පාස්කු ප්‍රහාරයේ සැබෑ වැරදිකරුවන් නීතිය හමුවට ගේන්න – කතෝලික රදගුරු සමුළුවෙන් පාස්කු දින පණිවිඩයක්

35

මේ වනවිට අප රට මුහුණ පා සිටින අසීරු හා පීඩාකරී තත්ත්වයෙන් මිදීමට මෙම මොහොතේ දිව්‍යමය මැදිහත්වීමක් අවශ්‍ය වන බවත්, එහෙයින් මුහුණ දී සිටින මේ අනතුරු දායක තත්ත්වයෙන් මුදාලන ලෙස ඉල්ලා මෙම පාස්කු සමයේදී අපි උත්ථානවූ සමිඳානන් වහන්සේට ඉතා ඕනෑකමින් යාච්ඤා කරමු. යැයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව පාස්කු පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ සභාපති අතිඋතුම් දේවධර්මාචාර්ය හැරල්ඩ් ඇන්තනි පෙරේරා පියතුමන් හා එම සමුළුවේ ලේකම් අතිඋතුම් දේවධර්මාචාර්ය ජේ. ඩී. ඇන්තනි පියතුමාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම පණිවුඩයේ මෙසේද සඳහන් වෙයි.

මෙම වසරේ අප පාස්කු මංගල්‍යය සමරන්නේ සමාජයීය, ආර්ථික සහ දේශපාලනික වශයෙන් තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ සිටින අවස්ථාවකයි. අප ජනතාව මුහුණදෙමින් සිටින දැඩි දුෂ්කරතා සහ දුක්වේදනාවන්ට තිරසර විසඳුම් සෙවීමට නම් අපගේ පාලන ක්‍රමයේ ප්‍රබල වෙනසක් අවශ්‍ය වෙයි. ඒ සඳහා ක්‍රියාකිරීම සෑම පුරවැසියකුගේම වගකීමයි. අපගේ දයාබර මාතෘ භූමිය මින් පෙර කිසි කලෙක මෙවැනි දුෂ්කර තත්ත්වයන් අත්දැක නැත. මේ මොහොතේ අපට දිව්‍යමය මැදිහත්වීමක් අවශ්‍යය. එහෙයින් අප මුහුණ දී සිටින මෙම අනතුරුදායක තත්ත්වයෙන් අප මුදාලන ලෙස ඉල්ලා මෙම පාස්කු සමයේදී අපි උත්ථානවූ සමිඳාණන් වහන්සේට ඉතා ඕනෑකමින් යාච්ඤා කරමු.

මිනිසුන් 273 දෙනකු ඝාතනය කරමින් සහ තවත් 500කට අධික පිරිසකට තුවාල සිදුකරමින් 2019 දී කතෝලික සහ අනෙකුත් ක්‍රිස්තියානි දේවස්ථානයන්හි අහිංසක බැතිමතුන්ට සහ වෙනත් ස්ථානවල මිනිසුන්ට එල්ලවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට මෙම පාස්කු ඉරුදිනට වසර පහක් සපිරේ.

මෙම මරාගෙන මැරෙන ප්‍රහාර සිදුවී හරියට ම වසර පහක් ගතවී තිබුණත් මෙම ප්‍රහාර පිටුපස සිටිනවුන් පිළිබඳව විමර්ශනය කිරීමට රජය විසින් විවිධ කමිටු පත්කළ ද මේ පිළිබඳ සත්‍ය දැන ගැනීමට අපට තවමත් නොහැකිවී ඇති අතර, වින්දිතයන්ට යුක්තිය ඉටුවනතුරු තමවත් අපි බලා සිටිමු.

එම නිවේදනයේ තවදුරටත් මෙසේද සඳහන් වේ. “මේ දක්වාම බරපතළ රෝගී තත්ත්වයන් සමග පොරබදමින් සිටින හෝ තම ආදරණීයයන්ගේ වියෝව පිළිබඳව වැළපෙන සියල්ලන්ම හදවතට සමීපව තබා ගනිමින් යාච්ඤා කරන අතරම, යුක්තිය පිළිබඳව ජනතාවගේ නීත්‍යානුකූල බලාපොරොත්තු ඉටුවන පරිදි සැබෑ වරදකරුවන් නීතිය හමුවට ගෙන එන ලෙස අපි අප රටේ නායකයන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටිමු.

advertistmentadvertistment
advertistmentadvertistment