බුත්තලට සුළි කුණාටුවක් සමඟ අයිස් වැස්සක් – නිවාස රැසකට හානි

85

බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසකට ඉකුත් (09) වෙනිදා සවස මහ වැස්සත් සමඟ හමාගිය සුළි කුණාටුවකින් නිවාස 47කට පමණ අර්ධ හානි සිදුවී ඇතැයි බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.

මහ වැස්ස සමඟ අයිස් කැටද පතිතවූ බව ප්‍රදේශවාසීහු පවසති.

උනාවටුන, යුදඟනාව, පුහුල්කොටුව, දික්යාය, උඩගම, මැදගම සහ බුත්තල යන ග්‍රාම නිලධාරී කොට්ඨාසවලට මෙම සුළි කුණාටුව බලපා තිබූ අතර ගස් කඩාවැටීමෙන් බුත්තල – වැල්ලවාය මාර්ගය සහ අතුරුමාර්ග කිහිපයක ගමනාගමන කටයුතු ඇනහිට තිබිණි.

නිවාස තිහක පමණ සෙවිලි තහඩු සුළඟට ගසාගෙන ගොස් ඇති අතර නිවෙස් මතට ගස් කඩාවැටීමෙන් හානි සිදුවී තිබේ.

බුත්තල බස් නැවතුම්පළ ආසන්නයේ පිහිටි ගසක් කඩාවැටීමෙන් එහි කටයුතුවලටද බාධා පැමිණ තිබිණි.

සිද්ධිය සැලවූ වහාම බුත්තල ප්‍රාදේශීය ලේකම් ආර්. එම්. එස්. තිලකරත්න මහතා අදාළ ප්‍රදේශවලට ගොස් සිදුවී ඇති හානි පිළිබඳව සොයාබලා කඩිනමින් සහන සැලසීමට පියවර ගන්නා ලදි.

බුත්තල පොලිසිය, බුත්තල ප්‍රාදේශීය සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ප්‍රදේශවාසීන් එක්ව කඩා වැටී තිබූ ගස් කපා ඉවත් කරන ලදි.

මේ පිළිබඳව ආපදා කළමනාකරණ ඒකකයේ මොනරාගල සහකාර අධ්‍යක්ෂ ඒ.එච්. රවීන්ද්‍ර කුමාර මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ –

හානි සිදුවූ නිවාස අලුත්වැඩියා කරගැනීම සඳහා එක් නිවසකට රුපියල් දසදහසක මූලික ගෙවීමක් සිදුකොට අලාභහානි තක්සේරුකර නිවාස පිළිසකර කර ගැනීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ලබාදෙන බවයි.
බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment