැහැනේ. රටක සිස්ටම් එකම අවුල් වුණාට පස්සේ කලාව විතරක් හොඳ වෙන්න විදිහට නැහැ. අපි මේ මොහොතෙත් ෆයිට් කරනවා මේ රටේ සිස්ටම් එක වඩා හොඳ තැනකට ගෙනියන්න. එහෙම කරගන්න පුළුවන් වුණොත් කලාව සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න ටික විසඳගන්න පුළුවන් කියලා හිතනවා.

ඔබේ චිත්‍රපටයක් තිරගත වෙන්නේ දිගුකලට පසුව නේද?

චිත්‍රපට සම්බන්ධ ප්‍රශ්නයක් ලංකාවේ තියෙනවා. සමහර වෙලාවට නිර්මාණකරුවෝ මට ම කියලා තියෙනවා හර්ෂ අපරාදේ ඔයා ටෙලිවිෂන් එකේ ඔච්චර වැඩකළේ. ඔයා සිනමාවේ ඉන්න තිබුණ වගේ අදහසක්. නමුත් සිනමාවේ ඉන්න සිනමා නිර්මාණ කරන්න පුළුවන් මට්ටමේ චිත්‍රපට” හොඳ පිටපත් නැතිනම් මොකද කරන්නේ. අපි පාරම්පරික සල්ලිකාරයෝවත් කලා පවුල්වලින් පැවත එන අයවත් නො වුණාට පස්සේ ජීවත්වෙන්න වෘත්තියක් විදිහට කරන්නේ රංගනය. මට මගේ අධ්‍යාපනට හරියන්න ජොබ් එකක් කරන්න පුළුවන්කම තියෙද්දීත් මම ඒවා අතහැරලා රංගනයේ නියැළෙන්නේ මම ඒකට ආසනිසා. මගේ පැවැත්ම සඳහා මට වැඩකරන්න සිද්ධ වෙනවා. මට සිනමා නිර්මාණයක් එනකම්ම අනෙක් ටෙලිවිෂන් වැඩසියල්ල අතහැරලා බලන් ඉන්න පුළුවන් තත්ත්වයක් නැහැ.

කථිකාචාර්යවරයෙක් වෙන්න සුදුසුකම් තියාගෙන නළුවෙක් වීම ගැන මොකද හිතෙන්නේ ?

ඇත්තට ම ලංකාවේ කථිකාචාර්යවරයෙක් වෙනවාට වඩා නළුවෙක් වෙන එක තමයි අමාරුම කාර්යය. මොකද කැම්පස් එකක කථිකාචාර්යවරයෙක් වෙන්න කොච්චර ලේසි ද කියලා කියන්න දන්නවානේ. ඒක කාවත් අවතක්සේරුවට ලක් කිරීමක් නෙමෙයි. ඉතාම දක්ෂයෝ ඉන්නවා එළියේ. නමුත් ගොට්ට අල්ලන්නේ නැති නිසා කථිකාචාර්යවරු වෙන්න බැරිවුණ පිරිස් ඉන්නවා. මමත් කැම්පස්වල වැඩකරලා තියෙනවා. කැම්පස් එක ඇතුළට ගියාට පස්සෙ තමන්ගේ මතය තියාගෙන වැඩකරන්න බැරිව ඒවා අතහැරපු ඉතා දක්ෂ මිනිස්සු මම දැකලා තියෙනවා.

හර්ෂ කියන්නේ ස්වාධීනව වැඩකරන්න උත්සාහ කරන චරිතයක් ද?

ඔව්. අනිවාර්යයෙන්ම. මම විශ්වාස කරන දර්ශනයක් තියෙනවා. මම ඒක ඇතුළේ ජීවත් වෙනවා. මට මිනිහෙක් විදිහට දේශපාලන අදහසක් තියෙනවා. හැබැයි ඒක පක්ෂ දේශපාලනයක් නෙමෙයි. මේ රට මේ භූමිය මීට වඩා හොඳ විදිහට වෙනස් වෙන්න ඕනෑ කියන තැනක මම හැම තිස්සේම ඉන්නවා. ඒ වෙනුවෙන් වැඩ කරනවා.

කවදා ද ලංකාවට ආවේ ?

මම ලංකාවට ඇවිත් දැන් මාස තුනක් විතර වෙනවා.

ලංකාවෙන් ගියාට පස්සේ තිබුණ ලංකාවම ද ආපහු තියෙන්නේ ?

මෙහෙමයි. ලංකාවට එනකොට යනකොට තිබුණ විදියයි එනකොට තිබුණ විදියයි අතර කිසි වෙනසක් නැහැ. හේතුව යනකොට තිබුණ රටවැසියා එනකොට වෙනස් වෙලා තිබුණා. පාලනය පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ. යනකොට හිටපු රටවැසියා නෙමෙයි එනකොට හිටියේ. තමන්ගේ මූලික අවශ්‍යතා ටික ඉෂ්ට වුණාට පස්සේ කටවල්වහගෙන ඉන්න හරිම නිද්‍රාශීලි මිනිස්සු කොට්ඨාසයක් බවට පත්වෙලා හිටියා මම ආපහු ලංකාවට එනකොට. තවමත් එහෙමයි.

ලංකාවෙන් ගියේ ආපහු නොඑන බලාපොරොත්තුවෙන් නේද?

ඔව්. ඇත්තට ම ගියේ නොඑන බලාපොරොත්තුවෙන් තමයි.

ඇයි එහෙනම් ආපහු ආවේ?

ඒකට ඇත්තට ම පෞද්ගලික කාරණා කිහිපයක් බලපෑවා.

දිනේෂ් විතාන
ඡායාරූප – ජගත් රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment