රවීන්, රෝසි ආදර කතාව මැද්දට පැන්න දුෂ්ටයා…

119

ආදර කතාවලට දුෂ්ටකම් කළොත් බැණුම් අහන්නම වෙනවානේ. මේ දවස්වල හැත්තෑවේ ආදර කතාවට දුෂ්ටකම් කරන චරිතයක් එක්ක අපි පුංචි සංවාදයක පැටළුණා. ඔහු නමින් අශාන් ඩයස්. අශාන් මේ දිනවල රංගනයෙන් දායක වෙන අරුණ ජයවර්ධනගේ 1970 ලව් ස්ටෝරි සිනමා නිර්මාණය ගැන හැමෝම වගේ කතාබහ වෙනවා. ඒ හින්දා අරුණගේ හැත්තෑවේ ආදර කතාවේ දුෂ්ටයාට අපි මේ ඉඩකඩ වෙන් කළා.

අශාන් ආදර කතාවලට දුෂ්ටකම් කරනවා කියන්නේ?

ඔව්. මේ දවස්වල ඇත්තට ම ඒකම තමයි වෙන්නේ. අපේ හේමාල් රණසිංහටයි ගම්‍යා විජේදාසටයි දුෂ්ටකම් කරන එක තමයි වෙන්නේ.

මේ දුෂ්ටයාට ලැබෙන ප්‍රතිචාර මොනවගේද?

දැනට නම් ලැබෙන ප්‍රතිචාර හොඳයි. මම හිතන්නේ මේ චිත්‍රපටය තිරගතවෙලා වැඩිකාලයක් තවම නැහැ. කොහොමත් චිත්‍රපටයක් තිරගතවෙලා ටික දවසක් යනකම් හැමෝම අතරට යන්නේ නැහැ. දැනට ඇවිත් තිබෙන ප්‍රතිචාර ගොඩක් හොඳයි. සමහර ගැහැනු ළමයි හරිම දුකෙන් මැසේජ් කරලා අහනවා ‘අනේ ඇයි හේමාල්ට දුෂ්ටකම් කරන්නේ’ කියලා. එහෙමත් ඒවා තියෙනවා.

රවීන්, රෝසි ආදර කතාව මැද්දට පැන්න දුෂ්ටයා…

හේමාල්ට ඇත්තටම ගැහැව්වේ?

මෙහෙමයි. ඒක හොඳ ප්‍රශ්නයක්. හැබැයි ඒකේ ඇත්ත තේරුම් ගන්න සිනමාහලට ගිහිල්ලා ම චිත්‍රපටය නරඹන්න වෙනවා. හේමාල්, මම වගේම තව නළුවෝ කිහිපදෙනෙක් ඉන්නවා සටන් ජවනිකා ඇත්තට ම සිදුකරන. ඒකට අපිට වටපිටාව හැදුණේ සටන් අධ්‍යක්ෂ වසන්ත කුමාරවිල නිසා. චිත්‍රපටයක් ඇතුළේ තව චිත්‍රපටයක් කරනවානේ. ඒ ෆිල්ම් එකේ රඟපාන නළුවෝ දෙන්නා ඒ චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර ඇත්තට ම ගහගන්න තැනකට එනවා. ඒක බලන්නම ඕනෑ තේරුම් ගන්න ඕනෑ.

1970 ලව් ස්ටෝරි චිත්‍රපටයට ආරාධනාව ලැබුණහම මොකද හිතුණේ ?

මේක රහසක් නෙමෙයි. මේ චිත්‍රපටය ටික කාලයකට කලින් ඒ කියන්නේ 2018 ජනවාරි මාසයේ තමයි රූගත කිරීම් සිදුකළේ. ඒ කියන්නේ අවුරුදු හයකට කලින්. එතකොට මම ලංකාවට ඇවිත් පූර්ණකාලීනව රංගන ශිල්පියෙක් වෙන්න වැඩ පටන්ගත්තු කාලයේ ම තමයි මට මේ චිත්‍රපටයට ආරාධනාව ලැබෙන්නේ. එතකොට ඒ වෙද්දී අරුණ ජයවර්ධන කියන අධ්‍යක්ෂවරයා ලංකාවේ හොඳට නම් දරලා ලෝකේ වටේ සම්මාන දිනලා හිටියේ නිකිණි වැස්ස චිත්‍රපටය හරහා. ඒ කාලේ මම අරුණ ජයවර්ධනව අධ්‍යක්ෂවරයෙක් විදිහට අඳුරන්නේ නැහැ. මාත් එක්ක මීට කලින් මාධ්‍ය ආයතනයක වැඩකරලා තියෙනවා. ඒ වෙලාවේ ඔහු ලංකාවේ පිළිගත් අධ්‍යක්ෂවරයෙක්. ඉතිං ඔහුගෙන් ආරාධනාවක් ලැබුණහම ලොකු වාසනාවක් විදිහට භාරගත්තේ. දැන් වෙනකොටත් ඔහු ලංකාවේ ජනප්‍රිය ටෙලිනාට්‍ය කිහිපයක පිටපත් ලියලා තියෙනවා. ඉතිං ලොකු වාසනාවක් අරුණත් එක්ක වැඩකරන්න ලැබීම.

මේ ඔබේ පළමු දුෂ්ට චරිතයක් රඟපාන අවස්ථාව ද?

ඔව්. සිනමා ජීවිතය බලපුවාහම පළමුවැනි දුෂ්ට රංගනය. හැබැයි ලංකාවේ ප්‍රේක්ෂකයෝ මගෙන් හැමදාම අහලා තියෙන්නේ ඇයි ඔයා හැමදාම දුෂ්ටයාට රඟපාලා තියෙන්නේ කියලා. මම එතකොට කල්පනා කරලා අහනවා මීට කලින් මම දුෂ්ටයාට රඟපාලා නැහැනේ කියලා. හේමාල් රණසිංහගේ රසික රසිකයෝ ඔහුට පුදුම ආදරයක් තියෙන්නේ. ඔවුන් මට කතා කරලා කියනවා ‘ඔයා විජයබා කොල්ලයෙත් හේමාල්ට දුෂ්ටකම් කළා’ කියලා. මම කියනවා විජයබා කොල්ලයේ දුෂ්ට චරිතයක් නෙමෙයි තියෙන්නේ කියලා. නෑ… නෑ… නයනානන්දගේ නීලමනීගේ ආදරය මැදට පැන්නා වගේ කතා කියනවා. ඇත්තට ම බැලුවොත් පළමුවැනි දුෂ්ට චරිතය. හැබැයි අනෙක් චරිතත් දුෂ්ට විදිහට දකින අය ඉන්නවා.

කාලයක් ගිහිල්ලා හරි චිත්‍රපටයක් තිරගතවීම ගැන මොකද හිතෙන්නේ?

අවංකවම කිව්වොත් රංගන ශිල්පියෙකුට තමන් කරපු චිත්‍රපටයක් තිරගතවෙන්න ගොඩක් කල් යනවා කියන්නේ පාඩුවක්. මොකද අවුරුදු පහක් හයක් ගියාට පස්සේ අපිත් මනුස්සයෝ හැටියට රංගන ශිල්පීන් හැටියට හිතන පතන විදිහ වැඩකරන විදිහ වගේම අපේ ශිල්පය වගේ හැමදෙයක්ම ඊට වඩා මෝරලා අත්දැකීමක් ඇවිත් තියෙන්නේ. අර කලින් කරපු කෙනා නෙමෙයි දැන් ඉන්නේ. ඒක සාමාන්‍ය ප්‍රශ්නයක්. හැබැයි 1970 ලව් ස්ටෝරි චිත්‍රපටය ඒ කාරණාව අදාළ වෙන්නේ නැහැ. මේකේ හොරර්, රොමෑන්ස්, මියුසික්, ඇක්ෂන් කියන සියලුම දේ තියෙනවා. ඉතිං මේක ඕනෑම කාලෙකට ආවට කිසි ප්‍රශ්නයක් නැහැ.

මේ දවස්වල මොනවද කරන්නේ?

මේ දිනවල 1970 ලව් ස්ටෝරි චිත්‍රපටයේ ප්‍රචාරක වැඩකටයුතු තමයි කරගෙන යන්නේ. පසුගිය අවුරුදු තුන හතරේ අපේ ලංකාවේ සිනමාවට එළියට එන්න අවස්ථාවක් හම්බවුණේ නැහැනේ. මුලින්ම පාස්කු ප්‍රහාරය ඊට පස්සේ කොරෝනා වසංගතය ඒත් එක්කම ආපු ආර්ථිකය කඩාවැටීම් කියන ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න සිද්ධවුණා. ඇත්තට ම මේ වසරේ තමයි පසුගිය අවුරුදු පහ හයේ ම කරපු චිත්‍රපට තිරගත වෙන්න පටන්ගන්නේ. ඉතිං මේ අවුරුද්දේ මම රංගනයෙන් දායකවුණු චිත්‍රපට පහක් විතර තිරගත වෙන්න තියෙනවා. ඉතිං ඒවා ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා. එතැනින් එහාට රංගන පැත්තෙන් කියන්න තරම් වැඩක් කෙරෙන්නේ නැහැ. අනික මම බලාගෙන ඉන්නේ හොඳ පිටපත් ලැබෙනකම්. හොඳ පිටපත් ලැබුණේ නැතිනම් මම ඇත්තටම වැඩකරන්නේ නැහැ.

අශාන් වැඩක් කරනකොට හරි පරිස්සම් වෙනවා කියලත් ආරංචියි?

ඔව්. මෙහෙමයි. පරිස්සරම් වෙනවා කියන එකටත් වඩා දෙයක් තියෙනවා. දැන් මම ඔස්ටේ්‍රලියාවේ හොඳ ජීවිතයක් ගත කරලා ඒ සියල්ල අතහැරලා ලංකාවට එන්නේ රංගනයට, සිනමාවට තියෙන කැක්කුමට. එතකොට මම ලංකාවට ඇවිත් තීරණය කරනවා ජීවිතයේ හදවතින්ම මට පැෂන් එක තියෙන දේවල් විතරක් කරනවා කියලා. එතකොට එච්චර කැපවීමක් කරලා මෙච්චර ආදරයෙන් ඉඳිද්දී භාගෙට කරන වැඩවලට සම්බන්ධවුණහම ක්‍ෂේත්‍රය ගැන කරකිරෙනවා. එහෙම වුණොත් මේ ක්‍ෂේත්‍රය එපා වෙනවා. ඒ වගේ නොවෙන්න තමයි ඒ වගේ වැඩවලට සම්බන්ධ නොවෙන්නේ. මම සම්බන්ධ වෙනවා නම් සම්බන්ධවෙන්නේ මට ඇත්තට ම ගෞරවරයක් ආදරයක් තියෙන අධ්‍යක්ෂවරයෙක්, හොඳ පිටපතක් නැතිනම් ඒ චරිතය මම මීට කලින් මම කරලා නැති රංගන ශිල්පියෙක් විදිහට මට අභියෝගයක් වෙනවා නම් මට තෘප්තියක් ලැබෙනවා නම් විතරයි කරන්නේ. ඒකට චරිතයේ ප්‍රමාණය අදාල නැහැ. ප්‍රධාන චරිතයක් ද සුළුචරිතයක් ද කියලවත් හොයන්න යන්නේ නැහැ. එක දර්ශනයක් විතරක් වුණත් මම භාරගන්නවා ඒ චරිතය මට හිතට වදිනවා නම්.

ඔබ රංගනයෙන් දායකවුණු අරුණගේම මාරියා ගැනත් ප්‍රේක්ෂකයෝ ලොකු බලාපොරොත්තුව ඉන්නවා?

ඒකත් බලාපොරොත්තු තියාගන්න පුළුවන් නිර්මාණයක්. ඒක ගැන අපි එදාට වැඩි විස්තර කතා කරමු. මටත් ඒ ගැන ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ළඟදීම තිරගතවේවි කියලා. මහමුහුදේම රූගත කරපු චිත්‍රපටයත්. චරිත හතයි තියෙන්නේ. එතැනම තියෙනවා කුතුහලයක්. අනෙත් එක එහි රඟපාන්නේ ලංකාවේ ඉන්න දක්ෂතම ශිල්පීන් ටිකක්. අමුතුම අත්දැකීමක්. අමාරුම අත්දැකීමක්. තෘප්තිමත් අත්දැකීමක්. අරුණ ජයවර්ධනගේ තවත් විශිෂ්ට පිටපතක්. ඉතිං ඒක එනකම් අපි ආදරයෙන් බලාගෙන ඉන්නවා.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment