හොර ස්ටිකර් ගැසූ මත්පැන් බෝතල් ලක්ෂයක්

244

ව්‍යාජ ස්ටිකර් යෙදූ මත්පැන් බෝතල් ලක්ෂයක් පමණ පසුගිය සතිය වන විට අත්අඩංගුවට ගත් බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

සුරා බදු ආදායම අපේක්ෂිත මට්ටමට වඩා විශාල වශයෙන් පහළ යෑම හේතුවෙන් හඳුන්වා දුන්, නව ස්ටිකර් ක්‍රමවේදය උපක්‍රමිකව වෙනස් කරමින් සිදුකරන මත්පැන් අලෙවිය පළිබඳව සොයාබැලීම සඳහා සිදුකළ වැටලීම්වලින් මෙලෙස එවැනි සැක සහිත ස්ටිකර් සහිත මත්පැන් බෝතල් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව මුදල් රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

මෙම වැටලීම්වලින් පසු ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් සංඛ්‍යාව විශාල ලෙස පහළ ගොස් ඇති බව ද ඔහු පැවසීය. මෙම ස්ටිකර් ක්‍රමය හඳුන්වා දීමෙන් පසු සැබෑ සුරා බදු නිෂ්පාදනය 11 % කින් සහ සුරාබදු ආදායම 20 % – 21 % අතර ප්‍රමාණයකින් ක්ෂණිකව වැඩි වුවද, නව ස්ටිකර් ක්‍රමවේදය ද විවිධ උපක්‍රම භාවිත කරමින් වෙනස් කිරීමට ඇතැමුන් කටයුතු කිරීම නිසා ආදායම යළිත් ක්‍රමයෙන් පහළ ගිය බව ද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය. මෙම වැටලීම්වලදී එක් සිද්ධියක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 05 දක්වා දඩයක් නියම කිරීම, අහිමි වී ගිය සුරාබදු ආදායම යළි අයකර ගැනීම මෙන්ම මෙම දණ්ඩනයන්ට අවනත නොවන පුද්ගලයන්ගේ බලපත්‍ර අහෝසි කිරීමට වුවද කටයුතු කළ හැකි බව ද සියඹලාපිටිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment