ජනතාව ගැන සිතා සියලු විපක්‍ෂ මන්ත්‍රීවරුන් විශ්වාස භංගයට ඡන්දය දෙන්න – පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය

97

සමහර ඇමැතිවරු නීතිය අතට ගෙන පිස්සු නටද්දී පොලිසිය නිද්‍රාශීලීව බලා සිටිනවා – බියගම සජබ සම සංවිධායිකා නිරෝෂා අතුකෝරළ

සෞඛ්‍ය ඇමැතිවරයාට එරෙහි විශ්වාස භංගයේදී ජනතාව ගැන සිතා පක්‍ෂ, පාට භේදයෙන් තොරව ඊට සහාය ලබාදීමට සියලු විපක්‍ෂ මන්ත්‍රීවරුන් පියවර ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය මහතා පැවසීය.

රටේ ආන්දෝලනාත්මක ප්‍රශ්නයක් බවට පත්ව ඇති සෞඛ්‍ය සම්බන්ධ ගැටලුවේදී ජනතාවට දැඩි පීඩාවන් එල්ල වී ඇති මෙවන් තත්ත්වයකදී මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට පිවිසීමට වරම් ලබාදුන් ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටුකිරීම මන්ත්‍රීවරුන්ගේ වගකීම විය යුතු බවද ඒ මහතා ඊයේ (20 දා) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

පක්ෂය හැර නොගොස් යම් යම් ප්‍රකාශ කළ පමණින් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට විනය පරීක්‍ෂණ සිදු කළ නොහැකි බවත්, රජයට සම්බන්ධ වී කිසිවකු කටයුතු කළහොත් ඇමැතිකම් ගතහොත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තරාතිරම නොබලා විනය පරීක්‍ෂණ සිදු කරනු ඇතැයිද පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය මහතා වැඩිදුරටත් පැවසීය.

රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා නොදී ජනාධිපතිවරයා ‘විවිධ මාතෘකා’ ගෙන එමින් ජනතාව නොමඟ යැවීම සඳහා ‘රංගනයන්’ ගෙන හැර දක්වමින් සිටින බව බියගම සමගි ජන බලවේගයේ සම සංවිධායක පළාත් සභා මන්ත්‍රී නිරෝෂා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය.

ජනාධිපතිවරයාගේ අනන්‍යතාවයද ගිලිහී යෑම නිසා දැන් තමන් විසින්ම තමන් ‘රනිල් රාජපක්ෂ’ නොවන බව පවසමින් සිටින බවත්, අදාළ සන්ධාන නියෝජිත හමුවේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ඒ බව ඔප්පු කළ බවද ඊයේ (20 දා) පැවති මාධ්‍ය හමුවකදී ඇය සඳහන් කර සිටියාය.

සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ක්‍රියා කලාපය සහ කතාව ලැජ්ජා සහගත බවත්, ඔහු පාර්ලිමේන්තුවේදී පැවසූ ‘රෝහල් ළඟ මිනීපෙට්ටි සාප්පු කතාව’ සෞඛ්‍ය සේවයේ කඩාවැටීම ඇමැතිවරයා විසින්ම පෙන්වා දීමක් යැයිද කියා සිටි ඇය ඒ පිළිබඳව සෞඛ්‍ය ඇමැතිවරයා ජනතාවගෙන් සමාව අයදිය යුතු බවද කියා සිටියාය.

රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ඇති ඇමැතිවරු අද ‘ජෝකර්ලා’ තත්ත්වයට පත්ව ඇති බවත්, ඇතැම් ඇමැතිවරු නීතිය අතට ගෙන පිස්සු නටද්දී පොලිසිය නිද්‍රාශීලීව බලා සිටින බවද ඇය පැවසුවාය.

රටේ අප්‍රමාණ වූ දූෂණ ක්‍රියාවන්හි නිරත වූ කිසිම ඇමැතිවරයකුට, මන්ත්‍රීවරයකුට මේ දක්වා නීතියක් ක්‍රියාත්මකව නැති බවත් කියා සිටි නිරෝෂා අතුකෝරළ මහත්මිය, ආණ්ඩුවම කෝළම් මඩුවක් බවට පත්ව තිබියදී ජනතාවගේ මන්දපෝෂණය ඉහළ යමින් පැවතීම විශාල ප්‍රශ්නයක්ව පැවතියත්, ජනතාවගේ තුන්වේල කෑම වේලට දෙකට සීමාවී ඇතැයිද වැඩිදුරටත් කියා සිටියාය.

advertistmentadvertistment
advertistmentadvertistment