වටහා ගැනීම ප්‍රමාද නොකිරීම!

319

මෙරට චීන තානාපති කියු සෙ හොන් මහතා කඩිනමින් දෙවන වරටත් පසුගිය නොවැම්බර් මස 5-7 යන දිනයන් හි උතුරු පළාතේ සංචාරය කළ අතර එහිදී ව්‍යාපෘතියක් ද සංවිධානය කළේය. උතුරු පළාතේ යාපනය, වවුනියාව, මුලතිව්, කිලිනොච්චි සහ මන්නාරම යන ප්‍රදේශවල පවුල් කිහිපයක් සඳහා වියළි ආහාර තොග බෙදා දීම මෙහි දී සිදු කරන්නට යෙදුණි.

මෙම අවස්ථවේ දී අදහස් දැක්වූ චීන තානාපති පැවසුවේ “ආගම, ජාතිය, සංස්කෘතිය ආදී වෙනස්කම් නොසලකා චීනය ලාංකිකයන්ට උදව් උපකාර කරන බව” යි. එහිදී “ බෞද්ධ, හින්දු, මුස්ලිම් කතෝලික ආදී ජනයා ඔවුන්ගේ මිතුරන් බව ” ඔහු පවසා ඇත. නමුත් ඔවුන් මෙම ව්‍යාපෘතියට යොදා ගත් නාමයෙන් ම එම ප්‍රකාශයට පරස්පර බවක් අරෝපණය වේ. ව්‍යාපෘතියෙහි නම ‘ෆාහියන් පුණ්‍යාධාර ව්‍යාපෘතිය’(Faxian Charity Project) යන්නයි. ෆාහියන් යනු ක්‍රි.ව. 5 වැනි සියවසේ වාසය කළ චීන ජාතික බෞද්ධ භික්ෂුවකි. උපසම්පදාවෙන් පසු විනය පිටකය සොයා වර්ෂ 15ක් තිස්සේ මධ්‍යම ආසියාවේ රාජධානි 35ක පමණ සංචාරය කළ උන්වහන්සේ ලංකාවේ දී සූත්‍ර හා විනය පිටක ග්‍රන්ථ පිටපත් කරගෙන නැවත මුහුදු මාර්ග ඔස්සේ චීනයට පිටත් ව ගොස් ඇත. එහිදී උන්වහන්සේ ලංකාවේ දී ලබාගත් අත්දැකීම් ආශ්‍රයෙන් ග්‍රන්ථයක් ද රචනා කර ඇත. එම ග්‍රන්ථ සටහන් ලාංකිකයන් බොහෝ විට ඉතිහාස අධ්‍යයනයේ දී යොදා ගන්නා බැවින් ෆාහියන් නාමය මෙරට ප්‍රසිද්ධ ය. එමෙන් ම එය පැරණි ම චීන – ලංකා බෞද්ධ සබඳතාවය ද වේ. පුණ්‍ය කටයුතු සිදු නොකළ හුදෙක් දේශාටකයෙක් වූ ෆාහියන් හිමිගේ නාමය මෙලෙස චීනය සිය පුණ්‍යාධාර ව්‍යාපෘතිවලදී යොදාගන්නේ ඊට යොදා ගන්නා මහායාන බෞද්ධ පසුබිම වක්‍රෝක්තියෙන් හැඟවීම පිණිස ම ය. එමෙන් ම ඔවුන් ලංකාව තුළ දියත් කරන සියලු ආධාර ව්‍යාපෘතිවල දී බෞද්ධ නායක, අනුනායක භික්ෂූන් වහන්සේ, පන්සල් යොදා ගැනීම අනිවාර්ය කරුණක් වී ඇත.

එමෙන් ම චීන තානාපති වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ “ජාති හා ආගම් අතර වෙනස් ඉක්මවා ආදරය හටගත යුතු බවත් කරුණාව, මෛත්‍රිය සියලු සීමා මායිම් පසු කර ගමන් කර යුතු බවත්” ය. නමුත් චීනය මෙම සියලු ප්‍රතිපත්ති. ප්‍රකාශ අනුගමනය කරන බව පෙනෙන්නේ වෙනත් රටවල දී පමණි. චීනය තුළ නොවේ. එරට බෞද්ධාගම ද ඇතුළුව සියලු ආගම් සහ ඇදහිලි රජයට යටත් ය. ආගමික ස්ථානවල දී දේශනා පැවැත්විය යුත්තේ රජයේ අනුදැනුම මතය. පිටත දී දේශනා හෝ ආගමික කටයුතු තහනම් ය. ආගමික ස්ථානවලට රජය මඟින් නියෝජිතයන් පත් කර ඇති අතර ඒවාට ලැබෙන සියලු ආධාර, පරිත්‍යාග රජයට යැවිය යුතු ය. එලෙස රට තුළ ආගමට විශ්වාසයන්ට දැඩි වාරණ පනවන චීනය රටින් පිට මවා පාන්නේ වෙනස් ම වූ ව්‍යාජ මුහුණුවරක්ද?.

උක්ත ව්‍යාපෘතියට චීනය රුපියල් මිලියන 37.5ක මුදලක් වැය කොට ඇති බව ලංකාවේ මාධ්‍යය ද විශාල අකුරින් පුවත් පළ කර උලුප්පා තිබුණි. නමුත් සියලු රාජ්‍යයන් අභිබවා යන ශක්තිමත් ආර්ථිකයක් ඇති චීනයට එම මුදල සොච්චම් මුදලක් පමණි. 2023 වසරේ ගෙවුණු මාස 06 දී පමණක් චීනයේ දළ දේශීය නිෂ්පාදිතය චීන යුවාන් ටි්‍රලියන 59.3කි. එමෙන් ම ගෙවුණු වසර 05 තුළ විනය විදේශීය ආයෝජන මත ලාභ අනුපාත 9.1% ක් අත්පත් කරගෙන ඇත. ඊට ලංකාවේ ව්‍යාපෘති ද ඇතුළත් ය. ඉන් හැඟවෙන්නේ මෙරටින් ම ලාභ ලබා ඉන් සොච්චමක් නැවත අපට ම ලබා දීම නොවේද?

එමෙන් ම චීන තානාපති පවසන ආකාරයට “චීනය සහ ලංකාව අතර ඇත්තේ දිගු කාලීන සංස්කෘතික මිත්‍රත්වයකි. (එය සැබෑවකි) එහෙයින් ලංකාව මුහුණපාන සියලු දුෂ්කර අවස්ථාවල දී චීනය ලංකාවට සහයට සිටියි.” එසේ නම් ඔවුන් ලංකාව පසුගිය දිනෙක IMF මූල්‍ය අරමුදලින් විස්තීර්ණ ණය පහසුකමක් අනුමත කර ගැනීමට උත්සාහ දරන විට අවශ්‍ය සහය කඩිනමින් ලබා නොදුන්නේ ඇයි? ඔවුන් ණය පහසුකමක් ලබා දෙන බව පසුව ප්‍රකාශ කළ ද ඊට හේතුව වූයේ ද ඉන්දියාව ණය පහසුකමක් ලබා දීමට කටයුතු කිරීමයි. එසේම ඔවුන් එකඟතාව IMF වෙත ලබා දුන්නේ අවසාන මොහොතේ අනිත් සියලු රටවල් අපට සහය දැක්වීමට ඉදිරිපත් වූ පසුව ය.

එමෙන් ම ඔවුන් තවත් රුපියල් මිලියන 150ක් උතුරු ප්‍රදේශයට වියළි ආහාර, මුහුදු ආම්පන්න හා නිවාස සාදා ගැනීම සඳහා ආධාර වශයෙන් ලබා දීමට ද පොරොන්දු වී ඇත. එලෙස උතුරු පළාත ම ඔවුන් ඉලක්ක කරන්නේ උතුරු පළාතට නිරන්තරයෙන් ලැබෙන ඉන්දියානු සහය මඟ හැරවීමට නොවේ ද ? එමෙන් ම උක්ත ව්‍යාපෘතියේ දී ද ආහාර ද්‍රව්‍ය බෙදා හැරියේ විශාල අකුරින් චීනයේ සහභාගීත්වය මුද්‍රණය කර දැන්වීමක් ඇල වූ පෙට්ටියක බහාලීමෙනි. රාජ්‍ය තාන්ත්‍රික පුණ්‍යධාර ව්‍යාපෘතිවල දී මෙවන් ප්‍රචාරණ කුමට ද? එමෙන් ම මෙහි දී එක් පවුලකට ලැබී ඇත්තේ රු.7,500 ක පමණ වටිනා කමැති ආහාර ද්‍රව්‍යයන් ය. වත්මන් ආර්ථිකය අනුව එය සතියකටවත් පෑහේද?

විදෙස් බලවේගයන්ගෙන් නිරන්තර අපි පීඩා වින්දෙමු. පෞඪ ජාතියක්ව සිටි අප අහසින් වැටෙන දිය බිඳ පවා අපතේ නොයවා සමෘද්ධිමත් තත්වයකින් පසු වුයෙමු. එසමයෙහි අප අන් රටවලට දුන්නා විනා ගත්තා නොවේ. පෙරදිග සාගරයේ මුතු ඇටය යැයි අප රට හැඳින් වූයේ එහෙයිනි. 1960 දී චීනයට පවා ණය දුන් ශක්තිමත් රටකි අප. එහෙත් අප ඉන්පසු රැවටිල්ලට, වංචාවට හසු විය. පෘතුග්‍රීසි, ලංදේසි හා ඉංග්‍රීසින්ට යටත් වූ ආකාරයෙන් එය මනාව වැටහේ.

අප තාවකාලික සහනයකට දිගුකාලීන සහනය පාවා දී ඇත්තෙමු. ආගම හෝ විශ්වාසයන් පසුපස හිඳ පැමිණෙන බලවේගයන් හි යථාර්ථය දැන්වත් අප අවබෝධ කර ගත යුතු ය. නැතහොත් අපට අත් වන්නේ ද තවත් රටක කොලනියක් බවට පත් වීමටද?.

● ආචාර්ය විමල් ගුණසේකර

advertistmentadvertistment
advertistmentadvertistment