නවසීලන්ත සංචාරයේ අවසන් සටන අද ක්වින්ස්ටවුන්හිදී

155

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරය නිමා කරමින් දෙරට අතර පන්දු වාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය නවසීලන්තයේ ක්වින්ස්ටවුන් හිදී අද (08 වැනිදා) ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 6.30 ආරම්භ වීමට නියමිතය.

තරගාවලියේ පළමු තරගය ජයග්‍රහණය කර සිටි ශ්‍රී ලංකාව පසුගිය 05 වැනිදා ඩනේඩින් හිදී පැවති දෙවන තරගයෙන් කඩුලු නමයක දැවැන්ත පරාජයක් ලැබීය.

ඒ අනුව තරගාවලිය 1-1ක් වශයෙන් මේ වනවිට සම තත්ත්වයේ පවතින අතර අද තරගයෙන් ශ්‍රී ලංකාව ජය ගතහොත් එය නවසීලන්තයේ දී ලද පළමු විස්සයි-20 තරගාවලි ජයග්‍රහණය බවට පත් වනු ඇත.

ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරගාවලි තුනක සංචාරයක් සඳහා නවසීලන්තය බලා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ටෙස්ට් සහ එක්දින තරගාවලි ද්විත්වයම පරාජය වූ අතර ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරග අවස්ථාව මෙන්ම එක් දින ලෝක කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 අතරට සෘජුව ම සම්බන්ධ වීමට තිබූ අවස්ථාවන් ද මෙම පරාජයන් හේතුවෙන් අහිමි වී ගියේය.

නවසීලන්ත සංචාරයේ අවසන් සටන අද ක්වින්ස්ටවුන්හිදී

පළමු තරගය ලකුණු සම වීමෙන් පසුව සුපිරි පන්දු වාරයේ දී ලද විශිෂ්ට ජයග්‍රහණය ශ්‍රී ලංකාවට තරගාවලිය පිළිබඳ විශ්වාසනීයත්වය ගෙන ආවද දෙවන තරගයේදී නැවත ලද අමිහිරි පරාජය ශ්‍රී ලංකා කණ්ඩායමේ මානසිකත්වය බිඳ දමන්නට සමත් විය.

එම තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් නවසීලන්ත වේග පන්දු බල ඇණිය හමුවේ ඉතා දුර්වල පිති හරඹයක් දියත් කළ අතර පන්දු වාර 19 ක් තුළ දී සියලු පිතිකරුවෝ ලකුණු 141 කට දැවී ගියහ.

ජයග්‍රහණය හඹා ගිය නවසීලන්ත පිතිකරුවෝ ශ්‍රී ලංකා පන්දු යවන්නන් තඹයකට මායිම් නොකරමින් සත්කාරක කණ්ඩායමට ජයග්‍රහණය ගෙන දුන්හ.

කෙසේ වෙතත් පළමු තරගයේ දී ජයග්‍රහණය සඳහා මග පෙන්වූ වමත් කසකරුවන් වන චරිත් අසලංක සහ කුසල් ජනිත් පෙරේරා දෙවන තරගයේදී ද සැලකිය යුතු ලකුණු ප්‍රමාණයක් රැස් කිරීම ශ්‍රී ලංකාවට සැනසීමට කරුණකි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාදඟ පන්දු යවන්නා වන වනිඳු හසරංග මේ දක්වා තරගාවලිය තුළදී දක්ෂතා අතරට නොපැමිණීම කණ්ඩායමට ප්‍රබල පාඩුවක් වී ඇත.

එසේම නායක දසුන් ශානක පිතිකරුවෙක් ලෙස තම කාර්යභාරය ඉටු කිරීමට අපොහොසත් වීමද සැලකිය යුතු කරුණකි.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර විස්සයි විස්ස තරග 22ක් පවත්වා ඇති අතර ඉන් තරග 12ක ජයග්‍රහණය නවසීලන්තය සතු වන අතර ඉන් ශ්‍රී ලංකාව තරග 8 ක් ජයග්‍රහණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment