කුරුන්දිය එතැන සිදුවෙන්නේ කුමක්ද?

592

නිදහසින් පසු ගොඩනැගෙන විශාලතම බොදු පින්බිම

කුරුන්දි ගැටලුව සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අධිකරණයට නිවැරැදි කරුණු ඉදිරිපත් කළේ නෑ…
නීතිඥ නුවන් බැල්ලන්තුඩාව

කුරුන්දි පුදබිමේ ගැටලු සම්බන්ධයෙන් උතුරේ රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත්වීම මන්දගාමී…
උතුරු පළාත් ප්‍රධාන සංඝ නායක ගල්ගමුවේ ශන්තබෝධි හිමි

සිංහල දෙමළ සංහිඳියාව වර්ධනය කිරීමට කුරුන්දි විහාරය කේන්ද්‍රීය ස්ථානයක්…
පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන

කුරුන්දි විහාරය, කුරුන්ද විහාරය, කුරුන්දාශෝක විහාරය, කුරුන්දි, කුරුන්දී, කුරුන්ද චුල්ලක, කුරුන්දන් කුරුන්දිය, කුරුන්ද පිල්ලක කුරුන්දවාපි, කුරුන්දවේලු, කුරුන්දිවෙල්ලි ආදී සිංහල හා පාලි සාහිත්‍ය මූලාශ්‍රවල විවිධ නම් රාශියකින් හඳුන්වනු ලබන කුරුන්දි විහාරය ප්‍රථම වරට කරවා ඇත්තේ ක්‍රි. පූ. පළමුවන සියවසේ බව මහා වංශයේ සඳහන් වේ. එය ඛල්ලාටනාග රජු විසින් (ක්‍රි. පූ. 110-104) ආරම්භ කර ඇති බව ද මහා වංශයේ සඳහන්ය. සද්ධම්ම සංග්‍රහය නම් කෘත්‍රියේ දැක්වෙන පරිදි කුරුන්දි අටුවාව ලක්දිව කුරුන්දවේලු නම් විහාරයේදී රචනා කරන ලද්දකි. එබැවින් කුරුන්දි විහාරය ලක්දිව මුලින්ම ආරම්භ කර ඇති විහාරයක් යැයි සිතිය හැකිය.

ප්‍රථමයෙන් මහා විහාරයට අයත්ව තිබූ කුරුන්දි විහාරයේ අභයගිරිය හා ජේතවන නිකායවලට අයත් භික්‍ෂූන්වහන්සේ වැඩ සිටි බව ද ඉතිහාසයේ සඳහන්ය. කුරුන්දිය අසල ඇඹුල්පස ග්‍රාමය මහ විහාරයට පිදූ පළමුවන අග්බෝ රජු කුරුන්දි විහාරය සර්ව සාංඝික කොට පූජාකොට ඇති බව ද ඉතිහාසයේ සඳහන්ය. කුරුන්දි විහාරයේ වැඩ සිටි ඵුස්සමිත්ත, දාඨාවේධක, සිව යන හිමිවරු පිළිබඳව සාහිත්‍ය මූලාශ්‍රවල ද සඳහන් වේ. එමෙන්ම හතරවන අග්ගබෝධි මහ රජුගේ සමීපතයෙක් වූ පොත්ථකුට්ඨ නම් ද්‍රවිඩයා විසින් කුරුන්ද පිල්ල පිරිවෙණේ ප්‍රසාදයක් කරවා ඇත. රජු හදිසියේ මියගිය පසු යුවරජු සිරගත කොට හෙතෙම වසර තුනක් දෙදෙනකු යොදවා රට පාලනය කර ඇත. දහවැනි සියවසේදී චෝල ආක්‍රමණයෙන් ලක්දිවට සිදු වූ මහා විනාශයෙන් පසුව පළමුවන මහා විජයබාහු රජු විසින් කුරුන්දි විහාරය යළි කරවා ඇත. පසුකාලීනව කාලිංග මාඝ නම් ආක්‍රමණිකයාගේ කඳවුරක් කුරුන්දියේ පිහිටා තිබූ අතර කුරුන්දි සිංහලයෝ එන්දුභාත්‍ර නම් ආක්‍රමණිකයාගේ පාර්ශ්වයට පක්‍ෂව ක්‍රියා කළ බව ද ඉතිහාසයේ සඳහන් වේ. දඹදෙණි යුගයෙන් පසු ජන ශුන්‍යව වල් වැදුනු කුරුන්දි විහාරය ගැන ඉංග්‍රීසි සිවිල් නිලධාරීන් වූ හෙන්රි පාකර්, එච්. සී. පී. බෙල්, ජේ. පී. ලුවිස්, ආර්. එල්. බ්‍රෝහියර්, ජෝන් ස්ටීල් සහ සී. ඩබ්. නිකලස් යන අය විසින් ද වාර්තා කර ඇත.

පොළොන්නරු යුගයෙන් පසු සිංහල බෞද්ධයන්ගේ අවධානය කුරුන්දිය වෙත නැවත යොමු කරන ලද්දේ ජෝන් සිරිමන් ද සොයිසා මහතාගේ ලිපි දෙකකිනි. එම ලිපි දෙක 1957 මැයි 26 සහ ජුනි 02 වැනිදා සිළුමිණ අතිරේකවල පළ කර තිබිණි. එමෙන්ම දඹදෙණි යුගයෙන් පසු නටබුන් වූ කුරුන්දි වෙහෙර නැවත ඉදිකිරීමට ප්‍රථමයෙන් උත්සාහ කරන ලද්දේ අන්තර් සංස්ථා බෞද්ධ සමිති සම්මේලනයයි. ඒ 1980 දශකයේ ය. එවකට එම සම්මේලනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුයේ හිටපු අමාත්‍යවරයෙක් වූ කලුවාදේවගේ සිරිල් මැතිව් මහතාය. එහි ලේකම්වරයා වූයේ පියසේන එස්. ජයවීර මහතාය. එම දශකයේදීම කුරුන්දියේ කැණීම් ඇරඹුණු අතර බෞද්ධ භික්‍ෂූන්වහන්සේ නමක් ද එහි වැඩ විසූහ. පිඟන් සංස්ථා බෞද්ධ සංගමයට භාර වී තිබූ කුරුන්දි පූජා නගර සැලැස්මට එරෙහිව දෙමළ ජාතිවාදීන් විසින් බාධා පමුණුවා කුරුන්දි පුදබිමේ පිළිම ගේ මත අනවසර කෝවිලක් ඉදිකරන්නට යෙදිණි. කුරුදු වෙහෙර මත ත්‍රිශූලයක් සවි කර තිබුණු බවත් එබැවින් එම අනවසර කෝවිල සහ ත්‍රිශූලය ඉවත් කරන ලෙස අන්තර් සංස්ථා බෞද්ධ සමිති සම්මේලනය විසින් සංස්කෘතික අමාත්‍යවරයාට සහ අදාළ බලධාරීන් දැනුවත් කර ඇත. එමෙන්ම සිරිල් මැතිව් මහතා විසින් යුනෙස්කෝ සංවිධානය ද දැනුවත් කර තිබිණි. දෙමළ ජනතාවගෙන් කුරුන්දි විහාරයට එල්ල වූ බාධක මැඬපැවැත්වීමට ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ පොලිස් ස්ථානයක් ද ස්ථාපිත කරන ලදී. එහෙත් තිස් අවුරුදු දෙමළ බෙදුම්වාදී කැරැල්ල හේතුවෙන් කුරුන්දි විහාරයේ කැණීම් හා සංරක්‍ෂණ කටයුතු ඇන හිටියේය. එම කාලය තුළ කුරුන්දි පුදබිමේ හින්දු කෝවිලක් පවත්වාගෙන ගිය බවට කිසිදු සාධකයක් හමු වී නොමැත. මානුෂීය මෙහෙයුමේ ජයග්‍රහණයෙන් පසු ගල්ගමුවේ සන්තබෝධි හාමුදුරුවෝ වැඩම කිරීමත් සමග කුරුන්දි විහාරයේ නැවත පිබිඳීමක් ඇති වූ බව ‘කුරුන්දි වංශය’ ග්‍රන්ථයේ සංස්කාරකවරු වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, ශාස්ත්‍ර පීඨයේ, දර්ශන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන සහ රජරට විශ්වවිද්‍යාලයේ, පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්දිම බණ්ඩාර අඹන්වල අපට පැහැදිලි කළහ. එම කථිකාචාර්වරු පැහැදිලි කරන ඉතිහාසයට අනුව කුරුන්දිය යනු අතිශය ඓතිහාසික බෞද්ධ පුදබිමකි.

මුලතිව් දිස්ත්‍රික්කයේ, මුහුදුබඩ පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, තන්නිමුරුප්පු ග්‍රාම සේවා වසමේ පිහිටි කුරුන්දි පුරාවිද්‍යා භූමිය උතුරු පළාතේ විශාලතම බෞද්ධ සිද්ධාස්ථානය බව ද මේ වනවිට මුළු රටම අවබෝධ කරගෙන සිටින බව සැබෑය. එහෙත් 2018 වර්ෂයේ මැයි මස 16 වැනි දින උතුරු පළාත් ප්‍රධාන සංඝ නායක ගල්ගමුවේ සන්තබෝධි නායක හාමුදුරුවෝ ඇතුළු කණ්ඩායමක් කුරුන්දි පුදබිම සොයාගෙන ගිය දවසෙ සිට ඇතැම් දෙමළ අන්තවාදී පිරිස් අංචි අදිති. ඇතැම් දෙමළ දේශපාලනඥයන් කුරුන්දිය හින්දු පුදබිමක් යැයි පවසමින් නීති මාර්ගයට ගියේය. 2018 වර්ෂයේ සැප්තැම්බර් මාස 05 වැනිදා ප්‍රථම වරට කුරුන්දිය සම්බන්ධයෙන් අධිකරණයට ගොනු කරන ලද නඩුව ඇතුළුව මේ වනවිට කුරුන්දි පුදබිම සම්බන්ධයෙන් නඩු හයක් විභාග වෙති. කුරුන්දිය සම්බන්ධයෙන් අධිකරණයට ගොනු වූ ප්‍රථම නඩුවේ සිට ‘කුරුන්දි බොදු උරුමය’ වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටින නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතාව හමු වී එම පුණ්‍ය භූමිය සම්බන්ධයෙන් උද්ගතව ඇති නීතිමය තත්ත්වය ගැන අපි විමසා සිටියෙමු. මේ පෙළගැසෙනුයේ කුරුන්දියේ නීතිමය පැතිකඩය.

“කුරුන්දි පුරාවිද්‍යා භූමිය සම්බන්ධයෙන් අධිකරණයේ නඩු හයක් විභාග වෙනවා. එම නඩු අතරින් සමාජය තුළ නිතර කතාබහට ලක් වෙන්නෙ මුලතිව් මහෙස්ත්‍රාත් උසාවියේ විභාග වෙන නඩුව. එම නඩුව පවරා තියෙන්නෙ පොලිසිය. ඒ නඩුව ක්‍රියාත්මක වෙන්නෙ සාමය කඩ කිරීම සම්බන්ධයෙන්. එවැනි නඩුකරයකදී කරන්න පුළුවන් සාමය කඩවීම වැළැක්වීම සඳහා යම්කිසි නියෝගයක් ලබාදීම පමණයි. ඒ නිසා කුරුන්දි පුදබිමේ සංරක්‍ෂණ කටයුතු සඳහා නීතිමය බාධක පැමිණියේ නෑ. ඒ අනුව සංරක්‍ෂණ කටයුතු සිදුකරගෙන ගියා. ඒ අතරතුරේදී අන්තවාදී කණ්ඩායම් විටින්, විට කුරුන්දි පුරාවිද්‍යා භූමියට පැමිණ ප්‍රශ්න ඇති කරනකොට නැවත වතාවක් සාමය කඩ කිරීම සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට ගියා. සාමය කඩ කිරීම සම්බන්ධ නඩුවකදී එම ස්ථානය පුරාවිද්‍යා ස්ථානයක්ද? බෞද්ධ සිද්ධස්ථානයක්ද? හින්දු සිද්ධස්ථානයක් ද? සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයට තීන්දුවක් ගන්න බෑ…”

“මේ වගේම සිද්ධියක් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයෙන් වාර්තා වුණා. හින්දු පාලක සභාව විසින් පාලනය කළ හින්දු බැතිමතුන්ගේ පූජාවට ලක් වූ තලවෙට්ටි මුනියප්පන් පන්සල හින්දු කෝවිලක් නෙමෙයි බෞද්ධ සිද්ධාස්ථානයක් කියලා දෙමළ ජාතිකයෙක් මදුරාසි අධිකරණයට නඩුවක් පවරා තිබුණා. එම අධිකරණය විසින් මුනියප්පන් පන්සල ගැන තමිල්නාඩු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් ලබා ගන්නවා. පන්සලේ පිහිටි පිළිමයේ අංග ලක්‍ෂණ අනුව එම ප්‍රතිමාව බුදුන්වහන්සේගේ මහා පුරුෂ ලක්‍ෂණ, ධ්‍යාන මුද්‍රාව, අර්ධ පද්මාසන ස්වරූපය වගේ කරුණු මත පුරාවිද්‍යාත්මක විෂය දැනුම අනුව එය හින්දු පිළිරුවක් නොව බුදු පිළිමයක් බව එම වාර්තාවෙන් ඉදිරිපත් කරනවා. වසර ගණනාවක් තිස්සේ සිට හින්දු බැතිමතුන් නඩත්තු කරගෙන පුද පූජා පවත්වාගෙන පැමිණි බැවින් හින්දු ජනතාවට අයිතියක් තියෙන්න ඕන කියලා ප්‍රති තර්කයක් ඉදිරිපත් වෙනවා. ඒ ප්‍රති තර්කය බැහැර කරමින් අනන්‍යතාව සම්බන්ධයෙන් ඇති කරන ලද වැරැදි නිගමනය දිගටම පවත්වාගෙන යෑමට අවසර දිය නොහැකි බව අධිකරණය තීරණය කරනවා. ඒ වගේම බෞද්ධ විහාරස්ථානයකට ප්‍රවේශවීමට ඕනෑම පුද්ගලයකුට ඇති අයිතිය මෙම ස්ථානය සම්බන්ධයෙන් වලංගු කර එම ස්ථානයේ හින්දු පූජා සහ උත්සව පැවැත්වීම අධිකරණ විසින් තහනම් කරනවා…”

“එම නඩු තීන්දුවෙන් අපට ගත හැකි ආදර්ශය තමයි පුරාවිද්‍යා භූමියක් සම්බන්ධයෙන් විශේෂඥ දැනුම තියෙන්නෙ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට. අදාළ පුරාවිද්‍යා ස්ථාන මොන ශතවර්ෂයේ ආරම්භ කළ එකක් ද? මොන සම්ප්‍රදායට අයත් එකක් ද? බෞද්ධ ද? වෙනත් ආගමකට අයිති ස්ථානයක්ද? කියලා ගරු අධිකරණයට වාර්තා කරන්න ඕන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. එවැනි ගැටලුවක් නිරාකරණය කරගන්න පුළුවන් ව්‍යවස්ථාපිත බලය ඇති ආයතනයක් විසින් නිවැරැදිව තම මතය ප්‍රකාශ කිරීමෙන් පමණයි. කුරුන්දි ගැටලුව සම්බන්ධයෙන් මෙරට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට නිවැරැදි කරුණු ඉදිරිපත් කිරීමක් කළේ නෑ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරපු කරුණු පදනම් කරගෙන මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පුරාවිද්‍යා ස්ථානයක් ලෙස හඳුන්වා දුන්නට බෞද්ධ පුරාවිද්‍යා ස්ථානයක් බවට කුරුන්දි පුදබිම හඳුන්වාදීලා නෑ. බෞද්ධ පුරාවිද්‍යා ස්ථානයක් බවට අධිකරණය තීන්දු කළා නම් අන්තවාදී පිරිස්වලට කුරුන්දි පුදබිමට ඇතුළු වෙලා පොංගල් උත්සව පවත්වන්න බෑ…”

කුරුන්දිය එතැන සිදුවෙන්නේ කුමක්ද?

“ඒ වගේම පුරාවිද්‍යාත්මක ස්ථාන, බෞද්ධ සිද්ධාස්ථාන මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වැනි වගන්තියෙන් ආරක්‍ෂා කරලා තියෙනවා. එම වගන්තියට අනුව බුද්ධ ශාසනය ආරක්‍ෂා කර පෝෂණය කිරීම රජයේ වගකීමක්. ඒ වගේම එම වගන්තියේ බුද්ධ ශාසනය කියන කාරණය පුළුල්ව අර්ථ නිරූපණය කරමින් මේ රට පුරා තිබෙන පුරාවිද්‍යා ස්ථාන, බෞද්ධ සිද්ධස්ථාන බුද්ධ ශාසනයට අයිති ඒවා බව පෙන්නා දීලා තියෙනවා. පුරාවිද්‍යා ස්ථාන, බෞද්ධ සිද්ධස්ථාන ආරක්‍ෂා කරන නව වැනි වගන්තිය ආරක්‍ෂා කිරීමේ වගකීම පැවරී ඇති ආයතන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. අදටත් සන්තබෝධි හාමුදුරුවෝ කුරුන්දි කැණීම් කටයුතු කරගෙන යන්නෙ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිසි අවසරය සහ අධීක්‍ෂණය ඇතිව. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඔවුන්ට පැවරී තිබෙන ව්‍යවස්ථාපිත බලය ක්‍රියාත්මක කරමින්, අභියාචනා අධිකරණය හෝ ශ්‍රේඨාධිකරණයට ගිහින් කුරුන්දි පුදබිමේ පුරාවිද්‍යා වටිනාකම පැහැදිලිව පෙන්වා දෙමින් විසඳුමක් ලබාගැනීමට කටයුතු කරන්න ඕනෑ. එහෙම නොවෙන්න කුරුන්දිය හැමදාම ගැටලුවක්. එවැනි තීන්දුවක් ලබාගැනීම තුළ උතුරු, නැගෙනහිර සියලු පුරාවිද්‍යාත්මක ස්ථානවල ගැටලුවලට විසඳුම් ලැබෙනවා…” නීතිඥ බැල්ලන්තුඩාව මහතාගේ කතාව අවසානය.

කුරුන්දිය පාදක කරගෙන දෙමළ උරුමය ගැන කතා කළ ඇතැම් දෙමළ අන්තවාදී කණ්ඩායම් මේ වන විට කුරුන්දිය හිඟන්නාගේ තුවාලය බවට පත් කරගෙන සිටින බව පෙනේ. විටින්, විට පාරමින් කුරුන්දිය හින්දු පුදබිමක් යැයි ජාත්‍යන්තරයට පෙන්වමින් එය නිදහස් කරගැනීම වස් ජාත්‍යන්තරයේ සොලවන කැට ඩොලර්වලින් පුරවති. දකුණේ ඇතැම් සිංහල දේශපාලනඥයන් ‘කුරුන්දි බෞද්ධ පුදබිමේ ගැටලුව’ දේශපාලන නාටකයක් සේ දකිමින් සිටිති. සැබැවින්ම කුරුන්දි පුදබිමේ ගැටලුව දේශපාලන නාටකයක් ද? ඒ ගැන විමසා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතාව දුරකථනය ඔස්සේ අපි සම්බන්ධ කරගත්තෙමු. මේ ඔහු කියන කතාවය.

“බුදුරාජාණන් වහන්සේ මහියංගනයට වැඩම කළ අවස්ථාවේ කුරුන්දි පුදබිමටත් වැඩම කර ඇති බවට දෙමළ ජනතාව අතර විශ්වාසයක් ඇති බව 1950 දශකයේ පැවැති බෞද්ධ උත්සවයක් අමතමින් සුන්දරලිංගම් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරලා තිබුණා. උග්‍ර බෞද්ධ විරෝධී දෙමළ දේශපාලනඥයෙක් ලෙස ප්‍රසිද්ධ ඔහුගේ කතාවෙන් පැහැදිලි වෙන්නෙත් කුරුන්දි බෞද්ධ පුදබිමක් බව දෙමළ ජනතාවත් විශ්වාස කරන බවයි. ඒ වගේම 1980 වර්ෂයට ආසන්න වෙනකම් භික්‍ෂූන්වහන්සේනමක් කුරුන්දි පුදබිමේ වැඩ සිටි බවට අපි කරපු අධ්‍යයනවලින් සනාථ වෙලා තියෙනවා. ඒ භික්‍ෂූන්වහන්සේට දන් පිළිගැන්වූ දමිළ වැඩහිටියො පවා අපිට මුණගැහුණා. ඒ නිසා සිංහල, දෙමළ සංහිඳියාව වර්ධනය කිරීමට කේන්ද්‍රීය ස්ථානයක් විදිහට කුරුන්දි පුදබිම පත් කරගන්න පුළුවන්. ඒත් උතුරේ දෙමළ ජාතිවාදී දේශපාලනඥයන් සංහිඳියාවට කැමැති නෑ. ඒ දේශපාලනඥයන් ලෝකය පුරා පතුරුවා තිබෙන නිජභූමි මිථ්‍යාවට කුරුන්දි පුදබිමේ කැණීම්වලින් හමුවන බෞද්ධ නටබුන් මරු පහරක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා කුරුන්දි ආරාම සංකීර්ණයේ පිළිම ගෙය කෝවිලක් බවට හුවාදැක්වීමට ඔවුන් දැඩි වෙහෙසක් ගන්නවා. ඒක අසාර්ථක වෑයමක්. ඒ වගේම දේශපාලන වාසියක් සඳහා යම් පිරිසක් එකතු වෙලා ජාතිවාදය ඇවිළීමට කුරුන්දි ප්‍රශ්නය උඩට ගේනවා කියලා දකුණේ ඇතැම් දේශපාලන තක්කඩි මත පළ කරනවා. කුරුන්දිය පිළිබඳ පැහැදිලි ගැටලුවක් තියෙනවා. ඒ වගේම කුරුන්දි පුදබිම බෞද්ධයන්ට අහිමි කිරීමේ පැහැදිලි කුමන්ත්‍රණයක් තියෙනවා. ත්‍රිශූල තියලා, පොංගල් උත්සව පවත්වන්නෙ නිකං නෙමෙයි, අරමුණක් ඇතිවයි. ඒවා දැක, දැක දකුණේ දේශපාලනඥයො කුරුන්දිය දේශපාලන නාටකයක් ලෙස දැකීම ජාතියට කරන ද්‍රෝහිකමක්. කුරුන්දියෙන් වාසි ගන්න හදන්නෙ එහෙම කියන අය. ඔවුන් බලයට පත් වුණොත් කුරුන්දියට මොනවා වෙයිද? ජාතිය, ආගම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ හඬක් නඟන චන්න ජයසුමන මන්ත්‍රීවරයා අවසානයේ පැනයක් ඉතිරි කළේය.

2018 වර්ෂයේ මැයි මස 16 වැනිදා ගල්ගමුවේ සන්තබෝධි හිමි කුරුන්දිය සොයාගෙන ගිය දවසෙ සිට එම පුදබිම හින්දු කෝවිලක් බවට පත් කිරීමට දෙමළ අන්තවාදීන් දරන වෙහෙස ගැන අප හොඳින් දැනුවත්ය. අන්‍ය ආගමික කොලණි මැද කුරුන්දි බෞද්ධ පුදබිම ආරක්‍ෂා කරගැනීමට උතුරු පළාත් ප්‍රධාන සංඝ නායක ගල්ගමුවේ සන්තබෝධි හාමුදුරුවන් දරන වෙහෙස මහන්සිය ගැන ද අප දැනුවත්ය. එවැනි එඩිබල ස්වාමීන්වහන්සේ නමක් වැඩ නොසිටින්න කුරුන්දිය අහිගුණ්ඨික අන්තවාදීහු කොල්ලකාගෙන හමාරය. එහෙව් අන්තවාදයක් ක්‍රියාත්මක වන උතුරේ කුරුන්දි පුදබිම සම්බන්ධයෙන් දේශපාලන බලය ලබාගැනීම උදෙසා උරුමයක් නැති කරුමක්කාර සිංහල දේශපාලනඥයන් කියන කතා කණ වැකෙනවිට ලේ ධාතු කකියවන තරම්ය. එහෙත් ඒ සම්බන්ධයෙන් උතුරු පළාත් ප්‍රධාන සංඝ නායක ගල්ගමුවේ සන්තබෝධි හාමුදුරුවෝ මෙසේ අදහස් ප්‍රකාශ කළහ.

“කුරුන්දිය දේශපාලන නාටකයක් කරගෙන අපි සල්ලි ගරනවා කියලා සමහර සිංහල දේශපාලනඥයින් මාධ්‍ය ඔස්සේ විවිධ මත ඉදිරිපත් කරනවා. සිංහල බෞද්ධ වුණත් දේශපාලන බලය ඉදිරියේ අන්ද වෙලා ඉන්න ඒ දේශපාලනඥයන් ගැන අපට තියෙන්නෙ අනුකම්පාවක්. ඒ වගේම කුරුන්දි පුරාවිද්‍යා කටයුතු සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන්ගෙන් ලැබෙන සහයෝගය අතිශය අල්පයි. ඇතැම් රාජ්‍ය ආයතනවල ඉහළ නිලධාරීන් රාජකාරියෙන් ඔබ්බට ගිහින් කුරුන්දිය සම්බන්ධයෙන් විරෝධය ප්‍රකාශ කරනවා. කුරුන්දි පුරාවිද්‍යා රක්‍ෂිතය මනිනවට විරුද්ධයි කියලා දිස්ත්‍රික් සංවර්ධන කමිටුව ප්‍රසිද්ධියේ කියලා තියෙනවා. අන්තවාදී කණ්ඩායම්වලට කුරුන්දි පන්සලට ඇතුළු වෙලා උත්සව පවත්වන්න, උද්ඝෝෂණ කරන්න නීතියෙනුත් ඉඩකඩක් හදලා තියෙනවා. ඒ අවසරයෙන් තමයි අන්තවාදී පිරිස් කුරුන්දිය සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති කරන්නේ. ඒ හිඩැස වහන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට, බුද්ධ ශාසන අමාත්‍යාංශයට, නීතිපති දෙපාර්තමේන්තුවට පුළුවන්. ඒ අඩුපාඩු ටික ඉක්මනින් සම්පූර්ණ කර දෙන්න කියලා එම ආයතනවලින් මම ඉල්ලා සිටිනවා. එහෙම වුණොත් ජාති, ආගම් බේද ගැටලුවකින් තොරව කුරුන්දියේ ප්‍රතිසංස්කරණ වැඩ කරගෙන යෑමට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම සාමාන්‍ය දෙමළ ජනතාව කුරුන්දි විහාරයත් සමඟ අතිශය සමීපව කටයුතු කරගෙන යනවා. පන්සලට ඇවිත් වැඳුම්, පිදුම් කරනවා. සිංහල ජනතාව සමඟ සහයෝගයෙන් ජීවත් වෙන්න ඒ මිනිස්සු කැමැතියි…” උතුරු පළාත් ප්‍රධාන සංඝ නායක හාමුදුරුවන්ගේ අදහස් දැක්වීම අවසානයේ පෙළගැසෙන කතාවට මේ කෙටි වචන කිහිපය ද එකතු කර තැබීමට අපි අදහස් කළෙමු.

කුරුන්දි බෞද්ධ පුද බිමේ සංරක්‍ෂණය කර ඇත්තේ ලෝකයේ සොයාගෙන ඇති විශාලතම පද්මාකාර එකම චෛත්‍යවහන්සේ ය. විශාලතම කබොක් සෑය යි. එමෙන්ම කැණීම් අතරතුර සෙල් ලිපි දෙකක් සොයාගෙන තිබේ. එම සෙල් ලිපි දෙකම සිංහල භාෂාවෙන් ලියැවී තිබීම ද විශේෂය. කුරුන්දි පරිශ්‍රය තුළ විහාර සංකීර්ණ කිහිපයක් දක්නට ලැබේ. දැනට කැණීම් කර ඇති ස්ථානවලින් හමු වී ඇති නටබුන්වලට අනුව පසු කලෙක කුරුන්දියේ මහායාන බුදුදහම ඇදහූ භික්‍ෂූන්වහන්සේ වැඩ සිටි බවට ද සාක්‍ෂි හමු වේ. කැණීම් කරගෙන යන අතරතුර එම පුරාවිද්‍යා භූමිය තවත් පුළුල් කිරීමට අවශ්‍ය බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. අක්කර 420 ක් පුරාවට කුරුන්දි පුදබිමේ බෞද්ධ නටබුන් විසිරී ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිගමනය කර තිබේ. ඇස් පනා පිට එවැනි බෞද්ධ ඉතිහාසයක් ඉස්මතු වෙමින් තිබියදී, කුරුන්දිය හින්දු ජනතාවගේ බූදලයක් යැයි කොල්ලකෑමට වළිකන දෙමළ අන්තවාදීන් ඉදිරියේ ඇස්, කන් පියාගෙන බලා සිටීමට තරම් සිංහලයන් නිවට ජාතියක් නොවන බව අපගේ විශ්වාසයි.

එමෙන්ම කුරුන්දි විහාරය යනු නිදහසින් පසු, අපේ යුගයේ ප්‍රතිසංස්කරණය වන ප්‍රධානතම බෞද්ධ උරුමයකි. ජාතීන් අතර සංහිඳියාව වර්ධනය කරන ප්‍රධාන ආගමික මධ්‍යස්ථානයකි. එහෙයින් කුරුන්දි බොදු පුදබිම ගොඩනැංවීමට හැකි පමණින් බෞද්ධ, අබෞද්ධ සියලු පින්වතුන් සම්මාදම් වෙන්නැයි අපි මතක් කර සිටිමු. එමෙන්ම මේ පින්බිම වැඳ පුදාගැනීමට මෙරට මෙන්ම ලෝකවාසී ජනතාවට පැමිණෙන්නැයි බැතිබර සිතින් ඇරැයුම් කරමු.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment