හොරු අල්ලා ජනතාව පිනවීම ද?

88

ජනතාව රවටා හොරු රැක ගැනීමද?

දූෂණ විරෝධී පනත පතෝල ලියවිල්ලක්?

ආණ්ඩුව විසින් ඉකුත් 21 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද දූෂණ විරෝධී පනත නිසැකයෙන්ම අලුත් සමාජ දේශපාලන ප්‍රතිසංස්කරණය උදෙසා තැබූ පියවරක් වැන්න. විපක්‍ෂයේ සියල්ලෝම වාගේ එම පනත සාධනීය ආරම්භයක් බවට පත් කර ගත යුතු බවද සඳහන් කළහ. ඇත්ත වසයෙන්ම මෙබඳු වැදගත් පනතක දී එයට විපක්‍ෂවීම හෝ සහාය නොදැක්වීම ද්‍රෝහී ක්‍රියාවක් ද වේ. දේශපාලනික වසයෙන් දැඩි පරිහානියකට ලක්ව තිබෙන සමස්ත ක්‍රමයම වෙනස් විය යුතුය යන ප්‍රබල ජන හඬකින් අවදි වූ සමාජයක් පළමු වරට මහජනයා වෙනුවෙන් ගත් අභීත මෙන්ම අගනා පියවරක් ලෙස ද මෙම පනත හැඳින්විය යුතුය. එක් අතකින් මෙතෙක් සිදුවී තිබෙන බොහෝ දේශපාලන පව් සෝදා ගැනීමට ද මේ සාධනීය ක්‍රියාදාමයෙහි සැබෑ පාර්ශ්වකරුවන්ට හැකි වනු ඇත. සමාජ දේශපාලන පවිත්‍රීකරණයකට ඉවහල් වන්නාවූ ද ඒ සඳහා සාර්ථක මඟ පෙන්වීමක් කරන්නාවූ ද මේ පනත ක්‍රියාවට නැංවීමෙන් අභිනව දේශපාලන සංස්කෘතික රාමුවකට රට යොමු කළ හැකි ගාම්භීර සම්මුතියක් ද ඇති කර ගත හැකිය. ඇත්ත වසයෙන්ම මෙතෙක් ඉදිරිපත් කරන ලද හෝ යෝජනා වසයෙන් හෝ තිබෙන ඇතැම් පනත් සම්බන්ධයෙන් තිබෙන විවේචන චෝදනා සුළුපටු නැත. ඒවා තුළ සැඟව තිබෙන දුෂ්ට, ජරපත් අරමුණු, දේශපාලන විෂ කෙබඳු දැයි ඒවාට ඉදිරිපත්වූ විවේචන අනුව ද තහවුරු වේ.

මේ ආණ්ඩුව විසින් හඳුන්වා දෙන ලද ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත පුනරුත්ථාපන කෙටුම්පත පමණක් නොව තවමත් විවාදයට ලක්ව තිබෙන විකාශන අධිකාරී පනත වුවද ආණ්ඩුවේ අනීතික අගෝචොර ක්‍රියාදාමයන් වසන් කිරීමට රැගෙන එන ලද යෝජනාවලින් බව සමාජ දේශපාලන අංශවල ප්‍රාමාණිකයන් පමණක් නොව ප්‍රබුද්ධ පුරවැසියන්ට ද මනාව පැහැදිලි විය. ජනාධිපතිවරයා ලෙස රනිල්ගේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් තිබෙන විවේචනවල හරය වන්නේ ඔහු එක් අතකින් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය හකුළා දමමින් යළිත් විධායක බලය වර්ධනය කිරීමට නීතියත් සිය කපටි දේශපාලන බුද්ධියත් යොදා ගන්නා බවය. එකින් එක නිදසුන් දැක්වීමට අනවශ්‍ය වුවත් මේ වනවිට මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ජීව ගුණය නිර්වින්දනය කරනු ලැබ ඇති බව ප්‍රකට රහසකි. මේ වනවිට පළාත් සභා, පළාත් පාලන ආයතන වැනි ප්‍රජාතන්ත්‍රවාදයේ උල්පත්වලින් සුපෝෂණය වන ආයතන කිසිවක මහජන නියෝජිතයෝ නොවෙති. ස්වාධීන කොමිෂන් ලෙස හඳුන්වනු ලබන ආයතන බෙලහීන කරනු ලැබ ඇත. මහජන විරෝධතා උද්ඝෝෂණ සියල්ලටම අවහිර කිරීම සඳහා පොලිසියත් ඇතැම් විට හමුදාවත් යොදා ගනිමින් ද සිටියි.

ජනාධිපති රනිල්ගේ පත්වීමට කිසිවකුට අභියෝග කළ නොහැක. එය විශ්ලේෂණය කරනු ලබන දේශපාලන විමර්ශකයන්ට, ඒ ක්‍ෂේත්‍රයෙහි ප්‍රාමාණිකයන්ට විවිධ අර්ථකථන ද ලබාදිය හැකිය. ඇත්තටම පොහොට්ටුවේ පුරසාරම්, අතිශයෝක්ති වර්ණනා කෙබඳු වුවත් රනිල් නොසිටින්නට මේ රට මෙහෙයවීමේ භාරධූර කාර්යයට උචිත එකම චරිතයක්වත් පොහොට්ටුවේ නොවූ බව එයින් පැහැදිලි වන එක් කරුණකි. දෙවරක් ජනාධිපති ධුරය හෙබවූ මහින්දට යළි රට භාරදීමට ව්‍යවස්ථානුකූල ප්‍රතිපාදන නොවීය. එහෙත් එම පක්ෂය හෝ එම සන්ධානය තුළ ප්‍රඥාසම්පන්න දේශපාලන පෞරුෂයක් නොවූ බව එයින් පෙනී යයි. දිනේෂ් ගුණවර්ධන සම්බන්ධයෙන් මෙන්ම ඔහුගේ දේශපාලනය පිළිබඳව පොදුවේ සාධනීය පිළිගැනීමක් තිබුණත් ඒ අර්බුදකාරී නොසන්සුන් දේශපාලනය තුළ රාජපක්‍ෂ කඳවුරේ තෝරා ගැනීම රනිල් වික්‍රමසිංහ විය. ඔහුගෙන් අපේක්‍ෂා කළ දේශපාලන ස්ථාවරත්වය හා ආර්ථිකය බලගැන්වීම ද යම් ප්‍රමාණයකට සාර්ථක වී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ද ඔහුට ලබා ගත හැකිවිය. පෝලිම් අහෝසි විය. මිල ගණන් ඉහළ ගියත් භාණ්ඩ හිඟය ද දුරු විය. එබඳු මතුපිටට පෙනෙන, දේවල් සිදු වුවත් රටේ සමස්ත ආර්ථිකය සම්බන්ධයෙන් සුබවාදී තත්ත්වයක් ගොඩ නැඟෙන බවක් ද කිව නොහැක. එහෙත් රාජපක්‍ෂ පාලනය විසින් ආසන්න අතීතයේ දී මෙන්ම ඔවුන්ගේ පාලන යුගවලදීත් සිදු වූ විනාශයන්, වැරදීම්, අතපසුවීම් වෙනුවෙන් වරප්‍රසාද රහිත ජනතාව අප්‍රමාණ විඳවීම්වලට ලක්ව සිටිති. කඹුරමින් සිටිති.

ඇත්ත වශයෙන්ම ඒවා නිවැරදි කිරීමේ ජනතා හඬ යටපත් වෙමින් තිබුණි. ගෝඨාභයට පෙර තිබුණු මෛත්‍රී – රනිල් පාලන යුගය ද මේ සමස්ත බිඳ වැටීම්වලට උචිත ප්‍රතිසංස්කරණ කෙරෙහි යොමු වූයේ ද නැත. එදා දූෂණ මර්දනය සඳහා ජ. වි. පෙ. අනුර කුමාරගේ ද සහාය ඇතිව අරලියගහ මැඳුරේ විශේෂ ඒකකයක් පවා පිහිටුවා විමර්ශන සිදුවිය. එහෙත් ඒවා පුහු ඝෝෂා පමණි. සිදුවූ ප්‍රතිඵලයක් නැත. අද ඒ වෙනුවෙන් අනුර කුමාරට විවේචන පවා එල්ල වෙයි. සමහරු උත්ප්‍රාසයකින් සඳහන් කරනු ලබන්නේ ද ඔහුගේ ෆයිල් කවර හෙවත් ලිපි ගොනු පිළිබඳවය. ඇත්ත වසයෙන්ම ඒවා තුළින් අපට හැඟෙන එකම දෙස නම් මේ රට දූෂණ ගුහාවක් බවය. කලකට පෙර චන්ද්‍රිකාට ද දූෂණ රැජින කැයි විවේචන ඇසුණි. රට ම චෞර වළල්ලක හිරවී තිබෙන බවද බොහෝ දේශාපලනඥයෝම කීහ. ඇතැම් ඉහළම රාජ්‍ය නිලධාරීන්ට පමණක් නොව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන්ට ද බරපතළ දූෂණ චෝදනා එල්ල විය. එපමණක් නොව රාජ්‍ය දූතයන් ලෙස විදේශ සේවයට ගිය රාජපක්‍ෂවරුන් හා සම්බන්ධ සමහරුන්ට ඒ ඒ රටවල අධිකරණවලින් පවා චෝදනා නැඟී තිබුණි. සමහරුන්ට දඬුවම් ද නියම විය.

දැන් කවුරු කවුරුත් ඒ අතට මේ අතට චෝදනා කර ගත්තත්, එකඑකාට ඇඟිලි දිගුකර ගත්තත් මෙබඳු දූෂණ විරෝධී ක්‍රියා මාර්ගයකට යොමු නොවූහ. අද වනවිට සමාජයේ තිබෙන දූෂණ පිළිබඳ ඇසෙන ඇඟ හිරිවට්ටන ආකාරයේ ගනු දෙනු කෙතරම්ද? වත්කම් බැරකම් ගැන මොන දේවල් ඇසුණත් අපේ දේශපාලඥයන්ට පමණක් නොව රාජ්‍ය නිලධාරීන් ඇතුළු ඉහළ නිලතල හෙබවූ සෑහෙන පිරිසක් අයුතු ධනයකට වත්කම්වලට හිමිකම් කියන්නෝ වෙති. විදේශවල ධනයත් දේපළත් ලබා ගත් බොහෝ දෙනෙකු කළුසල්ලිකාරයන් බවට ද චෝදනා නැඟෙයි. එපමණක් නොව මේ වනවිටත් ජනතාවගේ තුඩින් තුඩ රැව් දෙන, බොහෝ විට ජ.වි.පෙ වේදිකාවලින් ඇසෙන දූෂණ වංචා, හොරකම් අල්ලස් ගැනීම් ගැන කොපමණ චෝදනා නැඟේ ද? රෝගීන්ට දෙන බෙහෙත් පෙත්ත, ගොවියන්ට දෙන පොහොර හා ආධාර ජාතික අධ්‍යාපනයට ලැබෙන අනුබල ගසාකෑම් පිළිබඳ විiුත් හා මුද්‍රිත මාධ්‍ය විසින් කරනු ලබන අනාවරණ කොපමණද? එහෙත් දූෂිතයෝ දසත සැරිසරති. උන්ට විලිලැජ්ජාවක්ද නැත. මේ සියල්ල බොහෝ විට දේශපාලන සෙවණ යට සිදුවන දේවල්ය.

හොරු අල්ලා ජනතාව පිනවීම ද?

ප්‍රාදේශීය පාලනයේ සිට ඉහළම ව්‍යවස්ථාදායකය දක්වා ඇදෙන දූෂිත අක්‍රමිකතා නොසිඳෙන පල්වතුර ගඟක් වැන්න. බොහෝ රාජ්‍ය ආයතන දූෂිත ආකර බවට පත්ව තිබේ. ජනතාව හූරා කන කපුවන්ගේ වාසභූමි බවට ඒවා පත්ව තිබේ. මේවායේ සේවාවන් සැපයීමට අල්ලස් පගා ප්‍රසිද්ධියේ ඉල්ලන බවද රහසක් නොවේ. හේතුව මේ කිසිදු තැනක විනයක්, ප්‍රමිතියක්, නීතියක් නැතිවීමය. බොහෝ මුල් පුටුවලට අරක් ගත්තෝ තනතුරු, අවභාවිත කරති. බොහෝ දෙනා දේශපාලන හයියෙන් ඒ තැන්වල වැජඹෙන ජනතා මුදල් කාබාසීනියා කරන ආකාරය සුළු පටු නැත. කිසිදු උසස් නිලයක් හෙබවීමට නුසුදුසු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කළ දඬුවම පැමිණවූවකු වුවද යළිත් විලිලැජ්ජාවකින් තොරව ඉහළම තනතුරකට පත් කර ගැනීමට තරම් දේශපාලනය කුණුවී තිබේ. ජනතා මුදල් නාස්ති කරමින් ක්‍රියා කළ බවට ප්‍රසිද්ධ චෝදනා ලැබූ අය විදේශ සේවයේ උසස් ධුර සඳහා පත් කරන බාල ග්‍රාම්‍ය දේශපාලන අධිකාරිත්වය ගැන කිව හැක්කේ කුමක්ද?

මහජන මන්ත්‍රීවරයකුට හිමි වන වරප්‍රසාද භාවිත කරමින් දූෂණවල හා අක්‍රමිකතාවල යෙදීම අදත් බහුලව සිදුවේ. පසුගියදා රත්රන් හොරෙකැයි චෝදනා ලැබූ ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු ඒ සියල්ල කර ඇත්තේ ප්‍රභූවරයකුට ලැබෙන වරප්‍රසාද යොදා ගනිමින්ය. ඊටත් වඩා සරදම වන්නේ රත්තරන් හොරා ඉස්තරම්ම ජනතා සභාවේ අදත් අසුන් ගැනීමය. එපමණක් ද එදා එම රත්තරන් මගඩිය වෙනුවෙන් රේගුව විසින් ඔහුට නියම කරන ලද්දේ හොරබඩුවල වටිනාකමෙන් සියයට දහයක දඩයකැයිද කියති. එහෙත් ඒ වරද කළ විදේශීය හොරාට සියයට සියයක දඩයක් නියම වූ අතර ඔහුට හිරබත් කෑමට ද සිදුවිය. මේ අද තිබෙන නීතියේ විෂමතාව පිළිබඳ බින්දුවකි. මැල්කම් කාදිනල් රංජිත් හිමියන් චෝදනා කරන්නේ රටේ නීති දෙකක් තිබෙන බවය. අපව මුළා කර බලය ගත් ඒ පාලකයන් පන්නා දැමිය යුතු බවය.

මේ ආණ්ඩුව විසින් නිර්දය ලෙස මර්දනය කරන ලද ගාලු මුවදොර විරෝධතා ව්‍යාපාරයේ ප්‍රමුඛ ඉල්ලීම වූයේද මේ දූෂිත, වංචනික පාලකයන් පලවා හැරිය යුතු බවය. එහෙත් සිදු වූයේ ඒ මහජන විරෝධතාව නැඟූ සාධාරණ පුද්ගලයන් පවා හිංසාවට පීඩාවට ලක්කර සමස්ත විරෝධතාවම අශීලාචාර, දූෂිත, පහත් ව්‍යාපාරයක් ලෙස හඳුන්වා යළිත් ඒ අවකල් ක්‍රියාවලින් පිරිහී ගිය දේශපාලන ක්‍රමයම බලගැන්වීමක් නොවේද? විරෝධතා, උද්ඝෝෂණ යනු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මහජනයා සතු පරම අයිතියක් බව අපි පිළිගනිමු. ඒ සඳහා පැණසර නායකත්ව මඟ පෙන්වීමක් අද නැති තරම්ය. විපක්‍ෂය මෙහිදී මීට වඩා සක්‍රියවී ඒ ජනතා හඬ පාලකයන්ට ඇසීමට සැලැස්විය යුතුය. මේ වනවිට සංවාදයට ලක්ව තිබෙන විකාශන අධිකාරි පනත ඒ ප්‍රජාතන්ත්‍රවාදී කටහඬ වැසීම සඳහා ගෙන එන නීච මර්දනයකැයිද කියති. වහන්කරන්නට දෙයක් නැත්නම් පාලකයන්ට මර්දන නීති වුවමනා නොවේ. මොන වරද කළත් පාලකයන්ට රැකවරණ තිබේ. වරප්‍රසාද තිබේ. බීමට ගන්නා චතුර බෝතලගේ සිට සියල්ලම මහජන මුදලින් සිදු කෙරෙන, ජනතා මුදලින් නඩත්තු වන දේශපාලනඥයින් සිටින එකම රට ද මේ ශ්‍රී ලංකාව දැයි නොදනිමු. එහෙත් එය ලෝකයේ දුප්පත්ම රටවල් 20 අතරට වැටෙන රටක් බව නම් අපි දනිමු. බතක් නොඉඳෙන පැල්පත් බහුල සිනහවක් නොමැති මුහුණු සිය දහස් නොව ලක්ෂ ගණනින් තිබෙන රටක ඉරණම වෙනස් කිරීම පාලකයන්ගේ යුතුකම හා වගකීම නොවේද? පොලිසියකට ගොස් පෙට්ටියකින් ගෙදර ඒම, රෝහලකට ගොස් නිර්වින්දන නිද්‍රාවෙන් ජීවිතයෙන් සමු ගැනීම සිදුවන රටක වරප්‍රසාද ලත් පන්තියක් දේශපාලන මුව දඩයමේ යෑමේ දුෂ්ට පිළිවෙත වෙනස් විය යුතු නොවේද?

ආණ්ඩුව පමාවී හෝ ඒ සංඥාව රටට ලබාදීම අගයමු. දූෂණ විරෝධී පනත යනු පීඩිතයන්ගේ කඳුළ, සුසුම දුක වෙනස් කරන අපේක්‍ෂාවකි. ගාලු මුවදොර අරගලයෙන් අවදි කළ අභිනව දේශපාලන සංස්කෘතියක් උදෙසා යන ගමනක පළමු පියවරය එයයි. කළුසල්ලි කඳු බිමට සමතලා කිරීමටත් හොරා කෑ මහජන ධනය යළි ජනසතු කිරීමටත්, හොර පාරෙන් එතෙර ගිය අනිසි අසාධාරණ මුදල් යළි මෙරටට රැගෙන ඒමටත් ඒ දූෂණ විරෝධී පනත ශක්තිමත් එකක් විය යුතුය. එහෙත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේදී (21දා) විපක්‍ෂයෙන් ඉදිරිපත්වූ විවේචනයන්හි හරය වූයේ එය අතීතයට බලපාන පරිදි ක්‍රියාත්මක කළයුතු බවත් කිසිම චූදිතයකුට එයින් ගැලවීමට ඉඩක් නොතැබිය යුතු බවත්ය. ඇත්ත වසයෙන්ම දූෂණ විරෝධී පනත මගින් ජනතාව බලාපොරොත්තු වන්නේ මේ ආණ්ඩු කාල වකවානු තුළ නිල බලවලට රිංගා ගෙන මහා පරිමාණයේ දූෂණ සිදු කළ වත්කම් වංචනිකව උපයා ගෙන බිලියනපතියන් වූ අයට ද දඬුවම් දීමය. නාමිකව එබඳු පනතක් ඉදිරිපත් කිරීමෙන් ඒ අපේක්‍ෂා නම් ඉටු නොවේ. විපක්‍ෂයේ විවේචනය එයයි.

මෙහිදී සමහර මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ 1977න් පසු කාල සීමාව සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ යුතු බවය. තවත් අදහසක් වූයේ දූෂණ, වංචා හොරකම් අක්‍රමිකතා පිළිබඳ දැඩි විවේචන එල්ල වී තිබෙන ආසන්න අතීතය එනම් දසක දෙක තුනක පමණ කාලයවත් මෙහිදී සලකා බැලිය යුතු බවය. ඇත්තටම දූෂණ වංචා යනු නිදහසින් පසු පාලන යුගවල සිදු වූ බව සාපේක්‍ෂව පිළිගත හැකිය. එහෙත් 77න් ඇරඹුණු ජයවර්ධන පාලන සමයේ සිට 1990, 2000 වැනි දසක තෙක් මේ සම්බන්ධයෙන් තිබෙන විවේචන සුළුපටු නොවේ. මන්ත්‍රීවරුන් පවා මුදලට අලෙවි වූ බවට චෝදනා තිබේ. එසේම ඇතැම් ඇමැතිවරුන්ට විදේශ වත්කම් තිබුණු බවද හෙළිවී ඇත. දූෂිත රාජ්‍ය ගනු දෙනු ඩොලර් මිලියන ගණන් ගිණුම්වලට වැටුණු ආයතන ප්‍රධානීන් ගැන තිබෙන වාර්තා බොහෝය. ගුවන් සමාගමක එබඳු ගනුදෙනුවකට පිටරටක දී දඬුවම් පවා ලැබුණි. එහෙත් මෙරටේ ඒවා හුදු මාධ්‍යවල පළවු පුවත් පමණි. මහාචාර්ය ජී. එල්. පීරිස් මෙම විවාදයේදී ප්‍රකාශ කළේත් දූෂිත ගනු දෙනුවලින් උපයා ගන්නා ලද මුදල් එතෙර ආයෝජනය කෙරෙන බවය. මහාචාර්ය පීරිස් තවත් උත්ප්‍රාසය දනවන විවේචනයක්ද කළේය. එනම් මෙම පනතෙහි විධිවිධාන අනුව අල්ලසක් සම්බන්ධ දූෂිතයාට වසර හතක් සිර දඬුවමක් හිමිවන අතර සනාථ කළ නොහැකි එබඳු චෝදනාවක් නඟන ඔත්තුකරුවාට සිර දඬුවම ලෙස වසර දහයක් බවය. මෙය නම් නියම කැකිල්ලේ නීතියකි. අනේ සකෝ බල ලෝ යැයි කීම හැර මේ ගැන අපට නම් කිසිවක් පැවසිය නොහැක.

අද මෙරටේ දූෂණ වංචා අපරාධ හොරකම් මැඬලීම මහා ගැටලුවක්ව ඇත්තේද එබඳු තොරතුරු සපයන පුද්ගලයාට මුහුණ දීමට සිදුවන අනාරක්ෂිත භාවයයි. සාමාන්‍ය ජනයා පුරුදුවී ඇත්තේ මොන වරද අකටයුත්ත සිදු වුවත් අහක බලා ගෙන සිටීමට සිදු වුවත් අහක බලා ගෙන සිටීමටත් තමන්ගේ වැඩේ කර ගැනීමට පවතින දූෂිත ක්‍රමයක පිහිට පැතීමටත්ය. අල්ලසක් නොදී වැඩක් කර ගත හැකි රාජ්‍ය ආයතන කීයක් තිබේද හැම තැනකම ජාවාරම්කරුවෝය. බොහෝවිට ජාවාරමුන්ට ඇමැතියාගේ රැකවරණ ලැබෙයි. පසුගියදා චීන හොරෙක් ගුවන් තොටුපළින් රටට ඇතුළු වීමට රාජ්‍ය ඇමැතියෙක් මැදිහත් වෙද්දී අදාළ ඇමැතිවරයා ඒ හොර ගෙඩියා අල්ලා රටින් පිටුවහල් කළේය. කෝ එතැන හොරා රැක්ක මිනිහාට නීතිය!

මේ රට විනය පිරිහී ගිය, මූල්‍ය වංචා බහුල හොරුන්, තක්කඩියන් හුරතල් කරන අශිෂ්ට රටක් බවට පත් කළ දේශපාලනඥයන්ට දඬුවම් දිය යුතු නැද්ද? මේ පනත් ඉදිරිපත් කරන්නේ ගියදේත් ගියදේ න්‍යායටද? එහෙමත් නැත්නම් අශ්වයා පැනගිය පසු ඉස්තාලේ වසා දමන අමන ආකාරයට ද? මොකක් හෝ සිදුරක් හොයාගෙන නීතියෙන් රිංගා යෑමට අපේ රට කන දේශපාලනඥයන්ට බාධාවක් නැත. ඒ තක්කඩි හොරුන්ට නඩු පවරන්නේ ද තාක්ෂණික ප්‍රශ්නයක් පෙන්වා නිදහස් වීමටය. එහෙත් පොල්ගෙඩි කීපයක් හොරාගත් දැරියකට සිර දඬුවම් ය. මහ බැංකුව කොල්ලකෑ එකාත් හෙජින් ගනුදෙනු කළ එකාත් නිදැල්ලේය. නීතිය ඒකද? යුක්තිය එයද? දේශපාලන බිස්නස් එක පල්වළක් බවට පත්කරගත් අමන පිළිවෙත වෙනස් කෙරෙන මෙබඳු පනතක් රටට අවශ්‍යය. රාජ්‍ය ඇමැති ෂෙහාන් මෙම විවාදයේ දී කියා සිටියේ මේ වංචා අක්‍රමිකතා නැවැත්වීමට නීති ගෙනෙන ලෙස ආධාර දෙන රටවල් පවා ඉල්ලූ බවකි. දූෂණ සෙවීම ආපස්සට බලපාන නීති වුවමනා බව කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාද කීවේය. එහෙත් ගල් බිල්ලන් මෙන් සිටින චරිත ද මේ 225 අතර සිටිති.

ඇමැති විජේදාස කියන පරිදි ජනතා බලාපොරොත්තු ඉටුවන අයුරින් දූෂණ විරෝධී පනත් කෙටුම්පත සකස් කළේ නම් විපක්‍ෂ කරන විවේචන කුමකට ද ඇත්තට ම ජාතික ධනය හොරා කෑ කිසිවකුට නිදහස් වීමට ඉඩ තැබිය යුතු නැත. හොරකම් නොකළ දූෂණය, අල්ලස සිදු නොකළ කිසිවෙක් අතීතයට බලපාන පරිදි මේ පනත බලාත්මක කිරීමට විරුද්ධ නොවෙති. දෙකෝටියකට අධික ජනතාවක් ප්‍රපාතය කරා ගෙන ගිය එවුන් පසුගිය පාලන යුගවල සිටින බවට කෙරෙන අනුමානයන් විමර්ශනය කර සත්‍යය හෙළිකරගත හැකි ප්‍රතිපාදන මේ පනතට අත්‍යවශ්‍ය වේ. එසේ නොමැතිව නිකම්ම පතෝල වර්ගයේ පනතක් ගිනිතපින්නට දැයි කෙනෙක් අසන්නේ නම් එහිද වරදක් නැත. චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා පවසා තිබුණේ මෙම පනතට විපක්‍ෂයෙන් සංශෝධන 43ක් ඉදිරිපත් කර තිබෙන බවය.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment