යාළුවො නාන්න කතා කළත් අපි බැහැ කිව්වා අපි බැහැල එනකොට යාළුවො ගහගෙන යනවා – මිතුරෝ දෙදෙනා සාක්‍ෂි දෙති

846

වැල්ලමඩම මුහුදේ නාන්න ගිය පාසල් සිසුන්ගේ ඛේදවාචකය

මුහුද…. විටෙක ශාන්තය, විටෙක රළුය දැඩිය. සැඳෑ යාමයෙහි සහ නිවාඩු දිනයන්හි මුහුදේ ශාන්ත බව සුන්දරත්වය විඳීමට වෙරළ අසලට යෑමට බොහෝ දෙනා ප්‍රිය කරති. එහෙත් මුහුද හැසිරෙන්නේ කුමන අයුරින්දැයි සිතා ගැනීමට කිසිවෙකුටත් නොහැකිය. මහා සාගරයේ ඇති අසිරිමත් බව නිසාම මහ මුහුද මිනිසාට එරෙහිව කුමන දේ කළත් මිනිස්සු මහමුහුදට විරුද්ධව කිසිවක් නොකියයි.

පෙබරවාරි 17 වන සිකුරාදා දිනට හිරු උදා වුණි. උදෑසන නමයට පමණ මාතර රුහුණ විශ්ව විද්‍යාල පරිශ්‍රය අසල අභිමානවත් වූ රබින්ද්‍රනාත් තාගෝර් ශාලාවෙන් පිටුපස වැල්ලමඩම මුහුදු තීරය වෙත ඇදෙන නව යෞවන වියෙහි පසුවන පුතුන් තිදෙනෙකි. සතියේ දිනක් නිසා වෙරළේ කිසිවෙකු සිටියේ නැත. එම තිදෙනාගේ යහළුවන් දෙදෙනකු ද ඒ වන විට වැල්ලමඩම වෙරළ තීරයට ළඟා වෙමින් පැවතිණි. ඔවුන් පැමිණීමටද පෙර මුහුදු වෙරළට පැමිණි තිදෙනා යෝජනා කළේ “මුහුදට බැහැල නාමු බං. මෙච්චර දුරක් ආපු එකේ රැල්ල පාගල විතරක් මදියි” යනුවෙනි.

ඔවුන් ඒ වනවිට සිටියේ මුහුදේ රැල්ල පාගමිනි. යෝජනාව සම්මත විය. නාමු යැයි යෝජනා කළ තිදෙනා අනෙක් යහළුවන් දෙදෙනා පැමිණෙනතුරු මුහුදට බැස්සේය. ඒ එම ස්ථානයේ ස්වභාවය පිළිබඳ හාංකවිසියක්වත් නොදැනය.

මහ මුහුදේ රළ පිට රළ නඟමින් දෙන විශාල රළවලට අභියෝග කිරීමට ඔවුන් එම රළ හා හැප්පෙමින් ටික වේලාවක් විනෝද විය. වෙරළ තීරයට පැමිණෙමින් සිටි මිතුරන් දෙදෙනා වෙරළට පැමිණෙමින් සිටි අතර ඔවුන් ඉතාමත් ඉක්මනින් එම ස්ථානය වෙත පැමිණෙමින් සිටියේ සිය මිතුරන් සමග මුහුදේ නෑමට විය හැක. ඔවුන් ඔවුන් පැමිණ වෙරළට බහින අතරතුර මුහුද දෙස බැලුවේ මුහුදේ නාමින් සිටි මිතුරන් තිදෙනා සිටින ස්ථානයේ ඔවුන් මහ මුහුදේ විනෝද වන අයුරු දැක ගැනීමටයි. එහෙත් ඔවුන් යම් කරදරයක පැටලී සිටින බව වටහා ගැනීමට ඔවුන්ට වැඩි වේලාවක් ගියේ නැහැ. මුහුදේ රළ යටින් පැමිණි දිය වැලකට මිතුරන් තිදෙනා හසුවී ඇති බව ඔවුන් දැක ගත්තේ දිය නාමින් සිටින තැනට වඩා ඈතින් ඔවුන් වඩා වේගයෙන් ඇදී යමින් මුහුද යටට යන අයුරු දැක ගැනීමෙනි.

තම මිතුරන් තිදෙනා විශාල කරදරයක පත්ව ඇති බව දැකගත් වෙරළේ සිටි තරුණයන් දෙදෙනා කෑගසමින් උපකාර ඉල්ලන්නට විය. එහෙත් සිදු විය යුතු දේ සිදුවී හමාරය. දිය නාමින් සිටි යෞවනයන්ගේ සිරුරු මුහුදු පතුලේ කොතැනක සැඟවුණා දැයි සෙවීමට සමත් කෙනෙකු එතන නොසිටියහ.

උපකාරක පන්තියකට සහභාගි වීම සඳහා මාකඳුර ප්‍රදේශයේ සහ කඹුරුපිටිය මාපලාන ප්‍රදේශයේ සිට මාතර පැමිණ තවත් යහළුවන් දෙදෙනකු සමග එක්වී මාතර රුහුණ විශ්වවිද්‍යාලය ආසන්නයේ ඇති රබින්ද්‍රනාත් තාගෝර් රැස්වීම් ශාලාවෙන් පිටුපස ඇති එස්. කේ. නගරයට ආසන්න වැල්ලමඩම වෙරළ තීරයේ දිය නාමින් සිටි මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත කඹුරුපිටිය මාපලාන උඩ දෙනිය පදිංචි ධනුෂ්ක සත්සර, මාකඳුර රන්සෑගොඩ බෙරලිය පදිංචි අර්ජුන උත්පල, මාකඳුර යොවුන් සවිය ගම අංක හතර නිවසෙහි පදිංචි චමිඳු ගයේශාන් මෙලෙස සිය ජීවිතයන්ගෙන් සමු ගත්තේ මුළු මාතරම සෝ සයුරේ ගිල්වමිනි.

මොවුන් තිදෙනා වයස අවුරුදු 17 සහ 18 වයස්වල පසුවෙති.

කඹුරුපිටිය නාරංදෙනිය විද්‍යාලයේ උසස් පෙළ අංශයේ අධ්‍යාපනය ලබන මෙම සිසුන් තිදෙනා මාතර උපකාරක පන්තියට පැමිණෙමින් සිටින අතරතුර පන්තියට යෑම අතහැර මාතර කාර්මික විද්‍යාලයේ පුහුණුව ලබන තවත් යහළුවන් දෙදෙනෙකු ද සමග කතිකාකරගත් පරිදි 17 සිකුරාදා දින උදේ මුහුදේ දිය නෑමට ගොස් ඇත. මෙම සිද්ධිය ආරංචි වූ සැණින් මුහුදේ අතුරුදන් වූ පිරිස සෙවීමට මාතර මූලස්ථාන පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක හෙට්ටිආරච්චි මහතා ඇතුළු නිලධාරීන් සහ නාවික හමුදාවේ කිමිදුම් බළකායේ නිලධාරීන් ද එම ස්ථානයට පැමිණ අවශ්‍ය පියවර ගත් නමුත් එම දිනයේ මුහුදේ තිබූ අධික රළ පහර නිසා අතුරුදන් වූ සිසුන් තිදෙනාගේ සිරුරු සොයා සිරුරු සොයා ගැනීමට හැකියාව ලැබුණේ නැත. එබැවින් එම දිනයේ සැන්දෑ යාමය වන තුරු කළ නිරීක්ෂණ කටයුතු වලින් අනතුරුව සිසුන් තිදෙනා පිළිබඳව සෙවීම තාවකාලිකව අත්හැර දැමුවේය.

සෙනසුරාදා ( 16 දා) උදෑසන වන විට මුහුදේ දිය නෑමට ගොස් අතුරුදන් වූ තිදෙනාගෙන් චමිඳු ගයේශාන් සහ ධනුෂ්ක සත්සර ගේ නිසල දේහයන් මාතර වෙරළ උද්‍යානයට ආසන්නව ගොඩ ගසා තිබියදී නාවික හමුදාව මගින් සොයා ගනු ලැබීය. මාකඳුර රන්සෑගොඩ පදිංචිව සිටි 18 හැවිරිදි අර්ජුන උත්පලගේ සිරුර සොයා ඊයේ වන තුරු ද නාවික හමුදාවේ කිමිදුම් බළකාය මගින් මුහුදේ මෙහෙයුම් දියත් කරන ලදි.

මෙම දරුවන් තිදෙනා මුහුදේ ගිලුණු ස්ථානය පිළිබඳව ඔවුන් යන්තමින් හෝ දැන සිටියානම් මෙවැනි විපතක් කිසිදු අයුරකින් සිදු නොවනු ඇත.

ප්‍රදේශවාසීන් එම ස්ථානය පිළිබඳ විස්තර කළේ මෙසේය…

මේ වෙරළ නාන්න සුදුසු නැති අන්තරාදායක තැනක්. නිතරම දියවැල් තිබෙනවා. නොදන්න කට්ටිය මෙතෙන්ට ආවට පස්සෙ ඕක තමයි වෙන්නෙ. පන්ති යනවා කියලා ඇවිල්ලා මේ මුහුදු වෙරළට ඇවිල්ල විනෝද වෙල මුහුදෙ නානව. පස්දෙනෙක් ඇවිල්ල තුන්දෙනෙක් මුහුදෙ නාල තියෙනව. ඉන්පස්සෙ තමා අනිත් දෙන්න දැකල තියෙන්නෙ. දිය වැලකට අහුවුණොත් ලොකු වුණත් පොඩි වුණත් අමාරුයි බේරිල එන්න ගහගෙන යනව.

ඔවුන්ගේ ගමනට එකතු වීමට පැමිණි අනිත් මිතුරෝ මෙලෙස පවසති…

අපේ යාළුවෝ කතා කරා නාන්න එන්න කියල. අපි කිව්වා එහෙ නාන්න බැරිය අපි දන්නේ නැතෙයි පොල්හේනට වත් එන්න කියල. ඊට පස්සේ යාළුවෝ කිව්ව අපි ඇවිල්ලා ඉන්නේ උඹලා වරෙල්ලා කියල කරන්න දෙයක් නෑ කියල. පස්සේ අපි ආව. ඊට පස්සේ අපි අතනින් බැහැල එනකොට පේනව ඒ කට්ටිය යනව. අපිට කරගන්න දෙයක් නැහැ අපි ඊට පස්සේ කෑ ගැහුව. ඊට පස්සේ තමයි පොලිසියට කිව්වෙ. මේගොල්ලෝ තුන්දෙනාම නාරන්දෙණිය ඉස්කෝලෙ යන්නෙ.

සිද්ධිය සම්බන්ධයෙන් මාතර මූලස්ථාන පොලිසියේ පොලිස් පරීක්ෂක හෙට්ටිආරච්චි මහතාගේ මූලිකත්වයෙන් යුතු නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති. වෙරළ තීරයට පැමිණ සිටියේ තරුණයන් දෙදෙනාද පොලිස් භාරයට ගෙන ඔවුන්ගෙන් කට උත්තර ලබා ගැනීම සිදු විය. දේහයන් පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු මාතර මහ රෝහලේ දී සිදු කිරීමට සිදුකිරීමට නියමිත ව ඇත. මෙම ලිපිය ලියන මොහොතේ දී ද අතුරුදහන් වී මුහුදු පතුලේ සැඟවුණු 18 හැවිරිදි අර්ජුන උත්පලගේ සිරුර පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා නොවීය. දරුවන්ගේ අකීකරුකම් නිසා තවත් එක් සිද්ධියක් සිදු වී හමාරය. දහසක් සිතුම් පැතුම් පොදි බැඳගත් මවුපියන්ගෙ අනාගත බලාපොරොත්තු සියල්ල සුන් වී ඇත. අතේ තිබූ දෙයක් අහිමි වුවහොත් එය නැවත ලබා ගැනීමට උත්සාහ කළහොත් ලබාගැනීමට ද බැරි කමක් නැත. එහෙත් ජීවිතය අහිමි වුවහොත් එය ලබාදීමට ලොව කිසිවකු ඉදිරිපත් නොවනු ඇත.

මෙම සිද්ධිය සමඟ මවුපියන්ගේ නෑ හිතවතුන්ගේ යහළු යෙහෙළියන්ගේ මෙන්ම ජීවිතයෙන් සමුගත් තිදෙනාගේ ද සිතුම් පැතුම් මිලිනව ගොස් ඇත.

මෙලෙස අකීකරුකම නිසා සිරි ලක්මවට අහිමි වූයේ කොයි තරම් වටිනා ජීවිත ද කියා අපට කිව නොහැක. ජීවිතය අනියතයි මරණය නියතය. එහෙත් එය අකාලයේ විය යුත්තක් නො විය යුතු ය. විනෝද වීම තුළ ඇත්තේ ජීවිතය නැති කරන්නක් නම් එය නොවිය යුතුය.

මාතර අතිරේක ලලිත් පත්මසිරි

advertistmentadvertistment
advertistmentadvertistment