ඉන්ධන ලබාගත හැකි ස්ථාන හා ඒවායේ ඇති ඉන්ධන වර්ග පහසුවෙන් දැන ගන්න ක්‍රමයක්

4423

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (අයිසීටීඒ) විසින් ඉන්ධන ලබාගත හැකි ස්ථාන හා ඒවායේ ඇති ඉන්ධන වර්ග පහසුවෙන් දැනගත හැකි ක්‍රමවේදයක් හඳුන්වාදී ඇත.

මෙමගින් ඉන්ධන ඇති පිරවුම්හල්, ඒවායේ ඇති ඉන්ධන වර්ග සහ ඒ ඒ ඉන්ධන ප්‍රමාණ ද දැනගත හැකිවේ. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් දියත් කෙරෙන මෙම ඉන්ධන කළමනාකරණ පද්ධතියෙන් දිවයින පුරා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු පිළිබඳ තොරතුරු වඩාත් පහසුවෙන් කළමනාකරණය කිරීම සහ එම තොරතුරු මහජනතාවට පහසුවෙන් දැන ගැනීමට ඉඩකඩ සලසාදීමත් අරමුණ වී ඇත.

එමගින් ඉන්ධනහල් අසල අනවශ්‍ය පෝළිම් ඇතිවීම මෙන්ම පාරිභෝගිකයන්ගේ කාලය ඉතුරු කරගැනීමට ද හැකිවනු ඇති බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති ජයන්ත ද සිල්වා මහතා ප්‍රකාශ කරයි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ සහයෝගිතාවෙන් ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන මහජනතාව මුහුණ දෙන කරදර සහ බර ලිහිල් කිරීම සඳහා කාලෝචිත පියවරක් බව ද ඔහු පෙන්වා දෙයි.

පළමු අදියරේදී, දිනපතා උදෑසන ඉන්ධන පිටත්කර යැවීම පිළිබඳ තොරතුරු, ඉන්ධන පිරවුම්හල් විස්තර, පිටත් කර යවන ලද ඉන්ධන ප්‍රමාණය සහ තොග තිබේද යන තොරතුරු මෙම වෙබ් අඩවිය මගින් යාවත්කාලීන කෙරේ. එම තොරතුරු දැන ගැනීමට, මෙැකගටදඩගකන වෙබ් අඩවියට පිවිස තමාට ඉන්ධන ලබාගැනීමට බලාපොරොත්තු වන නගරයේ නම ඇතුළත් කළ යුතුය. එහිදී එම පිරවුම්හලේ ඇති ඉන්ධන වර්ග, ප්‍රමාණය, බවුසරයක් පිටත්වී ඇත්නම් ඒ පිළිබඳ විස්තර ද ලබා ගත හැකිය. එමෙන්ම ජංගම දුරකථනයක් හරහා දුරකථන අංක 1919 ට එස්එම්එස් පණිවිඩයක් යැවීම මගින්ද ප්‍රවේශ විය හැකියි. ඒ සඳහා පළමුව වෙබ් අඩවියට පිවිස අදාළ ඉන්ධන පිරවුම්හලෙහි කේත අංකය ලබාගත යුතුය.

එස්එම්එස් මගින් ඉන්ධන ලබා ගැනීමේ හැකියාව පිළිබඳ තොරතුරු රැසක් ලබාගත හැකිය. ඒවා නම් ඉන්ධන පිරවුම්හලේ නම, ඉන්ධන පිරවුම්හලේ දුරකථන අංකය, පවතින ඉන්ධන ධාරිතාව, ඔක්ටේන් 92 පෙට්‍රල් ධාරිතාව, ඔක්ටේන් 95 පෙට්‍රල් ධාරිතාව, ඩීසල් ධාරිතාව, සුපර් ඩීසල් ධාරිතාව, භූමිතෙල් ධාරිතාව, බවුසරය පිටත්වූ දිනය හා වේලාව සහ අවසන් වරට යාවත්කාලීන කළ දිනය සහ වේලාව යන තොරතුරු වේ.

මෙම පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ දෙවන අදියරේදී සාමාන්‍ය ජනතාවට ටෝකන් පත් නිකුත් කිරීමට ඉන්ධන පිරවුම්හල්වලට හැකි වේ. එමෙන්ම මහජනතාවට තොරතුරු යාවත්කාලීන කිරීමට ද දායක විය හැකිය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment