මහියංගණ රෝහලේ ‘ඩයලයිසර් කිට්’ හිගයි – රුධිර කාන්දුපෙරණය නැවතී – වකුගඩු රෝගීන් ‘මරුවා සමග වාසේ’

133

ඌව පළාතේ වකුගඩු රෝගීන් වැඩි පිරිසක් රුධිර කාන්දුපෙරණය සිදු කර ගන්නා මහියංගණ මූලික රෝහලේ වකුගඩු රුධිර කාන්දුපෙරණ ඒකකයේ කටයුතු ඊයේ (27 දා) සිට සම්පූර්ණයෙන්ම නවතා දමන්නට සිදුව ඇති බව රෝහල් අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

වකුගඩු රෝගීන්ගේ රුධිරය පෙරීම සඳහා රෝගියා හා පෙරුම් යන්ත්‍රය වෙත සම්බන්ධ කර ගන්නා ‘ඩයලයිසර් කිට්’ නමැති උපාංගය මේ වන විට රෝහලේ දැඩි ලෙස හිඟ බැවින් රුධිර කාන්දු පෙරීම් නවතා දමන්නට එහි කාර්ය මණ්ඩලයට සිදුව ඇත.

මහවැලි සී කලාපයේ වකුගඩු රෝගීන් 200කට ආසන්න පිරිසක් සතිපතා මෙම රෝහලෙන් රුධිර කාන්දු පෙරණය සිදු කර ගන්නා අතර උපාංග නොමැති කමින් එම කාර්යය නවතා දමන්නට සිදුවීම නිසා රෝගීහු ජිවිත තර්ජනයකට මුහුණ පා සිටිති.

මහියංගණයට ආසන්න බදුල්ල මහ රෝහලේද මේ වන විට එම උපාංගයේ දැඩි හිඟයක් පවතී. අත්‍යවශ්‍ය රුධිර කාන්දු පෙරීම් සිදු කර ගැනීම සඳහා එම කොටස් මහියංගණයට ගෙන්වා ගැනීම ද අසීරු වී ඇත.

මෙම උපකරණ සපයන සමාගම් විසින් ශ්‍රී ලංකාවට ඒවා සැපයීම අඩාල කිරීම නිසා මෙරට රෝහල් රැසකම ඒවායේ දැඩි හිඟයක් ඇති බවට තොරතුරු හෙළිවේ. රට පුරා රෝහල්වල දැනට පවතින ‘ඩයලයිසර් කිට්’ ප්‍රමාණය සතියකට පමණ සෑහෙන බවට සෞඛ්‍ය අංශවලින් පවසයි.

මෙම ගැටලුවට කඩිනමින් විසඳුමක් ලබාදීමට වගකිවයුතු අංශ කටයුතු නොකළහොත් රට පුරා වකුගඩු රෝගීන්ට දැඩි ජිවිත තර්ජනයකට මුහුණ දීමට සිදු වනු ඇත.
මහියංගණය – රංජිත් කරුණාවීර

advertistmentadvertistment
advertistmentadvertistment