පාර්ලිමේන්තුව පමණක් නොව ඉන් පිටතට ද උණුසුම් කළ ආන්දෝලනාත්මක සතියක නිමාව දෙස බලන මෙරටේ සාමාන්‍ය ජනතාව තුළ වුව ද පහන් හැඟීමක් ඇති නොවන බව නිසැකය. ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ වැය ශිර්ෂය සම්බන්ධ විවාදය පාර්ලිමේන්තුවේදී ආරම්භ වනවිට, මෙරටේ කාන්තා හා ළමා හිංසනයට එරෙහිව විරෝධතාවක් පැවැත්වීමට ගිය ජාතික ජන බලවේගයේ කාන්තා බළඇණියකට පොලිසිය ජල ප්‍රහාර එල්ල කිරීම ආණ්ඩුවේ දේශපාලනයට වඩා සදාචාරය පිළිබඳ ප්‍රශ්න මතු කරන්නක් විය. ඒ විරෝධතාවට නායකත්ය දුන් පිරිස අතර ආචාර්ය හරිනි අමරසූරිය ද වූවාය. ජල ප්‍රහාරයට ලක්වීමට ඇයට ද සිදුවූ අතර ඇය එහිදී ප්‍රශ්න කර සිටියේ මේ කාන්තාවන් සුරකින රටක් ද කියාය. මේ ජල ප්‍රහාරය අලුතින් පත්ව ආ වැඩබලන පොලිස්පතිවරයාගේ මෙහෙයුමක් බව ද ඇය චෝදනා කර තිබිණි. කුමක් වුවත් පොලිසිය භාරව සිටින පොලිස්පතිවරයාට මෙන්ම පොලිස් ඇමැතිවරයාට ද මෙබඳු අවස්ථාවල දී එල්ල වන විවේචන හා චෝදනා සුළුපටු නැත.

රටක හැඳියාව සහ අභිමානය රඳා පවතින්නේ එරටේ කාන්තාවන්ට හා දරුවන්ට දක්වන සැලකිල්ල හා ගෞරවය අනුව බව ජගත් පූජිත නාට්‍යකරුවකු වන බර්ටොල්ඩ් බ්‍රෙෂ්ට් සඳහන් කර තිබේ. එහෙත් මෙරටේ ළමයින්ට හා කාන්තාවන්ට තිබෙන අනාරක්ෂිත බව කෙබඳුදැයි විස්තර කළ යුතු නැත. ලොව ප්‍රථම අගමැතිනිය පිළිබඳ සාඩම්බර වාර්තාව ශ්‍රී ලංකාවට හිමිවුවත් (සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ලොව ප්‍රථම අගමැතිනිය වූවාය.) අදත් කාන්තා හිංසනය කාන්තා හා ළමා අපයෝජන සම්බන්ධයෙන් අපට තිබෙන කුප්‍රකට කීර්තිය ද අඩුවක් නැත. ඉහළ යන ජීවන වියදමට විසඳුම් ඉල්ලා මහමඟට පැමිණි ඒ කාන්තාවන් නියෝජනය කරනු ලබන්නේ වරප්‍රසාද අහිමි මෙන්ම අන්ත පීඩාවට පත්ව සිටින මවුවරුන්, භාර්යාවත්, ගෙවිලියන් ඇතුළු විවිධ තරාතිරම්වල අයත් මෙරටේ බහුතර කාන්තාවෝය. සඳළුතලවල සාද සුවයෙන් නටන ගයන වරප්‍රසාද ලියන්ටත් එබඳුම සුකිරි බටිල්ලන්ටත් ජීවන බරක් නොදැනෙනු විය හැකිය. හිස් මිනිසුන් බස් දොඩවන බොජුන් මේසවල සිටින ලියන් මෙන් නොව බතක් නොඉදෙන පැල්පත්වල වසන ලියෝ ඒ දුක් වේදනා ඉඳුරා දන්නෝ වෙති. එහෙත් එබඳු විරෝධතා, උද්ඝෝෂණවලට ලැබෙන්නේ ජල ප්‍රහාර, කඳුළු ගෑස් ප්‍රහාර බව ඉතිහාසය ද සාක්ෂි දරයි.

මෙහිදී අපට සිහිවන්නේ එදත් එජාප පාලනය යටතේ විවියන් ගුණවර්ධන ඇතුළු කාන්තාවන්ට එල්ල වූ පොලිස් ප්‍රහාරයයි. (1977) එදා ඔවුන්ගේ සටන් පාඨය වූයේ ද “ළඳරුවන්ගේ කිරිපිටි මිල අඩු කරව්” යන්නය. අරලියගහ මැඳුර දෙසට ගමන් කළ පෙළපාලිය මැදට පනිමින් එල්ල කල ප්‍රහාරයෙන් විවියන් ඇතුළු කීපදෙනෙක්ම තුවාල වූ අතර, පසුව එය මූලික මිනිස් අයිතිවාසිකම් කඩකළ බව අධිකරණය තීන්දු කර තිබිණි. මෙහි උත්ප්‍රාසනීය සිද්ධිය වන්නේ වැරදිකරුවන් වූ පොලිස් නිලධාරීන්ගේ ගෙවීම් එජාප ආණ්ඩුව විසින් සිදු කිරීමත්, ඒ චූදිත නිලධාරීන්ට උසස්වීම ලබාදීමත්ය. එම නඩු තීන්දුව ලබාදුන් විනිසුරුවරුන්ගේ නිවෙස් අසල මැරයන් රොක් වී හූ කියමින් ගල් ගැසූ බව ද සඳහන්ව තිබේ. එබඳු පාලකයන්ගේ එවැනි පොලිස් නිලධාරීන්ගේත් ක්‍රියාකාරකම් අද සිදුවීම පුදුමයක් ද නොවේ.

කෙසේ හෝ මෙබඳු විරෝධතා උද්ඝෝෂණ සිදු වන්නේ දවසින් දවස උග්‍රවෙන ජීවන වියදම ඇතුළු පොදුජන ප්‍රශ්න නිමිති කොටගෙනය. ජා.ජ.බයේ ආචාර්ය හරිනි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ පරිදි ම රටේ සියයට පනස් දෙකක් (52%) වන කාන්තා ප්‍රජාවට අයවැය ප්‍රතිපාදනවලින් 51%ක්ම කපා දමා තිබේ. කුමක් වුවත් මේ ජීවන වියදම් ගැටලුව හා එහි පීඩනය රාජ්‍ය සේවකයන් ඇතුළු වෙනත් වෘත්තිකයන්ගෙන් ද ප්‍රකාශයට පත් වෙමින් තිබේ. මේ අයවැයෙන් යෝජිත රුපියල් දහදාහේ දීමනාවෙන් අඩක් ලබන ජනවාරියේ සිට ගෙවීමට ආණ්ඩුව පොළඹවන ලද්දේත් ඒ විරෝධතා බව නිසැකය. එහෙත් එබඳු මාසික වැටුපක් නොලබන තවත් බහුතරයක් මෙරටේ සිටිති. ඔවුන්ගේ ජීවන වියදමට ආණ්ඩුවෙන් ලැබෙන අස්වැසිල්ල කුමක්ද?

ආර්ථික ක්‍ෂේත්‍රවල ඇතැම් විද්වතුන් විසින් විවිධ අවස්ථාවල සඳහන් කරන ලද පරිදි දැන් ඉහළ මධ්‍යම පන්තියක් නැත. ඔවුහු මධ්‍යම පන්තියටත්, මධ්‍යම පන්තියට අයත්ව සිටි අය ඉන් පහළටත් වැටී සිටිති. සාමාන්‍ය පොදු ජනතාව ලෙස හැඳින්වෙන අය ද පහළට වැටී සිටින අතර හුදී ජනයා සරණාගතයන් බවට පත්ව සිටිති. එහෙත් ආණ්ඩුවේ කටවල් ජනාධිපති රනිල්ගේ දස්කම් විස්කම් ගැන පුරසාරසම් ඇදබාන අයුරු ද පෙනේ. මෙහි සඳහන් මධ්‍යම පන්තියට පවා තමන්ගේ බොහෝ වැය ශීර්ෂ කපා දැමීමට සිදුව ඇත.

යකඩ දාච්ච ගෙයි පුළුන් සෙවීම!

ආණ්ඩුවේ ව්‍යාපෘති නතර වී තිබෙන පසුබිමක පෞද්ගලික අංශයේ ඉදිකිරීම ද ඇනහිට තිබෙන බව වාර්තා වේ. ඇඟලුම් ක්‍ෂේත්‍රයම අර්බුදයකය. ස්වයං රැකියා ගැන කතා කළ යුතු නැත. ඇත්තට ම මේ කොරෝනා සමයෙන් ඇරඹුණු ආර්ථික කඩා වැටීමේ ප්‍රතිවිපාකය. එහෙත් දැන් ඒ පීඩනය නිසි ලෙස කළමනාකරණය කළේ ද නැත. හේතුව මූල්‍ය පාලනය. අවිධිමත් වීම, රාජ්‍ය වියදම් කළමනාකරණය දුර්වල වීම මෙන්ම අයි. එම්. එෆ්. ණයෙන් තොර වෙනත් විකල්පයක් ආණ්ඩුවට නොමැති වීමය. ඊටත් වඩා බරපතළම ක්‍රියාව ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය නිසා පීඩනයට පත්වූ ජනතාව ගැන පාලකයන් සංවේදී නොවීමය. විදුලිය, ඉන්ධන, ගෑස්, ජලය වැනි අත්‍යවශ්‍ය දේවල් තුන් හතර ගුණයකින් ඉහළ ගොසින්ය. ඉන්ධන, ගෑස් පෝලිම් නැතැයි කියන වෘෂභ දේශපාලනඥයන්ට මේ මිල ගණන් ඉහළ ගිය ආකාරය ගැන වැටහීමක් නැතැයි සිතිය හැකි ද? පාරට බැස සිටින ජනයා මේ පාලකයන්ට පමණක් නොව,ඔවුන්ගේ සංහතියට ම හෙණ ඉල්ලන වග ඔවුහු නොදත් ද?

ජනාධිපති රනිල් පවසන්නේ රට සංවර්ධනය කරා ගෙන යන නව ආර්ථික වැඩපිළිවෙළක් ලබන වසරේ (2024) අරඹන බවකි. පැරණි ක්‍රමවේද ක්‍රියාත්මක කළහොත් ඉතිරි වසර දහය ඇතුළත රටේ නැවත ආර්ථික අර්බුදයක් ඇති විය හැකි බවය. රාජ්‍ය වියදම් අඩු කර රාජ්‍ය ආදායම් වැඩි කිරීමට නව සැලසුම් සම්පාදනය කර ඇති බව ද ජනාධිපති පවසා තිබේ. පැරණි ක්‍රමවේදය අනුව ඉදිරියට යෑමෙන් රටට හෙටක් නැති බවට ජනාධිපති රනිල් කරන අවධාරණය ද ඇසුණි. මේ සියල්ල පැවසුවේ පිටකෝට්ටේ සෝලිස් හෝටලයේ පැවැති රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ සියවස් සැමරුමට (06දා) එක්වෙමින්ය. රටේ ආර්ථිකය කඩා වැටීම සම්බන්ධයෙන් රාජපක්ෂවරුන් ඇතුළු පිරිසක් වගකිවයුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ද ලැබී තිබේ. එහෙත් අද ජනාධිපතිගේ ආර්ථික ක්‍රියාවලට සහාය දෙන්නේ ඒ කඳවුරෙන්මය. ඔවුන්ගේ පාලන සමයේදී ඒ බිඳ වැටීම සිදු වූ බව ජනාධිපති රනිල් ද පිළිගනී. එහෙව් නඩයක් සමග රටක් ඉදිරියට ගෙන යා හැකි ද?

ජනාධිපති රනිල් මුදල් ඇමැතිවරයා ලෙස විශේෂ භාණ්ඩ කීපයකට බද්දක් පනවා තිබේ. ඒවා අතර චීස්, බටර්, ඇපල්, රටඉඳි ආදිය ද වේ. රට සාමාන්‍ය තත්ත්වයට පත්වන බව කියමින් මේ බද්ද පනවා ඇත. එහෙත් ඒවා සඳහා මුදල් වැය කළ හැකි පිරිස ඉතා අඩුය. ඒ මුකුත් නැතිව හතර දෙනකුගෙන් සමන්විත පවුලකට එක වේලක් සඳහා වැය කළ හැකි මුදල කී ගුණයකින් වැඩි වී තිබේ දැයි මේ ආර්ථික වර්ධනය ගැන පුරසාරම් දොඩන අය සොයා බැලිය යුතු වෙති. අද වනවිට එළවළු හා මාළු මිල කීප ගුණයකින් වැඩි වී ඇත. දෙල් ගෙඩියක් රු. 200කි. බිත්තර, කුකුල් මස්, දියර කිරි මෙන්ම යෝගට් එකක මිලත් ඉහළ ගොසින්ය. මේවාට ඔරොත්තු දිය හැක්කේ කීයෙන් කී දෙනකුට ද? හාල් මිල පොල් මිල ගැන ද කිව යුත්තේ ඒ කතාවමය.

ජනාධිපති රනිල්ගේ ආර්ථික සිහින දුප්පතුන් නැති ලෝකය පිළිබඳ කතා අපට අලුත් දේවල් නොවේ.

ගෝඨාභය ජනාධිපති කිරීමට හැටනව ලක්ෂයක් ඡන්දය දුන් ජනතාව අපේක්ෂා කළේ ඔවුන්ගේ ජීවිතවල වෙනසකි. රටට වුවමනා ආර්ථික හා සංවර්ධන වැඩපිළිවෙළකි. එහෙත් මේ ආණ්ඩුවට ඒ ජනතාව ගැන කැක්කුමක් නැත. හිතක් පපුවක් නැති පාලකයන් පිරිසක් ලෙස ඔවුහු කටයුතු කරති. තෙල්, ගෑස්, බෙහෙත් මෙන්ම විදුලිය වැනි දේවල මිල ඉහළ යෑම ආණ්ඩුවකට පාලනය කළ නොහැකි බව ඇත්තය. එහෙත් ආණ්ඩුවක වගකීම ජනතාව පැත්තෙන් ද විමසා බලා තීන්දු තීරණ ගැනීමය. සමහර නිලධාරීන් පමණක් නොව මැති ඇමැතිවරුන් ද මේ ආණ්ඩුවේ ගමනෙහි කිසි වරදක්, ඇදයක් නොදැකීම මොන තරම් අවාසනාවක් ද?

මේ ලියන මොහොත වනවිට ජනතාව පෙළන විදුලි බිල වැඩි කිරීමට හේතු වූ කරුණු විමසීමට මහජන උපයෝගීතා කොමිසම ද ආංශික අධීක්ෂණ කාරක සභාව ඉදිරියට කැඳවා තිබිණි. මේ වසරේ දී පමණක් විදුලි බිල තුන් වරක් වැඩි කර තිබේ. අපට සිහිපත් වන්නේ මීට පෙර එම කොමිසමේ සභාපතිව සිටි ජනක රත්නායකට අත්වූ ඉරණමය. ඔහු මේ මිල ඉහළ දැමීම අනුමත නොකරයි. අද තිබෙන ආර්ථික අර්බුදය සමනය කළ හැකි එක් පියවරක් වන්නේ ද මේ විදුලි පාරිභෝගිකයා විසින් මුහුණ දෙනු ලබන අසාධාරණ බර සැහැල්ලු කිරීමය. ලබන වසරේ එයට සහනයක් දිය හැකි බව ආණ්ඩුව පැත්තෙන් ද ඇසුණි.

මිහින්තලේ විදුලිය කැපීමෙන් පසු නාරාහේන්පිට අභයාරාමයේ ද විදුලිය සිඳලූ බවක් වාර්තා විය. මේ අතර විදුලිය කපා දමන ලද වැඩි ප්‍රසිද්ධියක් නැති පන්සල් ද තිබිය හැකිය. ලක්ෂ පහකට අධික නිවෙස්වල ද මේ විදුලි බිල ගෙවීමේ ප්‍රශ්නය මතු වී තිබේ. විදුලි බිල ජල බිල හා අත්‍යවශ්‍ය භාණ්ඩ ඉහළ යෑම නිසා හෝටල්, අවන්හල් 50%ක් වැසී ඇති බව ද කියති. මේවායින් රැකියා අහිමි වන අය කොපමණ දැයි අපි නොදනිමු. විපක්ෂනායක සජිත් චෝදනා කරන්නේ රටේ ආර්ථිකය ගැන වටහා ගැනීමට නිවැරදි දත්ත නොමැතිවීම ප්‍රශ්නයක් බවය. විදුලි බිල සම්බන්ධයෙන් ද ප්‍රශ්නයක් මතු කළ විපක්ෂනායකවරයා විමසා ඇත්තේ ලක්ෂ 50කට රතු බිල් ද යවා තිබෙන එම මණ්ඩලයේ ලාභය කොපමණ ද යන්නයි. එසේම පවතින අධික වර්ෂ, පතනය නිසා ජල විදුලිය නිෂ්පාදනය ඉහළ යෑමෙන් ද මණ්ඩලයට අධික ලාභයක් ලැබිය යුතු බවය.

කෙසේ හෝ වේවා 2024 අයවැය විවාදයේ දීත් වැඩිපුර වාර්තා වූයේ සමාජ ආර්ථික හෝ දේශපාලන ප්‍රතිසංස්කරණ යෝජනාවලට වඩා දූෂණ, වංචා අක්‍රමිකතා සම්බන්ධ තොරතුරුය. එහිදී අතිශය ආන්දෝලනාත්මක මාතෘකාවක් වූ ක්‍රිකට් බලධාරීන්ගේ දූෂණ, අක්‍රමිකතා චෝදනා ගැන දැන් කිසිවෙක් කතා නොකරති. දූෂණ හෙළි කළ ක්‍රීඩා ඇමැතිට එම ධුරය ද අහිමි වී තිබූණත් පාර්ලිමේන්තුවට විවාද කළ කරුණු කිසිවක් ගැන අද වචන මාත්‍රයක් හෝ කතා කරන අයෙක් ද නොවෙති. හිටපු ඇමැතිවරයා නම් මහානාහිමිවරුන් හා වෙන්ත නායක හිමිවරුන් ද බැහැදකිමින් ඒ පිළිබඳ කරුණු දක්වන බව ද පෙනේ. එහෙත් බොහෝ දෙනෙක් අදහස් කරන්නේ ජනාධිපති පාර්ශ්වයෙන් ෂම්මිලාට එරෙහිව කිසිදු පියවරක් නොගැනීමේ වැඩි ඉඩක් තිබිය හැකි බවය. මෙයට පෙර ද ක්‍රිකට් දූෂණය ගැන කතා කරමින් අප අවධාරණය කළේත්, කවුරු කෙසේ කීවත් ක්‍රිකට් පාලනය භාරව සිටින අයට ප්‍රබල දේශපාලන අනුග්‍රහ ලැබෙන බවය. පසුගිය දිනක හිටපු ක්‍රිකට් නායකයකු මෙන්ම ප්‍රබල දේශපාලන චරිතයක් ද වන අර්ජුන රණතුංග රූපවාහිනී මාධ්‍යයකට පවසා තිබුණේ ෂම්මිලාට ක්‍රිකට් පාලනය භාර ගැනීමට වුවමනා නීති පවා සකසා දී ඇත්තේ දේශපාලන රුචිය හා බැඳීම් අනුව බවය. එහෙව් පසුබිමක ෂම්මි සිල්වලාට එරෙහිව ක්‍රියාත්මක වන නීතියක් තිබිය හැකිද? මහ බැංකු හොරුන් රකින දේශපාලනඥයෝ ක්‍රිකට් හොරුන් නොරකිත් ද?

යකඩ දාච්ච ගෙයක පුළුන් සොයන්නාක් මෙන් මේ රටේ මේ ජරපත් දේශපාලන බමුණන් සමග ජනතාව අපේක්ෂා කරන කිසි වෙනසක් සිදු නොවන බව පමණක් අපගේ අදහසය. අදත් දවසින් දවස වාර්තා වන දූෂිත, අලජ්ජ ගනුදෙනු, මෙහෙයුම් විනා අප කිසිවකුට සතුටක්, සැනසිල්ලක් ලැබෙන ශුභ ආරංචියක් තිබේ ද? දින කීපයකට පෙර පාර්ලිමේන්තුවේ (06 දා) ඉඩම් අමාත්‍යාංශයේ විවාදයේදී හෙළි වූයේ හන්තානේ අක්කර 22ක් පර්චසය රු. 2.38 බැගින් විකුණූ සිද්ධියකි. කොමිසමට කෝටි 500ක් වංචාවක් සිදු කළ එකෙක් හෝ නීතිය ඉදිරියට රැගෙන යනු ඇතැයි සිතිය හැකිද? එහෙත් අපට තිබෙන ශෝකය පමණක් නොව කෝපය ද වන්නේ කුරා කුහුඹුවෙකුට තරම් වරදක් නොකළ අබැටක දෙයක් සොරා නොගත් ලක්ෂ 220ක ජනතාවගෙන් බහුතරයක් මේවාට වන්දි ගෙවමින් සිටීමය. ඒ චෞර නඩ ඒවාට රුකුල් දුන් නිලබලත් මහජන මුදලින් නඩත්තු වීමය.

කෙසේ හෝ නීතියට අධිකරණයට යටත් නොවුව ද මේ විනාශකාරීන්ට මහජනතාවගේ උදහසින් නිදහස් විය නොහැකි බව අපගේ අනුමානයයි. ලබන වසර මැතිවරණ වසරක් ලෙස සාධාරණ හා ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට මහ මැතිවරණයක් පැවැත්වෙන්නේ නම් අලුත් වෙනස භාර කළ යුතු කණ්ඩායම, දේශපාලන චරිත ජනතාව විසින් තෝරා ගනු ඇතැයි ද අපි විශ්වාස කරමු. මේ වනවිට සිදු කරන ලද ජනමත සමීක්ෂණවලින් ද හෙළි වී ඇත්තේ ජනතාව සතු දේශපාලන විවාදයත්, ඔවුන්ගේ සමාජ – ආර්ථික අපේක්ෂාවනුත් මේ පවතින ක්‍රමයට එරෙහි වූවක් බවය. අපි පිබිදුනු දෑසින් බලා සිටිමු.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment