සාෆ් පාපන්දු තරගාවලිය මාලදිවයිනේදී – මෙවර කණ්ඩායම් 5යි

332

දක්ෂිණ ආසියාතික රටවල පාපන්දු ශූරතාවලිය හෙවත් සාෆ් පාපන්දු තරගාවලිය එළඹෙන ඔක්තෝබර් මස 01 දින සිට 13 දින දක්වා මාලදිවයිනේ මාලේ අගනුවරදී පැවැත්වීමට සංවිධානය කර ඇති අතර ඒ සඳහා සහභාගි වන රටවල් සංඛ්‍යාව 05 කි.

මාලේ පුරවරයේ පිහිටි ජාත්‍යන්තර පාපන්දු සංකීර්ණයේ දී පැවැත්වෙන මෙම තරගාවලියේදී සත්කාරක මාලදිවයින, ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය සහ  ශ‍්‍රී ලංකාව සටන් වදිති.

මෙම කණ්ඩායම් අතර ලීග් ක‍්‍රමයට පැවැත්වෙන මූලික වටයේදී ඉහළම ප‍්‍රසාද ලකුණු ලබාගන්නා දෙපිළ තීරණාත්මක අවසන් තරගය සඳහා වරම් ලබනු ඇත.

මෙවර අවසාන මහා තරගය ඔක්තෝබර් මස 13 දින පස්වරු 08.00 ට ආරම්භ කිරීමට සංවිධායකයින් පියවර ගෙන තිබේ.

ඒ අනුව ශ‍්‍රී ලංකාව ඇතුළු සෑම රටක්ම මූලික වටය යටතේ තරඟ 04 කට සහභාගි වීමට නියමිතය.

ඔක්තෝබර් මස 01 දින බංගලාදේශයට එරෙහිවද 03 දින නේපාලයට එරෙහිවද 06 දින ඉන්දියාවට එරෙහිව ද 08 දින මාලදිවයින ට එරෙහිව තරඟ බිමට පිවිසීමට ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම සූදානම්ව සිටී.

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම අනුව අවසන් රටවල් 05 අතර රැුඳී සිටින ශ‍්‍රී ලංකා පිලට මෙම තරගාවලිය ආශ‍්‍රිතව පියවරක් හෝ ඉදිරියට යෑමේ අවස්ථාව උදාවිය හැකි අතර එයින් ප‍්‍රයෝජන ගැනීමට ශ‍්‍රී ලංකා පාපන්දු බලධාරීන්ගේ හා ක‍්‍රීඩකයින්ගේ යුතුකම හා වගකීම වනු නොඅනුමානය.

1995 වසරේ දක්ෂිණ ආසියානු රටවල පාපන්දු ශූරයින් ලෙස කිරුළ දරමින් කලක් කලාපයේ බලවතෙකු සේ ශ‍්‍රී ලංකා පාපන්දුව දිස් වුවද අද එම තත්ත්වයෙන් ගිලිහී තිබීම හේතුවෙන් ජාත්‍යන්තර වර්ගීකරණය අනුව පහළට ගමන් කොට තිබේ.

1995 බ‍්‍රසීල ජාතික මාකෝස් පෙරෙයිරා මහතාගේ පුහුණු උපදෙස් අනුව පිටියට පිවිසි සම්පත් පෙරේරාගේ නායකත්වයෙන් සැදුම්ලත් ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම එවර අවසන් තරගයේ දී ප‍්‍රබල ඉන්දියාව පරදා ගෝල් 01 – 00 ජයග‍්‍රහණයක් සටහන් කර ගැනීමට සමත් විය.

එම අවසන් තරගයේ අතිරේක කාලයේ දෙවන භාගයේ දී ඩබ්ලිව්.ඞී. සරත් ගේ හිසින් සටහන්වූ රන් ගෝලය ශ‍්‍රී ලංකාවේ පාපන්දු ජයග‍්‍රහණ අතර රන් අකුරින් එදින ලියැවුණි. එහි ප‍්‍රතිඵලයක් ලෙස පාපන්දු ඉතිහාසයේ පළමුවරට සාර්ක් රන් කුසලානය ශ‍්‍රී ලංකාව සතු විය.

ඉන් අනතුරුව මාලදිවයින ජාතික නිදහස් දින සැමරුම් පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගනිමින් පුනර්ජීවය ලැබූ බවක් ශ‍්‍රී ලංකා පිල වෙතින් දිස් විය. ඒ 1999 වසරේදීය.

එහෙත්, ඊට පසුව සුපුරුදු ආක‍්‍රමණශීලී දක්ෂතා ශ‍්‍රී ලංකා පිල වෙතින් නිරන්තරයෙන් පෙනෙන්නට නොතිබීම හේතුවෙන් කලාපයේ නිසි ස්ථානයක් හිමි කර ගැනීමට පවා නොහැකි විය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment