කුරුල්ලකු පිට නැග ලොව වටා යන පුංචි සාරා

370

රටවල් 52ක් පසුකර ලෝකය වටා ගමන් කරයි

ගුවන් යානයේ වේගය පැයට කි.මි. 300යි

ගමනේ දුර කි.මි. 50,000යි

සමකය හරහා දෙවරක් ගමන් කරයි

කුරුල්ලෙක් බඳු සැහැල්ලූ ගුවන් යානයක නැඟුන ඇය ඉකුත් 28 වැනි දින මෙරටට පැමිණෙන්නී ය. කුඩා කල පටන් තමන් තුළ පැවැති සිහිනයක් සැබෑවක් බවට පත්කරගත් ඇය ඉකුත්දා මෙරට පැමිණියේ ලොව වටා යන තම දීර්ඝ ගුවන් ගමනෙහි එක් නවාතැන් පොළක් ලෙස මෙරට තෝරා ගැනීම හේතුවෙන්ය. තවමත් 19 හැවිරිදි වියේ රූමත් තරුණියකවන ඇය නමින් සාරා රදර්ෆඞ්ය. බෙල්ජියම බි‍්‍රතාන්‍ය සම්භවයක් ඇති සාරා රදර්ෆර්ඞ් සිය සැහැල්ලූ ගුවන් යානයෙන් මෙරට පැමිණි දිනය වනවිට ඇය විසින් ලොව වටා පියාසර කිරීමේ එම සංචාරය ආරම්භකොට මාස හතරකුත් දින දහයක් පමණ කාලයක් අවසන්කොට තිබීම විශේෂත්වයක්ය. තනි එන්ජිමක් සහිත මයික්‍රොලයිට් සැහැල්ලූ ගුවන් යානයක නැඟී තනිව එය හසුරුවමින් ලොව වටා ගමන් කරන මෙම දිරිය තරුණිය තවත් දින කිහිපයක් ගුවනේ ගමන් කිරීමෙන් අනතුරුව මාස ගණනාවක් පුරා සිදුකළ තම ගුවන් ගමන සාර්ථකව නිමා කිරීමත් සමඟ ඇගේ නම ලෝක ඉතිහාසයට එක්වීමට නියමිතව ඇත්තේ සැහැල්ලූ ගුවන්යානයක නැඟී ලොව වටා ගමන් කළ ලොව ළාබාලතම ගුවන් නියමුවරිය ලෙසින්ය.

සාරා මෙම සංචාරය හරහා අපේක්‍ෂා කරන්නේ තිස් හැවිරිදි ඇමරිකානු ජාතික ගුවන් නියමුවරියක් වන ශෙෂ්ටා වයිස් විසින් 2017 වර්ෂයේදී පිහිටවූ ලෝක වාර්තාව බිද හෙළීමය. ඒ සඳහා වන මූලික සුදුසුකමක් ලෙස ඇය විසින් ගුවන් නියමු බලපත‍්‍රය ලබා ගන්නේ 2020 වසරේදීය. ඒ වනවිට ඇයගේ වයස අවුරුදු 17 කි.

යුරෝපයේ නිෂ්පාදනය කරන ලද ඉහළ කාර්ය සාධනයක් සහිත අල්ට‍්‍රාලයිට් සැහැල්ලූ ගුවන් යානයක් තම දීර්ඝ සංචාරය පිණිස තෝරා ගනු ලබන සාරා රදර්ෆර්ඞ් සිය ගමන ආරම්භ කරනු ලබන්නේ ඉකුත් අගෝස්තු මස 18 වැනි දිනය. මෙම අවදානම් සහගත ගමන පිණිස තම දෙමාපියන්ගේ අවසරය පතන සාරා රදර්ෆර්ඞ්හට ඒ සඳහා බාධාවකින් තොරව අවසර ලබාදීමට ඇගේ දෙමාපියන් තීරණය කොට ඇත. ඊට ප‍්‍රධාන හේතුව සාරාගේ පියාණන් දක්ෂ පළපුරුදු ගුවන් නියමුවකු ලෙස කලක් තිස්සේ ඉහළ අහස දිග්විජය කළ පුද්ගලයකු වීමයි. එපමණක් නොව, නීතිඥවරියක වන සාරාගේ මව එම වෘත්තියට අමතරව ගුවන් නියමුවරියක් ලෙස කටයුතු කරමින් මනා පළපුරුද්දක් ලද කාන්තාවක්ය. එබැවින් ඇය විසින් තම දියණිය ආරම්භ කරන්නට යන ලොව වටා සංචාරය කිරීමේ ගුවන් ගමන සඳහා නොමඳ ආශිර්වාදයක් ලබා දෙන්නීය. එම දිරිගැන්වීම මත තමන් විසින් සිදුකිරීමට යන වික‍්‍රමාන්විත ගමන පිළිබඳ සියලූ තොරතුරු සිය යහළු යෙහෙළියන් හමුවේ සැලකර සිටීමට ද සාරා විසින් කටයුතු කර ඇත. ඒ අනුව මේ ළාබාල ගුවන් නියමුවරියගේ ලොව වටා යන සංචාරයට මූලික පසුබිම සකස් වන්නේ ඒ අකාරයෙන්ය. එම ගමන සඳහා ලොව රටවල් රාශියක් අනුග‍්‍රහය දැක්වීමට ඉදිරිපත් වන්නේ ඒ අනුවය. රූමත් ළාබාල තරුණියකගේ මේ අසිරිමත් සංචාරය ලෝකයේම අවධානය දිනාගත් සංචාරයක් බවට පත්වන්නේ එතැන් සිටය. මෙම ගුවන් ගමන ආරම්භ කරන අවධිය වනවිට සාරා රදර්ෆර්ඞ් නම් 19 හැවිරිදි තරුණිය සිය පාසල් අධ්‍යාපනය සාර්ථකව නිමාවට පත්කොට උසස් අධ්‍යාපනය පිණිස ප‍්‍රවිෂ්ට වීමට ඇඟිලි ගනිමින් පසුවූ තරුණියක්ය. ඇය මෙම සංචාරය සැලසුම් කරනු ලබන්නේ පාසල් අධ්‍යාපනයත් උසස් අධ්‍යාපනයත් අතර ඇයට හමුවූ අන්තර් කාල වකවානුව අතර තුර ලෝකය සියැසින් දැක ගැනීම පිණිසය.

ඉකුත් අගෝස්තු මස 18 වැනි දින සිය ලොව වටා ගමන ආරම්භ කරන සාරා මෙරට ළඟා වනවිට රටවල් 39ක් පමණක් පසුකරමින් තම සැහැල්ලූ ගුවන් යානය ඉහළ අහසේ පියාසර කොට තිබූ අතර ඇය මෙරට තෝරාගනු ලබන්නේ තම දීර්ඝ ගුවන්ගමනේ හතළිස්වන නවාතැන්පොළ ලෙසය. ගුවන සිසාරා තනිව යන ගමනේදී සිය නැවතුම් මධ්‍යස්ථානය පිළිබඳව පුළුල් අවධානයක් යොමු කරන සාරා එහිදී මෙරට භූ පිහිටීමේ පවතින සුවිශේෂතා කිහිපයක් හේතුවෙන් එම තෝරා ගැනීම සිදුකර ඇත.

ලොව වටා යන ගමනේදී රටවල් පනස් දෙකක් හරහා ගමන් කිරීම සාරාගේ අපේක්ෂාව බවට පත්ව ඇත. ඒ අනුව මේ වනවිටත් මෙරට ද ඇතුළුව ඇය විසින් රටවල් හතළිහක් පමණ පසුකොට ඇත. රටකින් තවත් රටක් වෙත පියාසර කරන ඇය පැය කිහිපයක් එසේත් නැත්නම් දිනක් හෝ දින දෙකක පමණ කෙටි විවේකයක් ලබාගැනීමෙන් අනතුරුව නැවත සිය සැහැල්ලූ ගුවන් යානය ගුවන් ගත කරනු ලබන්නේ තවත් රටක් වෙත හෝ එරටට ඉහළ අහසින් වෙනත් ගුවන් කලාපයක් වෙත පිවිසීමේ අරමුණින් යුක්තවය. ඇය විසින් ධාවනය කරනු ලබන ගුවන් යානය ද සුවිශේෂී නිර්මාණයකි. පැයට කිලෝමීටර් 300ක පමණ වේගයකින් ගමන් කළ හැකි එම ගුවන් යානය තුළ එක් අයකුට පමණක් ගමන් කිරීමේ හැකියාව පැවැතීම තවත් විශේෂත්වයකි.

කිලෝමීටර් 50,000කට අධික ගමන් මාර්ගයක් හරහා වැටී ඇති සාරාගේ සංචාරය පිණිස මේ වන තෙක් බරපතළ බාධක් අභියෝග හමු නොවීම ඇය ලද භාග්‍යයකි. වරින් වර වෙනස්වන කාලගුණික තත්ත්වයන් යටතේ විඳින්නට සිදුවූ යම් යම් අපහසුතාවයන් නොවන්නට ඇයගේ ගමනාන්තය අපේක්ෂා කළ දින වකවානුවලට අනුව නිමාවට පත්කිරීමේ හැකියාව තිබූ බවත් අවස්ථා දෙකකදී පමණ ඇමෙරිකාවේ ඇලස්කා ජනපදයේ සහ රුසියාවේ හටගත් අයහපත් කාලගුණික හේතු මත මාසයක පමණ කාලයක් නිකරුණේ ගත කිරීමට තමාට සිදුවූ බව සාරා රදර්ෆර්ඞ් විසින් ප‍්‍රකාශකර සිටියේ ඉකුත් 28 වැනි දා ඇය මෙරටට පැමිණීමෙන් පසුව පවත්වන මාධ්‍ය හමුවකදීය. මෙරට පැමිණීමට පෙර මහාද්වීප පහකට අයත් රටවල් විශාල ප‍්‍රමාණයක් තමන් විසින් ඒ වනවිට පසුකර ඇති බව ද ඇය විසින් එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා ය.

මෙම සුවිශේෂී සම්ප‍්‍රාප්තිකාව මෙරටට ළඟා වීම නිමිත්තෙන් ඉකුත් 28 වැනි දින රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ‍්‍රයේ චාම් උත්සවයක් ද සංවිධානය කර තිබූ ආකාරයක් දැක ගත හැකි විය. ඒ සඳහා සහභාගිවීමට මාධ්‍යවේදීන්හට ද අවස්ථාව උදා විය. එහිදී සාරා මෙරට පැමිණීමේ වැදගත්කම පිළිබඳ රත්මලාන ගුවන් තොටුපළ කළමනාකාර අරුණ රාජපක්ෂ මහතාගෙන් අප කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා සඳහන් කර සිටියේ සාරා රදර්ෆර්ඞ් ගේ මෙරට පැමිණීම අංශ කිහිපයක් ඔස්සේ රටට වැදගත්වන බවය. ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ගුවන්තොටුපළ කළමනාකාරවරයා මෙසේද පැවසීය.

19 හැවිරිදි තරුණියක් ගුවන් නියමුවරියක් ලෙස ලෝකය වටා යන ගමනේදී තමන්ගේ ගුවන් යානය ගොඩබස්සන්න රත්මලාන තෝරා ගැනීම සම්බන්ධව එහි කළමනාකාරවරයා හැටියටත් රටක් ලෙස ලංකාව තෝරා ගැනීම සම්බන්ධව ශ‍්‍රී ලාංකික පුරවැසියෙක් ලෙසත් මා ඇතුළු අපේ කාර්ය මණ්ඩලය ලොකු තෘප්තියක් මේ සිදුවීම හරහා ලබාගත්තා. එහි ප‍්‍රතිඵලයක් ලෙස තමයි සාරා රදර්ෆර්ඞ් පිළිගැනීම සඳහා උත්සවයක් පවා සංවිධානය කළේ. ඒ වගේම ඇයගේ පැමිණීම හරහා අපේ රට සම්බන්ධ ජාත්‍යන්තර අවධානය යොමු වෙනවා. ඒක අපේ සංචාරක ව්‍යාපාරය පැත්තෙන් ගත්තොත් හොඳ තත්ත්වයක්. ලෝකයේ රටවල් 52 ක් හරහා ගමන් කරන සංචාරයක් අතර තුර ඒ රටවල් 52 අතරට ශ‍්‍රී ලංකාව තෝරා ගැනීම තුළ සංචාරක ආකර්ෂණයක් නිතැතින්ම අපේ රට කෙරෙහි යොමු වෙනවා. ඒ අනුව සංචාරකයන් තමන්ගේ නිවාඩුව පිණිස අපේ රට තෝරා ගන්න වැඩි ඉඩකඩක් නිර්මාණය වෙනවා. ඒත් එක්කම මයික්‍රොලයිට් කියන සැහැල්ලූ ගුවන් යානයකින් ලෝකය වටා යන පළමු ගුවන් නියමුවරිය ලෙස සාරා රදර්ෆර්ඞ් ලංකාවට පය තබද්දී රටක් ලෙස අප ඇයව පිළිගත යුතුයි. ඒ හරහා ශ‍්‍රී ලාංකිකයන් සතු ආගන්තුක සත්කාරය පිළිබඳ ලෝකයේ අනෙකුත් රටවල් දකිනවා. ඒ හරහා රට පිළිබඳ වඩාත් හොඳ පැහැදීමක් ඒ අය තුළ ඇති වෙනවා. දේශීය ගුවන් ගමන් කේන්ද්‍රස්ථානය වගේම ගුවන් පුහුණු කේන්ද්‍රස්ථානය ලෙස හඳුන්වන රත්මලාන ගුවන් තොටුපළට මේ ගුවන් ගමන හරහා ජාත්‍යන්තර වශයෙන් විශාල කීර්තියක් හිමිවූ බවත් මේ වෙලාවේ සඳහන් කර සිටිනවා.

කුරුල්ලකු පිට නැග ලොව වටා යන පුංචි සාරා

සාරා රදර්ෆර්ඞ් ලොව වටා යන අසිරිමත් ගුවන් ගමන මෙරට ට වැදගත් වන්නේ ඇයගේ පැමිණීම හේතුවෙන් ජාත්‍යන්තරය තුළ මෙරට කෙරෙහි වැඩි අවධානයක් යොමු වීමය. ඉකුත් 28 වැනි දා අලූයම ඉන්දුනීසියාවෙන් ගමන් ආරම්භ කරන ඇය පැය හයයි විනාඩි හතළිස් පහක දීර්ඝ ගුවන් ගමනකින් අනතුරුව මෙරටට ළඟා වූ අතර තවත් රටවල් 12ක් හරහා ගමන් කිරීමෙන් අනතුරුව ඇයගේ සංචාරය නිමාවට පත්වීමට නියමිත ය. දින දෙකක පමණ කාලයක් මෙරට තුළ විවේකය ලබාගත් සාරා රදර්ෆර්ඞ් ඉකුත් 30 වැනි දින උදෑසන 11.00ට පමණ නැවතත් රත්මලානෙන් සිය ගුවන් යානය ඉහළ අහසට පියසර කරන ලද්දේ ඇයගේ ඊළඟ නවාතැනවන ඉන්දියාව බලා පිටත්ව යෑම පිණිසය. ඉන් අතුරුව එක්සත් එමීර් රාජ්‍යය ඇතුළු තවත් රටවල් කිහිපයක් පසු කිරීම ඇයගේ ඉලක්කය බවට පත්ව ඇත. යුවතියක් ලෙස තනිව නොබියව උඩු ගුවන තරණය කරන ඇය නුදුරු දිනක එම ත‍්‍රාසජනක චාරිකාව සාර්ථකව නිමා කිරීමට නියමිතව ඇත.

බෙල්ජියම්- බි‍්‍රතාන්‍යය සම්භවයක් සහිත මෙම දිරිය තරුණිය මෙරට තරුණ පරපුරට පරමාදර්ශයක් බවට පත්වන්නේ ඇය ළාබාල ගුවන් නියමුවරියක් ලෙස සිදුකරන ලොව වටා සංචාරය හේතුවෙන් නොව, තරුණියක් ලෙස එවැනි තීරණයක් ගැනීමට ඇය සතුව පැවැති එඩිතර බව සහ නිර්භීතභාවය හේතුවෙන්ය. එබැවින් ගුවන් ගමනක් නොව, බස් රථයක පවා තනිව ගමනක් යෑමට මැළිකමක් දක්වන මෙරට ඇතැම් තරුණියන්ට මෙන්ම ලොකු කුඩා ඕනෑම කෙනෙකුට සාරා රදර්ෆර්ඞ් පරමාදර්ශී චරිතයක් බවට පත්වන්නේ එබැවින් ය.

රුවන් ජයවර්ධන

****

කුරුල්ලකු පිට නැග ලොව වටා යන පුංචි සාරා

ඉහත සඳහන් සාරා රදර්ෆර්ඞ් වැනි තරුණියන් සැහැල්ලූ ගුවන් යානයක නැඟී ලොව වටා සංචාරය කරන අතර තුර මෙරට අභ්‍යන්තර ගුවන් සේවා සමාගම් සම්බන්ධව නිර්මාණය වෙමින් පවතින චිත‍්‍රය එතරම් යහපත් නැත. ඊට හේතුව බවට පත්ව ඇත්තේ ඉකුත් දින දහයක පමණ කාලය අතර තුර මෙරට අභ්‍යන්තර ගුවන් සේවා සමාගමකට අයත් සැහැල්ලූ ගුවන් යානා දෙකක් ගුවනේදී සිදු වූ යාන්ත‍්‍රික දෝෂ හේතුවෙන් හදිසියේ ගොඩ බැස්ස වීමට සිදුවීම ය.

ඉන් එක් සැහැල්ලූ ගුවන් යානයක් ප‍්‍රධාන ගුවන් නියමුවෙක් සහ පුහුණුව ලබන ගුවන් නියමුවෙක් විසින් පියාසර කරවමින් තිබියදී හටගත් කාර්මික දෝෂයක් හේතුවෙන් ඉකුත් 22 වැනි දින කුඩා පයාගල වෙරළ තීරයට ගොඩබස්සවා තිබූ අතර ඒ ආකාරයේම කාර්මික දෝෂයක් හේතුවෙන් වෙනත් ගුවන් යානයක් සීගිරිය සිට කොග්ගල බලා පියාසර කරමින් පවතින අතරතුර හදිසි කාර්මික දෝෂයකට ලක්වන්නේ මීගමුව උස්වැටකෙයියාව ප‍්‍රදේශය පසු කරමින් තිබියදීය. ලෙබනන් යුවළක් රැගත් එම ගුවන් යානය තුළ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් එලෙස ගොඩබස්සවනු ලබන්නේ ඉකුත් 27 වැනි දිනය. එම ගුවන් යානය ගුවන් නියමුවරයකු සහ නියමුවරියක් මැදිහත්වීම මත ගුවන් ගත වූ ගුවන් යානයකි. හදිසියේ හටගත් එම අනතුර හේතුවෙන් එහි ගමන් ගත් සිව්දෙනකු රෝහල්ගත කළ බවත් එම පිරිස අතරට තම මධුසමය ගත කිරීම පිණිස මෙරටට පැමිණ සිටි ලෙබනන් යුවළ ද අයත් බවත් එම අනතුර පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් පසුගියදා පොලිස් මූලස්ථානය සඳහන් කර සිටියේය.

අනතුරට පත් ලෙබනන් යුවළ රැගත් ගුවන් යානය සෙස්නා 172 වර්ගයේ සැහැල්ලූ ගුවන් යානයක්ය.

  • සෙස්නා 172 ගුවන් යානා ඉතිහාසය

1955 වර්ෂයේදී ඇමෙරිකාවේ නිෂ්පාදනය කරනු ලබන මෙම ගුවන් යානය මුල්වරට ලෝකයට හඳුන්වා දෙන ලද්දේ 1956 වර්ෂයේදී ය. තනි ගුවන් යානා එංජිමකින් සමන්විත මෙහි එකවර ගමන් කළ හැකි ගුවන් මගීන් සංඛ්‍යාව 4 කි. මෙම ගුවන් යානාව නිෂ්පාදනය කිරීමට පෙර 1948 වර්ෂයේදී සෙස්නා 170 වර්ගයේ සැහැල්ලූ ගුවන් යානයක් මුල් වරට නිෂ්පාදනය කර තිබෙන අතර සෙස්නා 172 ගුවන් යානය නිපදවනු ලබන්නේ 1948 වසරේ නිෂ්පාදිත සෙස්නා 170 ගුවන් යානා තාක්‍ෂණයේ වැඩි දියුණු කරන ලද පියවරක් වශයෙන්ය. මේ වනවිට සෙස්නා 172 ගුවන් යානා 44,000ක් පමණ නිෂ්පාදනය කර තිබෙන අතර වර්ෂ 2020 පමණ වනවිට මෙම ගුවන් යානයක වෙළෙඳපොළ වටිනාකම ඇ. ඩොලර් 307500 කි. සම්පූර්ණ ඉන්ධන පිරවීමෙන් අනතුරුව ගුවන් සැතපුම් 800ක පමණ දුරක් ගමන් කළ හැකි මෙම ගුවන් යානාවක් ගුවන් ගත කිරීම පිණිස සැතපුමකට අධික දිගකින් යුත් ගුවන් පථයක් භාවිත කරනු ලැබේ. මෙම වර්ගයට අයත් ගුවන් යානාවක් 1959 වර්ෂයේදී ලොව වටා හය වරක් පියාසර කොට ලෝක වර්තාවක් තබා ඇත. එම ගුවන් යානය ඇමෙරිකාවේ ලාස් වේගාස් හී පිහිටි මැක්කැරන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මහජන ප‍්‍රදර්ශනයට තබා ඇත. ආරම්භක අවධියේදී ලී සහ ෆයිබර් යොදා ගනිමින් නිෂ්පාදිත සෙස්නා ගුවන් යානා ඉතිහාසය ගත් කල දැනට රට රටවල අභ්‍යන්තර ගුවන් ගමන් පිණිස යොදා ගනු ලබන සෙස්නා 172 වර්ගයේ ගුවන් යානා බොහෝමයක් නිපදවා ඇත්තේ 1996 වර්ෂයේදී ය. මේ වනවිට මෙම වර්ගයට අයත් ගුවන් යානා අනතුරු 172ක් පමණ වාර්තා වී ඇත.

ඉහත සැකෙවින් විස්තර කරන ලද්දේ ඉකුත් 27 දා උස්වැටකෙයියාව ප‍්‍රදේශයේදී අනතුරට පත් සෙස්නා 172 ගුවන් යානා පිළිබඳ ඉතිහාසයේ සඳහන් තොරතුරු කීපයක්ය. ඉකුත්දා අනතුරට පත් සෙස්නා 172 ගුවන් යානාව අයත් පෞද්ගලික ගුවන් සමාගමේ ගුවන් ගමන් බලපත‍්‍රය අහෝසි කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් මේ වනවිටත් කටයුතු කර තිබෙන අතර එම අනතුර සම්බන්ධව ඉදිරියේදී පූර්ණ පරීක්‍ෂණයක් සිදු කිරීමට ද නියමිතය. ගුවන් යානය හදිසි කාර්මික දෝෂයකට ලක් වන්නේ කුමන හේතුවක් මත ද යන පැනයට නිශ්චිත පිළිතුරක් හිමි වන්නේ එම පරීක්‍ෂණ කටයුතු ආදියෙන් අනතුරුවය. කෙසේ වෙතත් මෙවැනි තත්ත්වයක් දිගින් දිගට ම සිදුවීම තුළ මෙරට අභ්‍යන්තර ගුවන් ගමන් පිළිබඳ ගුවන් මගීන් තුළ පවතින විශ්වාසය පළුදු වීම පිණිස ප‍්‍රබල බලපෑමක් එල්ල කරනු ඇත. විශේෂයෙන්ම විදේශයන් තුළ මෙරට අභ්‍යන්තර ගුවන් සේවා සමාගම් පිළිබඳ එවැනි චිත‍්‍රයක් නිර්මාණය වීම පොදුවේ මෙරට සංචාරක ව්‍යාපාරය පිණිස දැඩිව බලපෑම් කරන කරුණක් බවට පත්වීමට බොහෝ දුරට ඉඩකඩ ඇත. මෙ සිදුවීම් සම්බන්ධයෙන් කඩිනම් පරීක්‍ෂණ පවත්වා වරද නිවැරදි කළ යුත්තේ එබැවින්ය. එය කඩිනමින් සිදු කළ යුත්තක් බව රටේ බොහෝ දෙනකුගේ මතය බවට පත්ව ඇත්තේ අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා දැමීමෙන් ඵලක් නොවන බව මෙරට බහුතරයක් දෙනා අත්දැකීමෙන් පසක් කොට ගෙන ඇති බැවින්ය.

advertistmentadvertistment
advertistmentadvertistment