චැනල් ෆෝ යුද්දේ ඇහුනද මාර සද්දේ!

702

ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විපක්‍ෂය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනා විවාදයට වඩා බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව සමාජ ගත කළ පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර්තා චිත්‍රපටය සමාජ දේශපාලන අංශවල අවධානයට ලක්වී තිබීම පුදුමයක් නොවේ. ඩිස්පැචර්ස් Dispatches නමින් හැඳින්වූ එම වාර්තා චිත්‍රපටය විනාඩි පනහකට ආසන්න කාලයක් වැයකරමින් දැක්වෙන සිදුවීම් මාලාව හුදු පාස්කු බෝම්බයට පමණක් සීමා වූවක් ද නොවේ. මෙම අනාවරණය තුළ රාජපක්‍ෂවරුන්ගේ පාලන සමයේදී සිදු වූ අතිශය ආන්දෝලනාත්මක පුවතක් වන ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන ද සිහිපත් කර තිබීම විශේෂත්වයකි. ‘චැනල් ෆෝ’ යනු මෙරටේ බහුතර ජනතාවකගේ කුතුහලයට පමණක් නොව මතභේදයට ද තුඩු දුන් නාලිකාවකි. ඔවුන් පසුපස දෙමළ ඩයස්පෝරාව මෙන්ම මෙරටේ සිදු වූ මානුෂික මෙහෙයුම නිසා අපේක්‍ෂා භංගත්වයට පත් වූ විවිධ කණ්ඩායම් ද සිටින බව රහසක් නොවේ. නිසැකයෙන් ම ඔවුන්ට රාජපක්‍ෂ විරෝධී න්‍යායපත්‍රයක් තිබෙන බව පැහැදිලි ය. පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් කතා කළ නාමල් රාජපක්‍ෂ විසින් ද චැනල් ෆෝ යනු තම පවුල කෙරෙහි වෛරයෙන් පෙළෙන නාලිකාවක් බව අවධාරණය කළේය. එහෙත් එසේ වූ පමණින් මෙම අලුත් අනාවරණය එහෙමපිටින් ම කෝන්තර පිරිමැසීමක් හෝ මඩක් ලෙස ප්‍රතික්‍ෂේප කළ හැකිද?

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිරන්තරවම අපේ පාලකයන්ට විවේචන හා චෝදනා නඟන මැල්කම් රංජිත් කාදිනල්තුමා අවධාරණය කරන්නේ ද තම කිතුනු ජනතාව ප්‍රමුඛ මෙම වධයට ගොදුරු වී අද දවසේත් විඳවන සියලු දෙනාටම සාධාරණය හා යුක්තිය ඉටු විය යුතු බව ය. කාදිනල්තුමාගේ එම ස්ථාවරය ඉතා නිවැරදි ය. මේ විපත අහසින් කඩා වැටුණු එකක් නොවේ. එය සැලසුම් ගත දුෂ්ට කුමන්ත්‍රණයක ඵලයක් බව නිසැකය. එහෙත් මෙතෙක් ඒ අපරාධයේ අඳුරු සෙවණැලි හෙළිදරව් වී නොමැත. මේ සම්බන්ධයෙන් දේශපාලන හෝ වෙන කවර ආකාරයක හෝ බලපෑමක් තිබේද? යන උභතෝකෝටිකය රටට හෙළිකර දීම පාලක වගකීමකි.

කාදිනල්තුමා පමණක් නොව විපක්‍ෂ නායක සජිත් ද සෘජුවම පවසන්නේ චැනල් ෆෝ හෙළිකරන ඒ සිදුවීම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ජාත්‍යන්තර කොමිසමක් පත්කළ යුතු බවය. ඇත්ත වශයෙන් ම එම වාර්තාවේ ඇත්ත නැත්ත දැන ගැනීම සඳහා විමර්ශනයක් සිදුකළ යුතුමය. තේරීම් කාරක සභාවකින් ඒ කාර්ය ඉටුකර ගත නොහැකි බව ඇතැම් මන්ත්‍රීවරුන්ම පවසති. මෙ රටේ බොහෝ සිදුවීම් සම්බන්ධයෙන් විමසා බලා වාර්තා ලබාදීමට පත්කරන ලද බොහෝ කොමිසම් සම්බන්ධයෙන් ද දැඩි විවේචන තිබේ. කොහොමටත් දේශපාලන බැඳීම් හා එබඳු සබඳතාවන් නිසා සත්‍ය හෙළිකිරීමට වඩා සිදුවන්නේ එය වසා තැබීමක් බව අපගේ ද අදහසය.

චැනල් ෆෝ අනාවරණයෙහි මූලාශ්‍ර ගැන ද ප්‍රශ්න තිබේ. එහි ප්‍රමුඛයකු වන අසාද් මවුලානා මේ වනවිට ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ ලබමින් සිටින්නෙකි. ඔහු කලක් පිල්ලෙයාන්ගේ (සිවනේශතුරෙයි චන්‍ද්‍රකාන්ත) මාධ්‍ය ලේකම්වරයකු ලෙස ද ක්‍රියාකර ඇතැයි හෙළි වී තිබේ. වාර්තා චිත්‍රපටයේ දැක්වෙන ආකාරයට නම් මෙකී අසාද් මව්ලානා බුද්ධි අංශ ප්‍රධානියකු වූ සුරේෂ් සලේ සමග ද සම්බන්ධව මෙම ප්‍රහාරයට අනුග්‍රහය ලබා දුන් අයෙකි. චැනල් ෆෝ වාර්තා චිත්‍රපටය නිෂ්පාදනය හා අධ්‍යක්‍ෂණය කළ කණ්ඩායමේ අභිලාෂය කුමක්ද? යන ප්‍රශ්නය ද බැහැර කළ නොහැක. පාස්කු ප්‍රහාරය වැනි ම්ලේච්ඡ ඝාතනයක් වළලා දැමීම මානව හිතවාදී කිසිදු පුද්ගලයකුට අනුමත කළ නොහැක. එහෙත් මේ චිත්‍රපටයේ මූලාශ්‍ර, එය එළිදැක්වෙන කාලවකවානුව සම්බන්ධයෙන් රාජපක්‍ෂ පාර්ශ්වයෙන් කෙරෙන විවේචනවලට ද පදනමක් තිබේ. මෙහි එන අසාද් මව්ලානා මෙන්ම මෙරටේ හිටපු සී.අයි.ඩී. නිලධාරියකු වූ නිශාන්ත ද සිල්වා යන දෙදෙනාම ස්විට්සර්ලන්තයේ දැනට පදිංචිව සිටින්නෝ ය. එසේම මෙහිදී කරුණු දක්වන මාධ්‍යවේදිනී ෆෙඩ්රිකා ජෑන්ස් ද සුදු කොඩි නඩුවේ සාක්‍ෂිකාරියකි. ඇය හා ගෝඨාභය අතර සුහදතාවක් නොවීය. ලසන්තගේ සොහොයුරකු වන ලාල් වික්‍රමතුංග ද මෙහිදී අදහස් දක්වා තිබුණි. මෙයට අමතරව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ අම්බිතා සත්ගුණනාදන් හා ජනාධිපති නීතිඥ සරත් කෝන්ගහගේ ද එහිදී අදහස් දක්වා තිබුණි. මේ සම්බන්ධයෙන් අපක්‍ෂපාතී විමර්ශනයක් කරන පිරිසක් විසින් ඒ ඒ මූලාශ්‍ර හා ඔවුන්ගේ බැඳියාවන් සම්බන්ධයෙන් ද විමසා බැලිය යුතුය. මෙම වාර්තා චිත්‍රපටය නරඹන ප්‍රේක්‍ෂකයන්ට රාජපක්‍ෂ පාලන යුගයේ විවිධ පුවත් හා ක්‍රියාකාරකම් ද සිහියට නැගෙනු ඇත. පාස්කු ඝාතනය සම්බන්ධයෙන් චැනල් ෆෝ කරුණු දක්වන ආකාරයෙන් හා රූපරාමුවලින් ද ඔවුන් තුළ නිදන්ගතව තිබෙන රාජපක්‍ෂ විරෝධය ගැන ද පැහැදිලි වනු ඇත. සහරාන් ඇතුළු ඝාතකයන්ගේ රූපරාමු, ඔවුන් ගැවසුනු ස්ථාන ආදිය ද එම චිත්‍රපටයට ජීවයක් එකතු කර තිබේ.

චැනල් ෆෝ යුද්දේ ඇහුනද මාර සද්දේ!

කෙසේ හෝ මෙම ආන්දෝලනාත්මක චැනල් ෆෝ අනාවරණය ඉඳුරා ප්‍රතික්‍ෂේප කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ විසින් දීර්ඝ නිවේදනයක් ද කරනු ලැබ ඇත. මෙහි සඳහන් ප්‍රහාරකයන් සමඟ තමන්ට කිසිදු සබඳතාවක් නොවූ බවත්, තම ජයග්‍රහණය සඳහා මෙවැනි ප්‍රහාරයක් සිදුකිරීමට මුස්ලිම් අන්තවාදීන් යොදාගත්තේ යැයි කීම ජුගුප්සාජනක චෝදනාවක් බව ද ගෝඨාභයගේ නිවේදනයෙහි දැක් වේ. යහපාලන ආණ්ඩු සමයේ නොසැලකිල්ල නිසා මෙම විනාශය සිදු වූ බවට පොදු පිළිගැනීමක් ද ඇතැයි සඳහන් කරන ඔහු මෙය රාජපක්‍ෂවරුන්ට ගැසූ මඩ ප්‍රහාරයක් බව ද සඳහන් කරයි. කුමක් වුවත් මේ වනවිට විවිධ පාර්ශ්ව හා සංවිධාන මේ චැනල් ෆෝ චිත්‍රපටය ගැන කරුණු දක්වයි. එහෙත් ඒවා ගැන විවරණ කිරීමට අපට නොහැක. මෙය ප්‍රබන්ධයක් ද? වෛරී චිත්‍රපටයක් ද යන්න හෙළිකර ගැනීමට විමර්ශනයක් සිදුකළ යුතුය. ආණ්ඩුවේ ඇමැතිවරයෙක් වන ප්‍රමිත බණ්ඩාර ද එය බොරුවකැයි පාර්ලිමේන්තුවේදී පැවසීය. පිල්ලෙයාන් ද මේ සම්බන්ධයෙන් රහස් පොලිසියට පැමිණිලි කර තිබෙන අතර බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ තමන්ට එරෙහිව තිබෙන සියලු චෝදනා ප්‍රතික්‍ෂේප කරන බව ද පවසා ඇත. එසේම ඔහු චැනල් ෆෝ නාලිකාවට ලිපියක් මගින් ඒ සියලු තොරතුරු ප්‍රතික්‍ෂේප කරන බවට දැනුම්දීමක් ද කර ඇත.

කෙසේ හෝ චැනල් ෆෝ නාලිකාව සම්බන්ධයෙන් තිබෙන විවේචන චෝදනා හා මාධ්‍ය භාවිතය කුමක් වුවද ඔවුන්ගේ මෙම අනාවරණයෙහි සත්‍යතාව නම් රටට හෙළිවිය යුතුය. ජිනීවා මානව හිමිකම් කොමිසමට ගතු කේලාම් කියන හා දෙමළ බෙදුම්වාදයට අනුග්‍රහ දක්වන පක්‍ෂපාතී මාධ්‍ය මෙහෙයුම් පිළිබඳ චැනල් ෆෝවලට තිබෙන කුප්‍රකට ප්‍රසිද්ධිය පිළිබඳ යථාර්ථය ද එබඳු විමර්ශනයකින් අපට දැනගත හැකි වනු ඇත. එ. ජා. මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය විසින් මෙවර ඉදිරිපත් කරන ලද වාර්තාවෙන් ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විවේචන හා චෝදනාවලියක් ද පෙළගස්වා තිබේ.

එ. ජා. මානව හිමිකම් කොමසාරිස් වෝල්කර් ටර්ක් ද පාස්කු අනාවරණය පිළිබඳ ජාත්‍යන්තර සහාය ද සහිත කොමිසමක් මගින් විමර්ශනයක් කළ යුතු බවට යෝජනා කර තිබේ.

රාජපක්‍ෂවරුන් පමණක් නොව ගෝඨාභයගේ උපදේශකත්වයෙන් සිදුකළ මානුෂික මෙහෙයුම නිසා අදටත් අපේ ආරක්‍ෂක ප්‍රධානීන්ට ප්‍රශ්නවලට මුහුණදීමට සිදුව තිබේ. විශේෂයෙන් චැනල් ෆෝ ඒ සම්බන්ධයෙන් දැක්වූ වාර්තා චිත්‍රපට ද ආණ්ඩුව විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබ ඇත. ඇත්ත වශයෙන්ම මෙම වාර්තා චිත්‍රපට සඳහා යොදා ගනු ලබන මූලාශ්‍ර සම්බන්ධයෙන් පෙනෙන පක්‍ෂග්‍රාහී ස්වරූපය පැහැදිලිය. එහෙත් සත්‍යය යනු වෙනම නිර්මල දිය දහරක් මෙන් නිශ්චිතව තිබෙන්නකි. විවිධ දේශපාලන අභිලාශයන් හා වෙනත් කිළිටි අරමුණුවලින් ද ඒ නිර්මල සත්‍යය යටපත් කළ නොහැක. සත්‍ය පාවහන් පැළඳ ගැනීමට සැරසෙන විට අසත්‍ය සක්වල ගල වටාත් ඇවිද ආපසු එන බවට කියමනක් ද ඇත. එනිසා මේ අනාවරණයන්වල සත්‍යයක් තිබේ දැයි විමර්ශනයකින් හෙළිවුවහොත් චැනල් ෆෝ නඩයට මෙන්ම රාජපක්‍ෂ කඳවුරට ද එය ප්‍රතික්‍ෂේප කළ නොහැකිය. දෙපාර්ශ්වයේම කරුණු පැහැදිලි කිරීම් සාක්‍ෂි සියල්ල වෙන වෙනම විමර්ශනය කළ හැකි වන්නේ බැඳීම්වලින් තොර විනිශ්චය මණ්ඩලයකට පමණි. ගවේෂණශිලී මාධ්‍ය භාවිතයකින් ද එබඳු කාර්යයකදී අනුග්‍රහ උපකාර කළ හැකිය.

දැන් අප අවධානය යොමුවන්නේ මේ ලියන මොහොත වනවිටත් පාර්ලිමේන්තුව මැදිවී සිටින සෞඛ්‍ය ඇමැතිවරයාට එරෙහිව ඉදිරිපත්ව තිබෙන විශ්වාසභංග යෝජනා විවාදය කෙරෙහි ය. මේ විවාදය ජය ගැනීමට වුවමනා ඔලුගෙඩි සංඛ්‍යාව ආණ්ඩුවට තිබේ. (මේ ලිපිය කියවන විට ඒ ජය ඔවුන්ට හිමි වී තිබෙනු ද විය හැකිය.) එහෙත් ඒ විවාදයේදී මතු වූ සියලු කරුණු හා තොරතුරු බොරු හෝ අවලාද යැයි කිව හැකිද? එයින් තහවුරු වන්නේ මේ ආණ්ඩුවට රටේ ජනතාවගේ මූලික අවශ්‍යතාවක් වන නිදහස් සෞඛ්‍ය සේවය විධිමත්ව පවත්වා ගැනීමට නොහැකි වූ බවය. සෞඛ්‍ය සේවයේ අපිළිවෙළ, බලධාරීන්ගේ නාස්තිකාර හා දූෂිත ක්‍රියාකාරකම්වල පරිමාවය. සාමාන්‍යයෙන් මෙරටේ මැති ඇමැතිවරුන්ට පමණක් නොව වරප්‍රසාද සහිත පන්තියට ද අපේ සෞඛ්‍ය සේවය, ඉන් ලැබෙන ප්‍රතිඵල අදාළ නැති බව ප්‍රකට කරුණකි. අධික මිල ගෙවිය යුතු පෞද්ගලික රෝහල් සහ එතෙර කවර හෝ රටක සේවාවන් ලබා ගැනිමට ඒ සියල්ලෝම උනන්දු වෙති. එහෙත් මේ රටේ බහුතර ජනතාවගේ ලෙඩට දුකට යා යුතු එකම තැන රජයේ රෝහල ය. සුළු අසනීපයකට බෙහෙතක් ලබා ගත හැකි තැන ආණ්ඩුවේ ඩිස්පැන්සරියයි. බෝ නොවන රෝග ගණනාවක් සඳහාම ඒ ජනතාවට පිහිටට ඇත්තේ ද ජාතික රෝහලකි.

අද රෝහල් පද්ධතියම කඩා වැටෙමින් තිබෙන බවට නැගෙන චෝදනාව බොරුවක් නොවේ. රෝහලකට ඇතුල් වී නැති ලෙඩක් දාගෙන එලොව යෑමට හෝ කොතැනක හෝ වරදක් නිසා ජීවිත කාලයම විඳවන විපාකයකට ලක්වීමට ද ජනතාවට සිදුව තිබේ. රෝහල පිළිබඳ විශ්වාසය එහෙම පිටින්ම බිඳවැටී තිබේ. විශ්වාසභංග විවාදයේදී ඒ සම්බන්ධ සාක්‍ෂි, නිදසුන් රැසක් ද ඉදිරිපත් විය. ඖෂධ නියාමන කොමිසම දූෂණ ගුහාවක් බවට ද චෝදනා එල්ල විය. සෞඛ්‍ය ඇමැති ප්‍රමුඛ අදාළ නිලබලවල ක්‍රියාකාරකම් නිසා වෛද්‍යවරුන්ට ද ප්‍රශ්න මතුවූ බව එහිදී හෙළි විය. වෙනත් සේවක ගැටලු හා හදිසි මිලදී ගැනීම් ආදිය පිළිබඳ නැගුණු චෝදනා සුළුපටු නැත. දේශපාලන අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටින වෘත්තීය සංවිධාන, විරෝධතා හැම ක්‍ෂේත්‍රයකම තිබේ. ඒ නිසා සෞඛ්‍ය සේවයට පමණක් එයින් බරපතළ විනාශයක් සිදුවිය නොහැකිය. මහජන මුදලින් වෛද්‍යවරයකු බිහිවන බවට කරන ආඩාපාලි වෙනුවට ඒ වෘත්තිකයන්ට ද යහපත් ජීවන ක්‍රමයක් තිබිය යුතු බව පාලකයෝ ද පිළිගත යුතු වෙති. ඇමැතිවරුන්ගේ සාක්කුවලට වැටෙන දොස්තරලා ද සිටිති. එහෙත් ඒ සියල්ල කළමනාකරණය කළ හැකි ඇමැතිවරයෙක් නොමැතිවීම මේ බොහෝ අර්බුදවලට හේතු වී නොතිබේ ද?. අද අප රටේ තිබෙන එක් ගැටලුවක් වී තිබෙන්නේ වෘත්තීය නිපුණතාව තිබෙන බොහෝ දෙනෙකුට පරිපාලන හෝ කළමනාකරණ කුසලතා නොමැති වීමය.

මෙරටේ සෞඛ්‍ය, විදුලිය, ගමනාගමනය, තෙල් සංස්ථාව පමණක් නොව බොහෝ රාජ්‍ය ආයතන බිඳවැටීමට ප්‍රබලම හේතුවක් වූයේ ඒ ඒ විෂය භාර ඇමැතිවරුන් විසින් ඒ ආයතනවලට තම හිතවතුන් පාක්‍ෂිකයන් පත් කිරීමය. ලංගම ඉහළට ඔසවා තැබූ අනිල් මුණසිංහ ගැන අප කොපමණ වාරයක් අසා තිබේද? ඒ ලංගමය මළගමක් කළ දේශපාලන විකටයෝ කීදෙනෙක් සිටිත් ද? අප මෙය සිහිපත් කළේ සෞඛ්‍ය සේවය කුණු වී ඕජස් ගලන තත්ත්වයකට ඇද දැමූ දේශපාලනයක් ද තිබෙන බව පෙන්වා දීමට ය.

රෝගියකුගේ සැත්කමකදී කිසියම් උපකරණයක් රෝගියකුගේ උදරයට දමා මැහුම් යොදන අවස්ථා වෙනත් රටවලින් ද වාර්තා වේ. ඖෂධ මාෆියාව ජාත්‍යන්තරයේ ද සබඳතා සහිත ජාලයක් බව ද නිසැකය. පරමාදර්ශී වෛද්‍යවරුන් මෙන්ම හෙද සේවයේ විශිෂ්ටත්වය ගැන ද අපට ආඩම්බර විය හැකි වාර්තා ද ඇත. ඒ සමගම රුපියල් සත ලුහුබඳින, ජනජීවිත සමඟ සෙල්ලම් කරන සුළු පිරසක් ද සුව සේවයේ සිටිය හැකි වෙති. ආණ්ඩු පක්‍ෂයත්, විපක්‍ෂයත් දෙපිලකට වී වාද කළ යුත්තේ රටට හොඳ සුව සේවයක් ලබා ගැනීමටය. ඉහත ද සඳහන් කළ පරිදි සෞඛ්‍ය ඇමැති මෙම විශ්වාසභංගයෙන් ජයග්‍රහණය කළත් සමස්ත ජනතාවගේ වැඩි ප්‍රතිශතයක් ඔහු කෙරෙහි (එම සේවය කෙරෙහි) විශ්වාසය තබා නොමැති බව ද කිව යුතුය. විපක්‍ෂ නායක ඇතුළු ස.ජ.බ. මන්ත්‍රීවරුන් මෙම විශ්වාසභංග විවාදයට පැමිණියේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය සංකේතවත් කෙරෙන හතරැස් කුරුස ලාංඡනය මත මිනී හිසක් සහිත ස්ටිකරයක් ද ඇඳුමේ ප්‍රදර්ශනය කරමින් ය. එහි ඇඟවුම සෞඛ්‍ය සේවය මරු වසඟයට පත්ව තිබෙන බව ය. සෞඛ්‍ය ඇමැතිවරුන් ලෙස මීට ඉහත වගකීම් භාර වූ කීපදෙනෙක් මෙම පාර්ලිමේන්තුවේ ද සිටිති. සමහරු විපක්‍ෂයේ ය. සමහරු ආණ්ඩුවේ ය. එහෙත් මේ කිසිම ඇමැතිවරයෙක් විසින් මේ රටේ සෞඛ්‍ය සේවය සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපත්ති සම්පාදනය කළ බවක් අපට නම් මතක නැත. අප දන්නා තරමින් මෙරටේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට විශිෂ්ට සේවයක් කළ වෛද්‍යවරයකු ලෙස සිහියට නැඟෙන්නේ මහාචාර්ය සේනක බිබිලේ වෛද්‍යවරයා ය. වෛද්‍ය විද්‍යාව මිනිස් සංහතියේ අභිවෘද්ධිය උදෙසා විනා ජාවාරම්කරුවන්ගේ ධන උල්පතක් නොවිය යුතු බව ඇදහූ මහාචාර්ය බිබිලේ සාධාරණ මිලකට ඖෂධ ලබාදීමේ ප්‍රතිපත්තිය ජාත්‍යන්තරව ප්‍රචලිත කරවීමට දායක වූවෙකි. 1971 දී මෙරට ඇරඹුණු ඖෂධ නීතිගත සංස්ථාව ද ඔහුගේ කැපවීමේ හා මැදිහත්වීමේ අමිල ඵලයකි. ඔහු කෙරෙහි ද්වේෂයෙන් ක්‍රියා කළ ඖෂධ ජාවාරම්කරුවෝ ද සිටියහ. එසේම අප නොදන්නා එබඳු ජයග්‍රහණයන් වෛද්‍ය ක්‍ෂේත්‍රයට ලබාදුන් අය ද සිටිය හැකි වෙති. කුමක් වුවත් අද අපගේ වරප්‍රසාද රහිත ජනතාව වෙනුවෙන් නිදහස් සෞඛ්‍ය සේවය රැකීම හැම පාලනයකම අනිවාර්ය වගකීමක් බව ද පෙන්වා දිය යුතුය. මේ විශ්වාසභංගයේ සැබෑ ජයග්‍රහණය තහවුරු කිරීමට නම් එබඳු සෞඛ්‍ය සේවයක් ස්ථාපිත විය යුතුය.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment