කණ්ඩායම් හතක් පොරට වැටෙයි

ජනාධිපතිවරණය සඳහා වන නිවේදනය නිකුත් කිරීමට හරියටම තවත් දින 235 ක් ඉතිරිව ඇත. 2024 ජූලි අවසන් සතියේ දී ජනාධිපතිවරණය කැඳවීමෙන් පසුව ව්‍යවස්ථාවට අනුව ඔක්තෝබර් 16ට පෙර ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කළ යුතුය. ජනාධිපතිවරණ පනතට අනුව, ඔක්තෝබර් 1 දිනට පෙර දිනයක ඡන්දය පැවැත්වීමට ඒ අනුව මැතිවරණ කොමිසමට සිදු වේ. ජනාධිපතිවරණයට පෙර මහා මැතිවරණයක් පවත්වයි ද? යන සැකය මතුව ඇත්තේ මාස 10 ක් යනු දේශපාලනයට දිගු කාලයක් වන නිසාම පමණක් නොවේ.

පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අවසන්වීමෙන් පසුව හෝ 2024 පළමු මාස දෙක ඇතුළත පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ඇති විභවය අතිශයින් පුළුල් වෙමින් ඇත. යම් හෙයකින්, ජනාධිපතිවරණයට පෙර මහා මැතිවරණයක් පැවැත්වෙන්නේ නම්, එහි තීරණාත්මක ගාමක බලවේග සහ මැතිවරණයේ බලය ලබා ගැනීමේ ඉහළම ශක්‍යතාවය ඇති කණ්ඩායම් හඳුනා ගැනීම වැදගත් වන්නේ මේ නිසාය.

වත්මන් දේශපාලන බෙදීම හා සන්ධාන පිහිටුවා ගැනීමට ඇති නැඹුරුව පාර්ලිමේන්තුවේ ආසන දිනාගත හැකි දේශපාලන කණ්ඩායම් 10 කි.

  1. වත්මන් ආණ්ඩු පක්ෂය – පොහොට්ටු පක්ෂයේ, අය වැයට පක්ෂව ඡන්දය දුන් විපක්ෂයේ අනුර ප්‍රියදර්ශන – නිමල් ලංසා ඇතුළු පිරිස, ඩග්ලස් දේවානන්දා, මුස්ලිම් පක්ෂ මන්ත්‍රීවරුන්, තොන්ඩමන්, එජාප හා එයට සහාය දක්වන කණ්ඩායම
  2. අය වැය සඳහා පක්ෂව ඡන්දය දීමට නොපැමිණි සහ ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගත යුතු බව විශ්වාස කරන පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම,
  3. සමගි ජනබලවේගය සහ ඩලස්/ජී.එල්/ඩිලාන් ප්‍රමුඛ කණ්ඩායම
  4. ජනතා විමුක්ති පෙරමුණ (ජාතික ජනබලවේගය)
  5. සාම්ප්‍රදායික ශ්‍රීලනිප සහ එයට එක්විය හැකි විමල් වීරවංශ, ගම්මන්පිල, වාසුදේව, කො.ප., ලසසප ඇතුළු පිරිස
  6. ද්‍රවිඩ ජාතික සන්ධානය/ටෙලෝ කණ්ඩායම්
  7. විග්නේෂ්වරන්/ පොන්නම්බලම් ඇතුළු කණ්ඩායම
  8. ආසන එකක් හෝ දෙකක් ලබාගත හැකි කණ්ඩායම් 3 ක් හෝ 4 ක් විසින් පාර්ලිමේන්තුවේ සංයුතිය තීරණය කරනු ඇත.

මෙයින් අංක 1 සිට 5 දක්වා වන කණ්ඩායම්වලට මැතිවරණයේ දී සන්ධානගත වන ආකාරය හා මැතිවරණ ව්‍යාපාරය සිදු කරන ආකාරය අනුව පාර්ලිමේන්තුවේ ආසන 35 සිට 70 දක්වා ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාව ඇත. (අනෙක් අතට මෙම කණ්ඩායම් 5 වෙන්ව තරග කරන විට කිසිදු පාර්ශ්වයකට ආසන 70 ඉක්මවීමට හැකි වන්නේ නැත) එහි අනිවාර්ය ප්‍රතිඑලය වන්නේ පාර්ලිමේන්තුවේ සරළ බහුතරය එනම් ආසන 113 ක් ලබා ගැනීමට කිසිදු තනි පක්ෂයක්/පෙරමුණක්/සන්ධානයකට නොහැකිවීමය. තව ද, අග්‍රාමත්‍යධුරය ලබා ගනිමින් පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගැනීමට අවශ්‍ය 113 ලබා ගැනීමට අනිවාර්යයෙන්ම පක්ෂ හා කණ්ඩායම් දෙකක් හෝ තුනක පශ්චාත් මැතිවරණ සන්ධානයක් ගොඩනැඟීමට අනිවාර්යයෙන්ම සිදු වීම ය.

අනෙක් අතට, පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාව ලබාගන්නා නමුත්, බහුතරය සකස් කර ගැනීමට අවශ්‍ය පශ්චාත් මැතිවරණ සන්ධානයක් සකස් කර ගත නොහැකි වන්නේ නම්, ඔවුන් විපක්ෂය බවට පත්වීම ය.

ජනතා විමුක්ති පෙරමුණ කිසිදු ලෙසකින් හෝ එජාප, සජබ, පොදුජන පෙරමුණ හෝ ශ්‍රීලනිප සමඟ සන්ධානගතවීමක් සිදු වෙතැයි බලාපොරොත්තු විය නොහැකිය.

එවිට අනෙකුත් පක්ෂ වන සජබ, එජාප ප්‍රමුඛ සන්ධානය, පොදුජන පෙරමුණ, ශ්‍රීලනිප යන කණ්ඩායම් හතර අතරින් කණ්ඩායම් දෙකක් හෝ තුනක් මැතිවරණයෙන් පසුව සන්ධානගතවීමකින් පමණක් පාර්ලිමේන්තු බහුතරය ස්ථාවරගත හැකි වනු ඇත. යහපාලනය ආණ්ඩුව, එජාපය එකට සිටි මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගැනීම සඳහා එක්වීම වඩා පහසුය.

උතුරේ ප්‍රධාන පක්ෂය වන ද්‍රවිඩ ජාතික සන්ධානය දැනට කොටස් දෙකකට (තමිල් අරසු කච්චි හා ටෙලෝ) බෙදී ඇත. යාපනය හා වන්නි මන්ත්‍රී ධූර 13 ට මෙම පාර්ශ්ව දෙක ද, ඩග්ලස් දේවානන්දා හා විග්නේෂ්වරන්/පොන්නම්බලම් කණ්ඩායම දැඩි තරගයක නිරත වනු ඇත. එවැනිම තරගයක් නැගෙනහිර පාර්ශ්ව 5 ක් අතර මන්ත්‍රී ධූර 16 ක් සඳහා ඇති වනු ඇත. (උතුරු නැගෙනහිර පක්ෂ 7 ක් 2020 මැතිවරණයේ ද මන්ත්‍රීධුර දිනා ඇත) ඒ අනුව, තනි ආසන ලබන පක්ෂ හතරක් හෝ පහක් උතුරු නැගෙනහිර හා ජාතික ලැයිස්තුව මගින් පත්වනු ඇත.

සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වෙන මැතිවරණයක, වැඩිම මන්ත්‍රී සංඛ්‍යාව ලබා ගන්නා පක්ෂය ට හිමිවන අඩුම ආසන සංඛ්‍යාව මෙවර මැතිවරණයේ දී ලැබෙනු ඇත. පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ/කණ්ඩායම් 10ක් පමණ බිහිවීම තුළින් බහුතරය ලබා ගැනීමට පක්ෂ කණ්ඩායම් තුනක් හෝ එයට වැඩි සංඛ්‍යාවක් එක්වීම අනිවාර්යවන තත්ත්වයක් මතුවන්නේය. ආණ්ඩුව පිහිටුවා අගමැති ධුරය ලබා ගැනීමට උත්සහ දරන ඕනෑම පාර්ශ්වයකට ඒ සඳහා තවත් පාර්ශ්ව තුනක් තමන් සමග එක් කර ගැනීමට ඒ අනුව සිදුවනු ඇත.

එවැනි ශක්‍යතාවයක් සහිත පක්ෂ හෝ දේශපාලන නායකයන් සුවිශේෂී පුද්ගල පෞර්ෂයන්ගෙන් හෙබි විය යුතුවා පමණක් නොව, ශූර සැලසුම්කරුවකු ද විය යුතු වන්නේ ම ය.

ජනපතිවරණයට නොවෙයි මැතිවරණයකට පාර කැපෙයි!

සියලුම දේශපාලන පක්ෂ මේ වන විට සිය පූර්ණ අවධානය යොමු කර ඇත්තේ දින තවත් දින 235 කින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ නිවේදනය නිකුත් වන තුරුය. ඒ සියලු දෙනා, මහා මැතිවරණයක හෝ ජනාධිපතිවරණයක ප්‍රතිඑලය තීරණය කරන සමාජ ස්ථිර පහක් මේ වන විට හඳුනාගනිමින් ද, ඔවුන් තම කඳවුරට එක්කර ගැනීමට අනවර්ථ වෙහෙසක නිරතවෙමින් ද සිටී.

  1. පළමු කොටස, සමාජයේ අන්ත දිළිඳු (සමෘද්ධි/ඇස්වැසුම්) ලාභීන්ය. ඔවුහු දේශපාලනිකව ශ්‍රීලනිප/පොදුජන පෙරමුණට නැඹුරුය. පොදු පෙරමුණේ ඡන්ද මැෂිම වූ එස්.බී. එජාපයට යන විටත් මේ පිරිස තම පක්ෂ ලැදියාව මාරු කළේ නැත. සජබ සිතන්නේ පොරොන්දු මල්ලකින් මේ පිරිසෙන් කොටසක් තමන් වෙත කැඳවාගත හැකි බව ය.
  2. දෙවැන්න, රජයේ සේවකයන් ය. අද වන විට එහි සැලකිය යුතු පංගුවක් ජවිපෙ විසින් දිනා ඇත.
  3. දෙවැන්න, ජනමත නායකයන් (සඟ, වෙද, ගුරු), සිවිල් සමාජ ක්‍රියාකාරීන්, සමාජ මාධ්‍ය කණ්ඩායම් ය. අද වන විට සමාජ බලයක් සහිත සිවිල් සංවිධාන/ක්‍රියාකාරීන් අතිශයින්ම සීමිතය. අද ජනමත නායකයින් බවට පත්ව ඇත්තේ වෘත්තීය සමිති ක්‍රියාධරයන් හා ශිෂ්‍ය නායකයින් ය. බෞද්ධ, කතෝලික හා මුස්ලිම් ආගමික නායකයින් තවදුරටත් තම ආගමික සමාජය වෙත දේශපාලන පණිවුඩ සන්නිවේදනයේ ප්‍රමුඛ කාර්යයක් ඉටු කරයි.
  4. සිව්වන කොටස, කොළඹ ආණ්ඩුවට විරුද්ධ උතුරු

නැගෙනහිර/වතුකරයේ වාර්ගික පදනම මත බලය බෙදීම, විරෝධය මත පදනම් සුළු ජාතික කොටස් වෙති. අතීතයේ දී, මෙම පිරිසේ පොදු සාධකය මහින්ද රාජපක්ෂ විරෝධය වූ අතර එජාප/සජබ වෙත යම් ආකර්ශනයක් සහිත විය. වත්මන් පාර්ලිමේන්තුවේ මෙම කඳවුර නියෝජනය කර පිරිසක් ජනාධිපතිවරයා සමඟ මේ වන විට අවබෝධයෙන් කටයුතු කරමින් සිටී.

  1. අරගලයට ඉදිරියට පැමිණි උගත්, තරුණ, විධිමත් අධ්‍යාපනයක් සහිත, මධ්‍ය මට්ටමේ රැකියා සහිත, රජයෙන් උපකාර බලාපොරොත්තු නොවන, සමාජ අර්බුදය ආර්ථික විශලේෂණයක් හා ගලපා තමාගේම අර්ථකථනයක් ලබාදීමට තරම් ශක්තිමත්, යථාර්ථවාදී නොවන පොරොන්දු මත තීරණ නොගන්නා පිරිස ඉදිරි මැතිවරණයක තීරණාත්මකම කාර්ය භාරය ඉටු කරන පිරිස වෙති. එය 1956 පංච මහා බලවේගය, 1970 ලෝක සමාජවාදී සිහිනය, 1977 ආහාර හිඟයෙන් මිදීම, 1994 නිදහස, 2010 දෙමළ විරෝධය, 2015 සිවිල් සංවිධාන ක්‍රියාකාරීත්වය මැතිවරණයේ තීරණාත්මක ගාමක බලය වූවේ යම් ලෙසකින් ද, 2024 දී මේ උගත් තරුණ පිරිස මැතිවරණ ප්‍රතිඵලයට අවශ්‍ය තීරණාත්මක ගාමක බලය බවට පත් වනු ඇත.

මේ පිරිස යුක්තිය සාධාරණත්වය මිස රජයෙන් කිසිවක් බලාපොරොත්තු වන්නේ නැත. ඔවුන් බත් පැකට් එකට, අරක්කු බෝතලයට නතු කර ගත නොහැකි අතර තමන්ට අවශ්‍ය මූලික දෑ සපයා ගැනීමට ආදායමක් ඇති පිරිසක් වේ. අරගලයේ දී ජවිපෙට ගෝල්ෆේස් පිටියේ ඉඩ අහුරනු ලැබූවේ ද, ජවිපෙ විසින් ‘ළදරු වලිප්පුකාරයින්’ ලෙස හැඳින්වූයේ ද, යථාර්ථවාදී නොවන බදු සහන, නිවාස, රථවාහන සිහිනයන්ගේ අතරමං කළ නොහැකි මේ පිරිස ය.

මේ සියල්ලන්ට පරිබාහිරව තමන්ගේ ම අනුගාමිකයින් පිරිසක් සහිත වාමාංශික කණ්ඩායම් ද, චම්පික රණවක, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව වැනි පුද්ගල සාධක ද මැතිවරණ ව්‍යපාරයක දී අවතක්සේරු කළ නොහැකිය. ප්‍රමාණාත්මක සාධක පමණක් නොව, ගුණාත්මක සාධක ද මැතිවරණ ව්‍යාපාරයක දී නොතකා හරිනු නොලැබේ.

ආර්ථික සාධකය නොතකා ජනප්‍රිය ඡන්ද පෙරොන්දු ලබාදීමට මහා මැතිවරණයක දී හෝ ජනාධිපතිවරණයක දී අනිවාර්යයෙන්ම සිදුවන්නේය. බදු කප්පාදුව, වැටුප් වැඩි කිරීම, නිවාස-වාහන ලබාදීම, බඩු මිල අඩු කිරීම, රජයේ රැකියා ලබාදීම ඒ අතර ප්‍රධාන වනු ඇත. බදු අඩු කර රාජ්‍ය ආදායම අහිමිකරගෙන, ජනතාවට සහන බෙදිය නොහැකි බව අවබෝධ කර ගත් පිරිසක් රටේ සිටී. අනෙක් අතට, රාජ්‍ය සේවයේ ඉහළ ආදායම ලබන පිරිසගෙන් බදු අය කිරීමට දැඩි විරෝධයක් තිබේ. රු. 10,000 ක වැටුප් වැඩිවීම ප්‍රමාණවත් නොවන බවට තවත් පිරිසක් උද්ඝෝෂණය කරති. බදු අය කරන්නේ ද නැතිව, වැටුප් වැඩි කරන්නේ කෙසේද? යන අමිහිරි යථාර්ථයට මැතිවරණ වේදිකාවේ ඉඩක් නැත.

අනෙක් අතට, ඉටු කළ නොහැකි පොරොන්දු ලබා දී, නැවත වරක් භාණ්ඩාගාරය හිස් කොට ගන්නේ නම් ඕනෑම මැතිවරණයකින් මාස 6 ක් ගත වන්නටත් පෙර නැවත පෝලිම් යුගයක් ඇතිවීම නොවැළැක්විය හැකි වනු ඇත.

ඡන්දය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමකි. දෙසැම්බර් තුන්වන සතිය වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය නිදහස් කිරීමත්, රට නිල වශයෙන් බංකොළොත් භාවයෙන් ඉවත්වීමත් සිදුවන්නේය. දේශපාලන පක්ෂ මේ දක්වා ඉල්ලා සිටියේම මැතිවරණයකි. ඡන්දයක් පැවැත්වීමට හැකි පරිසරයක් මේ වන විට නිර්මාණයවී ඇත. එය ජනාධිපතිවරණය ද? නැතිනම් මහා මැතිවරණය ද? යන්න තීරණය කිරීමේ දී දේශපාලන න්‍යාය පත්‍රයට වඩා නැවතත් රට බංකොළොත්වීම වළක්වා ගැනීම අත්‍යවශ්‍ය ය.

රජිත් කීර්ති තෙන්නකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment