හයිද්‍රාබාද් – මුම්බායි අයිපීඑල් වාර්තා රැසක් බිඳ දමයි

179

අයි.පී.එල්. තරගයකදී කණ්ඩායමක් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අලුත් කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පෙරේදා (27 වැනිදා) සමත් වූයේය.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව නියමිත පන්දු වාර 20 අවසානයේදී ලකුණු 277 ක් ලබා ගනිමින් ඔවුන් එම දස්කම දැක්වීමට සමත් වූ අතර මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ 2013 වසරේ දී පූනේ වොරියස් කණ්ඩායමට එරෙහිව ලකුණු 263 ක් ලබා සිටි රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමයි.

එමෙන්ම පෙරේදා තරගයේදී කණ්ඩායම් දෙකම ලකුණු 523 ක් ලබා ගැනීමට සමත් වූ අතර මීට පෙර කිසිදු අයි.පී.එල්. තරගයකදී ලකුණු 500 ක් වාර්තා වී තිබුණේ නැත.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගය ලෙස එම තරගය පැවති අතර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදා ලකුණු 31 ක ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම එහිදී සමත් වූයේය.

වාර්තාගත හඹා යෑමක් සඳහා පිටියට පිවිසි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 246 ක් ලබා ගත්තේය.

එමෙන්ම මෙම තරගයේ දී කණ්ඩායම් දෙකේම පිතිකරුවන් හයේ පහර 38ක් එල්ල කළ අතර, එය ද අයි.පී.එල්. තරගයකදී හා විස්සයි 20 තරගයකදී වාර්තා වූ වැඩිම හයේ පහර සංඛ්‍යාවේ වාර්තාව බිඳ දැමීමක් ද වූයේය.

සන්රයිසස් ඉනිම වෙනුවෙන් වේගවත් ආරම්භයක් ලබා දුන් ට්‍රැවිස් හෙඩ් පන්දු 24 කින් ලකුණු 62 ක් ද, අංක 3 පිතිකරු අභිෂේක් ෂර්මා පන්දු 23 කින් ලකුණු 63ක් ද වාර්තා කළ අතර හෙන්රික් ක්ලාසන් නොදැවී ලකුණු 80ක් ලැබීය.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් තිලක් වර්මා ලකුණු 64ක්, ටිම් ඩේවිඩ් නොදැවී ලකුණු 42ක් රැස් කළේ ය.

advertistmentadvertistment
advertistmentadvertistment