යුද්ධය කියන්නෙම අපරාධයක් කියූ රනිෂ් ගේ වයිරල් වන සංවාදය

මේ ගමන මං ආවේ මුදල් නිසා නම් නොවෙයි

අන් දේශයක යුද මෙහෙයුමකදී මිය යෑම යුද වීරයකු ගේ වීරත්වය, තේජස මවු බිමෙන් ඔබ්බට දිග් විජය කිරීමකි. මෑත යුගයේ එසේ මිය ගිය වීර යුද වීරයන් තිදෙනකු ගැන කතා බහට ලක්විණි. ඉන් එක් අයකු අපේ රටේ කපිතාන්වරයෙකි. ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කළ හිටපු කපිතාන්වරයකු වන රනිෂ් හේවගේ ය. අනෙක් දෙදෙනා ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ නාවික හමදාවේ සේවය කර ඇති රොඩ්නි ජයසිංහ සහ එම්. එම්. ප්‍රියන්ත රණවිරුවන් ය. බීබීසී වාර්තාවට අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ පළමු වැනි කමාන්ඩෝ රෙජිමේන්තුවේ කපිතාන්වරයකු ලෙස දොළොස් වසක් සේවය කළ රනිෂ් 2018 වසරේදී හමුදා සේවයෙන් විශ්‍රාම ගෙන හමුදා සේවයට සපුරා වෙනස් වෘත්තියක නියැළෙන්නට තීරණය කර තිබෙයි. ඔහු ඩුබායි බලා පිටත්ව ගියේ එරට පෞද්ගලික සමාගමක විධායක ශ්‍රේණියේ නිලධාරියකු ලෙස සේවය කරමින් සිටියදී ය. එහෙත් රුසියාව විසින් යුක්‍රේන සංහාරය දියත් කිරීමත් සමග රණශූරත්වය යළි අවදි විය. ඊට බලපෑ තවත් කරුණක් වූයේ රුසියාව විසින් කළ යුද අපරාධය. වැඩි වෙහෙසක් නො ගෙන රන්මසු ඉපයීමට හැකියාව තිබියදී 2022 පෙබරවාරියේදී ඇරැඹුණු රුසියානු – යුක්‍රේන යුද්ධයට ඔහු මාර්තු මාසයේදීම සම්බන්ධ විණි. යුක්‍රේන හමුදාවේ නිත්‍ය සාමාජිකයකු ලෙස සේවයට එක්වූ ඔහු විදේශ හමුදා ලීගයේ සාමාජිකයකු ලෙස විසි මසකට අධික කාලයක් සිය දායකත්වය ලබා දිණි. එරට හමුදාවේ ඔහු කෙතරම් ජනප්‍රිය වූවාද කිවහොත් ඩෙන්ටිස්ට් යන අනවර්ථ නාමයෙන් කා අතරත් ජනප්‍රිය විය. දෙසැම්බර් 4 වැනිදා අවාසනාවන්ත ලෙස මරණයට පත්වීමට පෙර යුක්‍රේන යුද පිටියේදී සය වරක් ම තුවාල ලැබී ය. එක් වරක් සතුරු වලල්ලෙන් ඔබ්බට ගොස් ඔහු පෑ වික්‍රමය හේතුවෙන් යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි ගේ සම්මානයට පාත්‍ර වූයේ යුක්‍රේන හමුදාවේ කපිතාන්වරයකු ලෙස උසස් වීමක් ද ලබමිනි. රුසියානු ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වෙන විට ඔහු විදේශ හමුදා ලීගයේ භට කණ්ඩායමේ වැඩ බලන අණ දෙන නිලධාරියා ලෙස සේවයේ නියැළිණි.

රනිෂ් හේවගේ ඇතුළු හමුදා විරුවන් දෙදෙනා ජීවිතක්ෂයට පත් කළ ඒ අවාසනාවන්ත සිදුවීම ඔහු සමග යුද මෙහෙයුම්වලට දායක වූ දැනට තුවාල ලබා සිටින අපේ හමුදාවේ කමාන්ඩෝ බළකායේ සාමාජිකයකු වූ හතුරුසිංහ නම් යුද විරුවා මෙසේ සිද්ධිය බීබීසි මාධ්‍ය ජාලයට වාර්තා කර තිබිණි. “මාත් කපිතාන් රනිෂ් හේවගේත් යුක්‍රේනයේ බක්මුත් (Bakhmut) ප්‍රදේශයේ සටනේ යෙදී සිටියා. එදා දෙසැම්බර් 04 වැනිදා රුසියානු ප්‍රහාරයකින් අපේ ලංකාවේ නාවික හමුදාවේ සේවය කළ කෙනෙක් මිය ගියා. එයාගේ සිරුර ගන්න විදියක් නො තිබුණු නිසා රනිෂ් සර් සමග අපි හතර දෙනෙක් (හතර දෙනාගේ කණ්ඩායමක්) සිරුර ගන්න ගියා. එහෙම යද්දී එල්ල වුණු ප්‍රහාරයකින් අපේ කෙනෙකුට තුවාල වුණා. ඔහුව ආරක්ෂිතව තියලා අපි තුන් දෙනා ඉස්සරහට ගියා. එහෙම යද්දි අපට අණ ලැබුණා තුවාල වුණු යුක්‍රේන හමුදා නිලධාරීන් තුන් දෙනෙක් පස්සට ගේන්න කියලා. මුලින්ම අපට එල්ලවුණු ආටි ප්‍රහාරයෙන් (කාල තුවක්කු)රොඩ්නි ජයසිංහ මිය ගියා. ඊළඟ ආටි එක මගේ ළඟට වැටුණා. මට තුවාල වුණා. මං අමාරුවෙන් නැගිටිද්දී තවත් ආටි ප්‍රහාර පහක් එල්ල වුණා. යුද පිටිය ගෙදර වගේ වුණත් අපත් කම්පනයට පත් වෙනවා. මේ වන විට අපේ සහෝදර සෙබළු හතර දෙනාගෙන් එක් කෙනෙක් තුවාල ලබලා. තවත් කෙනෙක් මැරිලා. මට තුවාල වෙලා. රනිෂ් සර් මං ළඟට එන්න හැදුවෙ මං ජීවතුන් අතර ඉන්නව ද බලන්න. එන්න හදද්දිම එල්ල වුණු ආටි ප්‍රහාරයෙන් සර් නැති වුණා. තුවාල තියෙද්දිත් මං බොහොම අමාරුවෙන් රනිෂ් සර්ගෙ සිරුර කිලෝමීටර් 15 ක් අපේ ලයින් එකේ පස්සට අරන් ආවා. ඒ අරන් ආවෙත් ආටි ප්‍රහාර එල්ල වෙද්දියි. සිරුර ආරක්ෂිත තැනක තියලා මං වෛද්‍ය ප්‍රතිකාර දෙන තැනකට ආවා.” හතුරුසිංහ රනිෂ් සර්ට සිය අවසන් යුතුකම එලෙසින් ඉටුකර තිබිණි. හතුරුසිංහ රණවිරුවා පවසන්නේ තවත් ශ්‍රී ලාංකේය හමුදා විරුවන් 12 දෙනකු යුක්‍රේන හමුදා භට කණ්ඩායමේ සේවයේ නියුතු වන බව ය. මේ වන විට මියගිය හිටපු කපිතාන්වරයකු වන ඇන්ඩෲ රනිෂ් හේවගේ, ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ නාවික හමුදාවේ සේවය කර ඇති රොඩ්නි ජයසිංහ සහ එම්. එම්. ප්‍රියන්ත රණවිරුවන් පිළිබඳ තොරතුරු තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනී හසන්ති දිසානායක මහත්මිය විසින් යුක්‍රේන තානාපති කාර්යාලයෙන් එක්රැස් කරමින් පවතියි. යුක්‍රේනයේ වෙසෙන ලාංකිකයන් සම්බන්ධ රාජතාන්ත්‍රික කටයුතු සොයා බලන්නේ තුර්කියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙනි. රනිෂ් හේවගේ ශ්‍රී ලාංකිකයා යුක්‍රේනයේ සිටි බවට තොරතුරු දත්ත පද්ධතියේ තිබුණ ද අන් සෙබළුන් ගැන තොරතුරු දත්ත පද්ධතියේ නැති බව පවසන තානාපතිනිය යුදමය වාතාවරණයකදී සියලු තොරතුරු එක්රැස් කිරීම අසීරු බව වැඩිදුරටත් පවසා තිබෙයි.

රුසියානු යුද හමුදා අපරාධ නිසා යුක්‍රේන යුද්ධයට එක් වූ රනිෂ් ජීවත්ව සිටි හැම මොහොතක ම යුක්තිය වෙනුවෙන් සටන් කළේ ය. යුද්ධයේ අවසානය පිළිබඳ කිව නො හැකි බව ද යුද්ධය නිමවී යුක්‍රේනයට යුක්තිය ඉටු වන තුරු තමන් ජීවත්ව සිටීවිද යන්න කිව නොහැකි අනියත දෙයක් බව ඔහු දැන සිටියේ ය. ඔහුත් සෙසු රණවිරුවනුත් නිසල දේහ ලෙස මවුබිමට ගෙන එනු ලබන්නේ මවුබිමට අමතරව යුක්‍රේනය වැනි විදෙස් රටක ද ගෞරවාදරයට ලක් වෙමිනි.

ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශ වාර්තාවන්ට අනුව කැප්ටන් ඩෙන්ටිස්ට් ලෙස යුක්‍රේනයේ ප්‍රකට ඇන්ඩෲ රනිෂ් හේවගේ කලක් ශ්‍රී ලංකා යුද හමුදා පාබල හමුදාවේ අධිකාරී සෙබළකු ලෙස සේවය කර තිබෙයි. ඔහු 2012 වසරේ සැප්තැම්බර් 30 වැනිදා ලුතිනන්වරයකු ලෙස හමුදා සේවයෙන් ඉවත් වී ඇත. ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවයට ගොස් ඇත්තේ ඉන් අනතුරුව ය.

කැප්ටන් ඩෙන්ටිස්ට් ලෙස ජනප්‍රිය වී සිටි රනිෂ් රුසියානු හමුදාවට සැබෑම හිසරදයක් වූවෙකි. කලක සිට ඔහු ඔවුන්ගේ ප්‍රධාන ඝාතන ඉලක්කයක් වී තිබිණි. රනිෂ් මරා දැමූ පුවත මුලින්ම පළ වූයේ ද රුසියානු ටෙලිග්‍රම් පණිවුඩයකය.

කපිතාන් රනිෂ් හේවගේ දෙසැම්බර් 4 වැනිදා යුක්‍රේන යුද පිටියේදී විරුවකු ලෙසින් අවසන් හුස්ම හෙළුවේය. ජීවිතයේ වැඩි කාලයක් යුද බිම නිවහන කර ගත් ඔහු “යුද්ධය කියන්නෙම අපරාධයක් ” කියන වටිනා පණිවුඩය ලොවට ගෙන එමින් සරෝජ් සමග සංදේශය යූ ටියුබ් නාලිකාවෙන් මාස අටකට පෙර කළ සංවාදය මේ දිනවල වයිරල් වන්නකි.

යුද්ධය කියන්නේ….

යුද අපරාධ නොව යුද්ධය කියන්නේම අපරාධයක්. යුක්‍රේන වැසියන්ට යුද්ධයක් ඕන වෙලා තිබුණෙ නැහැ. යුද්ධය පටන් ගත් අයමයි යුද්ධය නතර කරන්න ඕන.

මං යුද්ධයට එක් වන්නේ…

රුසියාවෙන් එල්ල වන අසාධාරණයට එරෙහිව යුක්‍රේන පොළොවට අඩිය තබන්නේ 2022 මාර්තු 22 වැනිදා. ඊට කලින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තාක්ෂණික ආයතනයක සාමාන්‍යාධිකාරවරයකු ලෙස සේවය කළා. එහේදි මට යුක්‍රේන හමුදා වැටුපට වඩා තෙගුණයක වැටුපක් ලැබුණා. මේ ගමන සල්ලි හින්දා ආව ගමනක් නෙවෙයි. යුද පිටියේ දරුණු අත්දැකීම් රැසක් ලබා තිබෙනවා. මගේ දකුණු උරහිස පසාරු කර ගෙන ගියා. ඒ පළමු තුවාලය. දෙවැනි තුවාලය හිසට වුණේ. මැහුම් හයක් දාන්න වුණා.

පපුවේ පැත්තක සිදුවූ තුවාලයට මැහුම් 16ක් දාන්න සිදුවුණා. දකුණු කකුලේ කලවෙන් එක් උණ්ඩයක් ඇතුළු වෙලා පිට වුණා. වම් කකුලේ වලලුකරේ සිට දණිස්ස ළඟට එනකං උණ්ඩ 16 ක් වැදිලා ඉවත් කරලා තියෙනවා. අවසාන තුවාලය වුණේ බෙල්ලට. උණ්ඩයක් ඇතුළට ගියා. ඒ උණ්ඩෙ ගැන හිතන කොට මගේ කතා කිරීමේ හැකියාවත් ජීවත් වීමත් පුදුමයක්.

පුද්ගලික දේශපාලන දර්ශනය –

රජයේ සේවකයෙක් විදියට පවතින රජයට සහාය දෙනවා. සක්‍රීය දේශපාලනයට සම්බන්ධ නැහැ. යුක්‍රේනයට එන්නේ දේශපාලනය නිසා නෙවෙයි. ඩුබායිවල සේවය කරද්දි ලබපු පෞද්ගලික අත්දැකීමක් බලපෑවා. මං යුද හමුදා ඇඳුමට හරිම ආදරෙයි. ඒත් කෙනකුගේ ඉල්ලීමක් නිසා ශ්‍රී ලංකා හමුදාවෙන් ඉවත් වෙනවා. වසර 12ක සේවා කාලය නිම කරලා 2018 සමු ගන්නවා. ඩුබායි සේවය කරද්දී යුක්‍රේන ජනපති විදෙස් සොල්දාදුවන්ට ආරාධනා කළ වීඩියෝව දැක්කා. යළි නිල ඇඳුම, මං කැමැතිම ඇඳුම ඇඳගෙන සේවය කරන්න හිතුණා. ඒ හිතුවිල්ල ක්‍රියාත්මක කළා. මං ගත්ත තීරණය නිවැරැදි බව ආවට පසු වැටහුණා. රුසියාවෙන් සිදුවන යුද අපරාධ දුටු විට අප වගේ අය සටන් බිමේ සිටිය යුතු බව සිතෙනවා. රටක ස්වාධීනත්වය මං හරිම අගය කරන දෙයක්.

රුසියානු සාහිත්‍යයේ සුන්දර මිනිසුන් සැබෑ රුසියාවේ නැහැ.

රුසියානු හමුදාව බිය ගැන්වූ ශ්‍රි ලංකාවේ රනීෂ්

මං රුසියානු සාහිත්‍යයට ඇලුම් කරන කෙනෙක්. ඒත් සාහිත්‍යයේ සුන්දරත්වය රුසියානු මිනිසුන් ගේ නැහැ. නිදා සිටින මිනිසුන් මරා දමනවා. පසු බහින සාමාන්‍ය ජනතාවට වෙඩි තියනවා. රුසියානු හමුදාව යුක්‍රේන කාන්තාවන් දූෂණය කරනවා. මං රුසියානු සාහිත්‍යයේ සොඳුරු චරිත දැක්කේ යුක්‍රේන වැසියන්ගෙන්. යුක්‍රේන වැසියන් රුසියාවේ යටත් විජිතයක් වෙන්න කැමැති නැහැ. එයාලා තමන්ගේ පාඩුවේ කාටවත් කරදරයක් නොවී ජීවත් වෙන අය.

★ හමුදාවට එක්වීම ගැන ලංකාවේ ප්‍රතිචාර ….

මගේ අම්මට මරණ තර්ජන පවා ඇවිත් තියෙනවා. මං බටහිරට කත් අදිනවා කියලා චෝදනා කරනවා.

පුටින් ගැන අදහස ..

පුටින් කියන්නෙ ලුතිනන් කෙනෙක්. මට එයා වීරයෙක්. ඒත් යුක්‍රේන සිදුවීමත් සමග එයා යකෙක් විදියට දකිනවා.

අමෙරිකාවේ මැදිහත් වීම….

මේක දේශපාලන ගැටලුවක්. යුක්‍රේනයට ඕන වුණේ නේටෝ සංවිධානයට සම්බන්ධ වෙන්න නො වෙයි. එයාලට අවශ්‍ය වුණේ යුරෝපීය සංගමයේ සාමාජිකත්වය ලබන්න. නමුත් අමෙරිකාව යුද්ධයට අවශ්‍ය පසුබිම සැකසුවා. ඒක අමෙරිකානු ගතිය.

රටවල් දෙකේම සිදුවීම් සමාලෝචනය කරනවා…

මං යුක්‍රේනය වෙනුවෙන් සටන් වැදුණත් රටවල් දෙකේම සිදුවීම් ගැන විමර්ශනයක යෙදෙනවා. බීබීසී, සීඑන්එන් වගේ බටහිර මාධ්‍යයේ අතිශයෝක්තියක් තිබෙනවා. හරියටම නිවැරැදි පුවත් වාර්තා කරන්නේ ජපානයේ එන්එච්කේ ආයතනය පමණයි. එයාලා චන්ද්‍රිකා ඡායාරූපවලින් දත්ත ලබා ගෙන නිවැරැදි පුවත රැගෙන එනවා. එවැනි පුවත් බැලූ විට යුද අපරාධ ගැන සැබෑවටම තේරෙනවා.

යුද කළ යුත්තේ මූණට මූණ….

රුසියාව නීති විරෝධී ද්‍රව්‍ය යුද්ධයේදී යොදා ගන්නවා. වයිට් පොස්පරස් වගේ දේවල් දෙවැනි ලෝක යුද්දෙන් පසු යුද කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම්. ඒත් මෙයාලා ජිනීවා වගේ සම්මුති සැලකිල්ලට නොගෙන වයිට් පොස්පරස් වගේ දේවල් වස්සනවා. වැටෙන වැටෙන තැන් ගිනි ගන්නවා. යුද්ධයකදී සිදුවිය යුත්තේ හමුදාවන් අතර මුහුණට මුහුණලා කෙරෙන සටනුයි. අහිංසක මිනිසුන්, වටිනා ගොඩනැගිලි විනාශ විය යුතු නැහැ.

★ මුල් තැන දෙන්නේ සිවිල් පුරවැසියන්ට…

මගේ කොල්ලො තුවාල වෙලා ඉන්නකොට එයාලා ගෙනියන්න ඉස්සෙල්ලා තුවාල වෙච්ච සිවිල් පුරවැසියකු ගෙනිච්චා. හමුදා වාහනේ සිවිල් වැසියන් රැගෙන යෑම වැරැදි නමුත් මං හිතන්නෙ අපේ මූලික වගකීම සිවිල් ජනතාව රැක ගැනීමයි. හැමෝටම ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. කෙනකුගේ ජීවිතය උදුර ගන්න තවත් කෙනකුට අයිතියක් නැහැ.

චම්පිකා දීපානි රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment