කුරුන්දි විහාරය සමස්ත ජාතියේම උරුමයකි

767

ජාතික ශාසනික සාමාජික වශයෙන් අති උදාර සේවාවන් රාශියක් සිදු කළ කලුවාදේවගේ සිරිල් මැතිව් මහතා වැනි දේශහිතෛෂී ජාතික නායකයන් සිහියට නැගෙන්නේ ඔහු විසින් රචිත ‘සිහලුනි නැගිටිව් බුදු සසුන බේරාගනිව්’ කෘතිය ගැන යළි කතාබහක් ඇතිව තිබෙන නිසාය. මෙම කෘතිය 80 දශකයේදී උණු කැවුම් මෙන් අලෙවි වී ගියේය. මුලතිව් නාගචෝල කුරුන්දි විහාරයේ ඉඩම් ප්‍රමාණය ගැන විවාදාත්මක තත්ත්වයක් පසුගියදා මතුවූ නිසා එදා සිරිල් මැතිව් මහතා උතුර නැගෙනහිර බෞද්ධ උරුමය ආරක්ෂා කිරීම වෙනුවෙන් නොබියව ක්‍රියා කළ ආකාරය මෙනෙහි විය. එවක ත්‍රස්ත ග්‍රහණයේ පැවති පුරාවිද්‍යාත්මක සාධක මගින් සොයාගත් නටබුන් වූ උතුරු නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන 261 ක් පිළිබඳ තොරතුරු 1983 ජුලි 20 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට හැන්සාඩ්ගත කරනු ලැබුවේ කැලණිය නියෝජනය කළ මේ මහජන නියෝජිතයා විසිනි. එමෙන්ම උතුරු නැගෙනහිර බෞද්ධ උරුමය පිළිබඳව 1983 ඔක්තෝබර් මස 20 වැනි දින එක්සත් ජාතීන්ගේ සංවිධානයට අභියාචනා පතක් ඉදිරිපත් කළේ එතුමා විසිනි. ජේ. ආර්. ජයවර්ධන ජනපති සමයේ කර්මාන්ත හා විද්‍යා කටයුතු පිළිබඳ ඇමැතිවරයා වූ ඔහු සේරුවිල, දීඝවාපිය, තිරියාය ආදී පූජා නගර මෙන්ම කැලණිය පුද බිමද සංවර්ධනය කිරීමෙහිලා පුරෝගාමී විය. පසුකාලීනව ජේ. ආර්. ජනපතිගේ ක්‍රියාමාර්ගත් ආණ්ඩුව තුළ වූ මත ගැටුමක් නිසා කලකිරී සිටි සිරිල් මැතිව් මාධ්‍ය හමුවේ නිහඬ පිළිවෙතක් අනුගමනය කළේය. පොල්හේන විෂ වෙද රෝහලේ පැවැති සර්ප ප්‍රදර්ශනයකදී ඔහු පිළිගන්නා ලද්දේ සුදු නාගයකු මල් මාලයක් සේ ගෙලෙහි පැළඳ වීමෙනි. එදින ‘ජේ. ආර්. ගේ කැබිනට්ටුවේ ඉන්නවාට වඩා සර්පයන් එක්ක ඉන්න එක ඇඟට ගුණයි’ යනුවෙන් ප්‍රකාශ කර තිබුණේ සිය කලකිරීම රටට හෙළිකරන්නට විය හැක. මෙයින් පසු ජනපති ජයවර්ධනට විරෝධය පළ කරමින් ද සිරිල් මැතිව්ට ප්‍රසාදය පළ කරමින්ද සිය ගණන් බැනර් රටපුරා එසවිණි.

කුරුන්දි විහාරය සමස්ත ජාතියේම උරුමයකි

කවරක් නමුත් මුලතිව් ඓතිහාසික කුරුන්දි නොහොත් කුරුඳුමලෙයි විහාර භූමියට අයිති නැති අවට භූමියේ ඉඩම් සාමාන්‍ය ජනතාවට බෙදා දෙන ලෙසට ජනාධිපතිතුමන් විසින් දෙන ලද නියෝගයක් සම්බන්ධයෙන් පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද නාහිමියන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබුණේ මීට සතියකට පමණ පෙරදීය. කුරුන්දි විහාරයට අයිති නැති ඉඩම් මහජනතාවට පවරදීම සඳහා නියමයක් කර ඇති බවට මාධ්‍ය මගින් දැනගත් බවත් කුරුන්දි විහාරය අවට භූමියේ බොහෝ තැන්වල විවිධ බෞද්ධ ආරාමවල නටබුන් විසිරී ඇති නිසා මෙම ඉඩම් ආවාට ගියාට බෙදාදීම සුදුසු නැති බවත් ලිපියෙහි සඳහන් කර තිබිණි. එසේම බෞද්ධ ආරාමයක් අසල ජාතිවාදී අරගලවලට සහය දෙන උදවියට ඉඩම් ලබාදීම ද සුදුසු නැති බවත් මෙයින් බලාපොරොත්තූ වී ඇත්තේ බෞද්ධ නටබුන් අසල ජාතිවාදීන්ට ජනපද ඇතිකර දීමක් බවත් උන්වහන්සේගේ ලිපියේ සඳහන් කර තිබිණි. මේධානන්ද නාහිමියන්ගේ ලිපියට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මුලතිව් කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් වෙනත් අයට පවරාදීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව ප්‍රකාශ කර තිබිණි. එසේම නාහිමියන්ට පිළිතුරු ලිපියක් ලියමින් ඒකනායක මහතා ප්‍රකාශ කර තිබුණේ කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් වෙනත් අයට පවරා දීමට කිසිදු තීරණයක් ගෙන නොමැති අතර 1985 වර්ෂය වන විට වනාන්තර හා වනජීවී කලාප වශයෙන් පැවැති ඉඩම් ඒ ආකාරයෙන්ම ආරක්ෂා කිරීමට කටයුතු කරන බවයි. එසේම කුරුන්දි විහාරය අවට කුඹුරු ඉඩම් කිහිපයක් සම්බන්ධයෙන් මතුවී ඇති ප්‍රශ්නය පිළිබඳව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මුලතිව් දිස්ත්‍රික් ලේකම්වරයාට හා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී ඇති බවද එහි සදහන් විය.

සද්ධාතිස්ස රජුගේ පුතකු වූ ඛල්ලාඨනාග රජු විසින් ගොඩනගනු ලැබූ බව පැවසෙන කුරුන්දි විහාරය ශ්‍රී ලංකාවේ උතුරු පළාතෙන් හමුවූ විශාලතම බෞද්ධ විහාර සංකීර්ණයයි. ප්‍රසිද්ධ අට්ඨ කථාවක් වන කුරුන්දි අටුවාව රචනා කරනු ලැබ ඇත්තේද මෙම විහාරයේ වැඩ වාසය කළ හිමිනමක් විසිනැයි ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වේ. වසර 800 කට පමණ පෙර කාලිංග මාඝ ආක්‍රමණයෙන් වැළලී ගොස් තිබියදී මෑතකදී මතු කරගනු ලැබූ උතුරේ බෞද්ධ උරුමයක් වූ මුලතිව් නාගචෝල කුරුන්දි විහාරය බෞද්ධයන් ඇතුළු සියලු ජනතාවට වැඳ පුදා ගැනීම සඳහා අවස්ථාව උදාවූයේ පසුගිය වසරේ පෙබරවාරි මාසයේ සිටය. මේ අතීත උරුමය යළි නගා සිටුවීම පිළිබඳව උතුරේ ජාතිවාදී දේශපාලකයෝ විශේෂයෙන්ම දෙමළ සන්ධානය කොහෙත්ම කැමති නොවීය. හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමයේ නම් දෙමළ සන්ධානයට මේ ඉඩම් ගැන කතා කිරීමට අවස්ථාවක් හෝ ලබා දී තිබුණේ නැත. එහෙත් දැන් දෙමළ සන්ධානයට ජනපති ලේකම් කාර්යාලයේ වාඩිලාගෙන මේවා ගැන ප්‍රශ්න කිරීමට අවස්ථාව උදාවී ඇත. ක්‍රිස්තියානි ආගමික ඒබ්‍රහම් සුමන්තිරන් හා මඩකලපුව මන්ත්‍රී ශානක්‍යා රාසමානිකම් මේවා ගැන පුරාවිද්‍යා කොමසාරිස්ගෙන් ප්‍රශ්න කරන්නට එඩිතර වී තිබේ. එදා අරගලයට සම්බන්ධව සිටි සමහර භික්ෂුන්ද දැන් උතුරේ පුරාවස්තු ගැන කතා කරති. උතුරේ බෞද්ධ උරුමය රැකි නායකයා එලවා දැමීමට ගාලුමුවදොර ගිය මේ අය දැන් බෞද්ධ උරුමය ගැන කලබල වී ඇත. ලජ්ජා නැත්තේ කාටදැයි නොදනිමි.

1905 වසරේදී නිකුත් වූ පුරා විද්‍යා වාර්තාවට අනුව කුරුන්දාවශෝක විහාරයේ කියවිය හැකි සෙල්ලිපියක් තිබූ බවට තොරතුරු වාර්තා වේ. තුන්වන මිහිඳු රජු විසින් කරවන ලද එම සෙල්ලිපියේ කුරුන්දක විහාරය පිළිබඳව පූර්ණ විස්තරයක් සඳහන් බව පවසන පුරාවිද්‍යා වාර්තාව එකල මේ පළාත කුරුන්ගම වශයෙන් සඳහන්ව තිබූ බවද පෙන්වා දෙයි. කුරුන්ගම වැවේ ජලය සම්බන්ධයෙන් ඇතිවූ ප්‍රශ්නයක් සංසිඳුවීම පිණිස තුන්වන මිහිඳු රජු සිය බිසව හා දියණිය සමග කුරුන්ගමට පැමිණි අවස්ථාවේදී එම සෙල්ලිපිය කර වූ බවත් එහි අක්ෂර හා යෙදුම්වල දෝෂ කීපයක්ම සෙල්ලිපිය පිහිටුවන අවස්ථාවේ සිදු වුවත් ඒවා නිවැරදි නොකරන ලෙස නියෝග කළ බවත් 1905 දී නිකුත් වූ පුරාවිද්‍යා පාලන වාර්තාවේ සඳහන් වෙයි. කුරුඳුමලේ විහාරයේ නටබුන් සම්බන්ධයෙන් යටත් විජිත යුගයේ සිටි සිවිල් නිලධාරීන් වූ හෙන්රි පාකර් හා ජේ. පී. ලෙවිස් යන දෙදෙනා බොහෝ අදහස් දක්වා තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1933 මැයි මස 12 දින විශේෂ ගැසට් පත්‍රයක් මගින් අක්කර 78ක භූමි ප්‍රදේශයක් පුරාවිද්‍යා රක්ෂිත ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කොට තිබේ.

ඇත්තෙන්ම මීට පෙර හමුව නැති පද්මාකාර හැඩයෙන් යුත් කබොක් ගලින් නිම කරන ලද කුරුඳු විහාරයීය දාගැබ අක්කර 75ක් වන භූමියක ස්ථාපිත ය.

ජනප්‍රවාදවලට අනුව බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ලංකා ගමනය වූ නාගදීපයට වැඩම කළ අවස්ථාවේ දී කුරුඳුමලේ විහාරය පිහිටි කඳු සහිත භූමියට වැඩම කොට ඇත. ඛල්ලාඨනාග රජු විසින් ක්‍රි.ව. 100 -103 අතර කාලයේ දී කුරුන්දාවශෝක විහාරය තනා ඇති බවට පුරාවිද්‍යා සාක්ෂ්‍ය තිබෙන බව පුරා විද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියෝ පවසති. කුරුන්දාවශෝක විහාරය කුරුන්දපාසක විහාරය නමින් ද මහා වංශයේ සඳහන් වන බවත්, පසුකලෙක පළමුවැනි අග්බෝ රජු හා පළමුවැනි විජයබාහු රජු එහි සංවර්ධන කටයුතු සිදු කර ඇති බවත් උන් වහන්සේ පවසති. අඩි 68ක් දිගකින් හා අඩි 64ක් පළලකින් යුක්ත ප්‍රාකාරයකින් වට වූ ස්තූපයේ උස අඩි 45කි. එහි විෂ්කම්භය අඩි 42කි. මේ සිද්ධස්ථානයට පිළිම ගෙයක්, උපෝසථාගාරයක්, සඳකඩපහණ ආදිය ඇතුළත් වන අතර, ජල අවශ්‍යතා සපුරා ගැනීම පිණිස පහළින් පිහිටි වැවට අමතරව කඳු මුදුනේ විශාල පොකුණක් ද ඉදි කර තිබේ. සිවුවැනි උදය රජතුමා විසින් මේ සම්බන්ධව සොයා බැලූ බවට පැරැණි සාධක තිබෙන අතර ක්‍රිස්තු පූර්ව යුගයේ සිට ක්‍රිස්තු වර්ෂ 10 හෝ 11 පමණ දක්වා සංවර්ධනය වෙමින් පැවති ආගමික ස්ථානයක් ලෙස කුරින්දි විහාරය හඳුන්වා දිය හැකි ය. මේධානන්ද හිමියන්ගේ මතයට අනුව අටුවා ලියන සමයේ කුරින්දි අටුවාව ලියූ ස්ථානය කුරුන්දි විහාරය ලෙසින් හඳුන්වා ඇත. මෙහි රහතන් වහන්සේ මෙන්ම ත්‍රිපිටකධර ස්වාමීන් වහන්සේ වැඩ සිටි ස්ථානයක් බවට බොහෝ සාධක ඇති බව ද උන් වහන්සේ පවසති.

ඇත්තෙන්ම කුරුන්දි රාජමහා විහාරාධිපති ගල්ගමුවේ ශාන්තබෝධි හිමියන් පවසන්නේ කුරුන්දි යනු සමස්ත ජනතාවගේ ම උරුමයක් බවයි. එය රැකගැනීම වෙනුවෙන් උන්වහන්සේ සුවිශේෂී කාරයභාරයක් සිදුකර ඇති බව නොරහසකි. එකම පස් කන්දක් ලෙස පවතින කබොක් චෛත්‍යය ජගත් සුමතිපාල මහතාගේ මහතාගේ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ද ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක බළකායේද සහයෝගය ඇතිව ඉස්මතු කරගැනීමට ශාන්තබෝධි හිමිපාණන් වහන්සේ දැඩි කැපවීමකින් කටයුතු කළහ. එය ඉදිරි පරම්පරාවට සුරක්ෂිත කර දීමට සමස්ත බෞද්ධ ජනයාම එක්විය යුතු කාලය එළඹ ඇත. කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් විසින් මෙම විහාර පරිශ්‍රය බර අවි ස්ථානගත කිරීම සඳහා කලකට පෙර යොදාගනු ලැබූ බව හෙළිව තිබේ. නමුත් දැන් බර අවි නොව නියම බෞද්ධ උරුමය මතුවී තිබේ. එය දෙමළ ජාතිවාදීන්ට යට කිරීමට ඉඩ නොලැබේ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment