2019 හතර දෙනකුගේ පවුලකට වැයවුණේ හැටතුන්දහස් එකසිය තිහයි.. මේ අයවැයෙන් එක්ලක්ෂ දහනවදහස් හාරසිය අනූ අටයි…

2024 දී අවස්ථා තුනකදී අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාවි…

යෝගට් – බටර් – දොඩම් – ඇපල් – සැමන් – ලොකු ලූනු ඇතුළු භාණ්ඩ රැසකට ජනපති නියමය පරිදි, බදු පැනවීම සිදුකර තිබේ. බටර්, රට ඉඳි, දොඩම්, ඇපල්, සැමන් සහ ලොකු ලූනු ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයක් මත විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවා තිබීම හරහා රට තුළ යළිත් ඇති වී ඇත්තේ ව්‍යසනකාරී පසුබිමකි.

2015 සහ 2016 යන මෑත අතීතයේ තුන්වේල කෑ මහජනතාව වේල් දෙකක් කෑමට හුරු කළ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව කළ වින්නැහියට නොදෙවිණි වින්නැහියක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා 2024 දී ජනතාව වෙත ඇති කොට තිබේ. සරලව කියතොත් ඒ කෑ වෙල් දෙක ලබන වසරේ සිට තනි වේලකට හුරු කරන්නට තරම් 2024 අයවැය සමත්ය.

● පවුලේ පෝෂණය බිංදුවට

වසර 2019දී හතර දෙනකුගේ පවුලකට මාසික සාමාන්‍ය පරිභෝජනය සඳහා භාණ්ඩ මිලදී ගැනීමට වැය වූයේ රුපියල් හැටතුන්දහස් එකසිය තිහක මුදලකි. එය ක්‍රමිකව වැඩිවෙමින් උද්දමනකාරී ආර්ථික රටාව මත 2024 අයවැයට අනුව ලබන වසර මුල වන විට එම පවුලේ මාසික සාමාන්‍ය පරිභෝජනය සඳහා භාණ්ඩ මිලදී ගැනීමට රුපියල් එක් ලක්ෂ දහ නව දහස් හාරසිය අනූ අටක මුදලක් වැයවනු ඇත. 2019 සිට 2024 පවුලේ පරිභෝජනයේදී වැඩි වූ රුපියල් පනස් අටදහසක මිල වැඩිවීමට සාපේක්ෂව එම පවුලේ ආදායම වැඩි වී ඇතිද?’

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ වසර විසිපහකට වැඩි කාලයක් මහනුවර නගරයේ ලොතරැයි විකුණා ජීවත් වූ ටී. ජී. සුනිල් මහතාය.

“අපි ඉස්සර හොඳට කෑවා බිව්වා. අද කන්න නැති එක තමයි ලොකුම ප්‍රශ්නය. ඉස්සර කන්න ණය වුණේ නැහැ. ගෙදර පොඩි අලුත්වැඩියාවක් කරන්න, අලුත් බඩුවක් මුට්ටුවක් ගන්න තමයි ණය වුණේ. නමුත් අද ණය වෙන්නේ කන්න බොන්න. මේක මහා පීඩාවක්.

ලොතරැයි විකිණිල්ලත් ලේසි නැහැ. ඉස්සර නම් ඕන මනුස්සයෙක් නිකමට හරි ලොතරැයියක් මිලට ගන්නවා. දැන් එහෙම නැහැ. හොඳට හිතලා බලලා විතරයි ගන්නේ. දැන් දිනුම් අවස්ථාත් නැහැ. ඉස්සර ටිකට් බොහොමයකටම පොඩි දිනුමක් හරි තියෙනවා. දැන් ජීවත් විල්ල එපා වෙලා තියෙන්නේ. අයවැය කියෙව්වා කියලා අපට ඇති සෙතක් නැහැ. මිනිස්සුන්ට සෙතක් වෙනවා කියන්නේ, කාලා බීලා හිත නිදහසේ ඉන්න පුළුවන්නම් විතරයි. දැන් ඒ වගේ තත්ත්වයක් ගැන හිතන්නවත් බැහැ.”

වියදම වැඩිවීම සහ නිෂ්පාදන වියදම වැඩිවීම මත ජනතාව කර කියා ගත නොහැකි තත්ත්වකට පත්ව සිටිති. ඒ අනුව බහුතර ජනතාව හුරුව ඇත්තේ, වියදම අඩුකර ගැනීමේ ක්‍රමවේද අනුගමනය කරන්නටය. විදුලි බිල වැඩිවන විට විදුලි බල්බ නිවා දැමීම සේම ඉලෙක්ට්‍රොනික් ආම්පන්න භාවිතය නතර කර දැමීම ලෙසියෙන්ම පවුලේ පෝෂණය පසෙක තබා කුසගින්නට පමණක් ආහාර ගැනීමට දැන් ඔවුහු හුරු පුරුදු වී සිටිති.

මෙයට වසර දෙකකට පෙර රුපියල් දහයක්ව පැවැති බිත්තරය රුපියල් දහහත විස්ස මිලට වැඩිවී මේ වන විට රුපියල් හතළිස් පහ පනහ හැට දක්වාම වැඩි වී තිබේ. මේ වන විටත් මධ්‍යම පාන්තික ජනතාවත් අඩු ආදායම්ලාභී ජනතාවත් බිත්තරයක් ආහාරයට ගන්නවා තබා බිත්තරවලින් සකසන කේක් කැබැල්ලක් වත් ආහාරයට ගන්නේ ඉඳහිටය. ලබන වසර වන විට එහි මිල තව දුරටත් ඉහළ යනු ඇත. රුපියල් සියයට එකසිය පහට තිබූ සීනි කිලෝව මේ වන විට රුපියල් තුන්සිය හැට තෙක් වැඩි වී තිබේ. දැන් අල්ලට සීනි කා කහට කෝප්පය බොන පුද්ගලයා ඉදිරි වසරේදී සීනි දෙස බලමින් කහට බොන තැනට පත්වන්නේ සීනි මිලද ලබන වසර වන විට තවදුරටත් වැඩි වන නිසාය.

● අධ්‍යාපනයත් සෞඛ්‍යයත් ජනතාවට හිසරදයක්

අධ්‍යාපනය සහ සෞඛ්‍ය යනු මිනිසාගේ පැවැත්මට ඍජුව බලපෑම් සිදු කරන විෂය පථයන් දෙකකි. එබැවින් රටක අයවැය යෝජනාවලදී ඒවා විශේෂ අයවැය යෝජනා ලෙස ඉදිරිපත් විය යුතුය. නමුත් මෙවර සිදුව ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් වූ තත්ත්වයකි. සෞඛ්‍ය සඳහා මුදල් වෙන්කිරීමේ ක්‍රමානුකූල බෙදීම් වෙන්කිරීම් හෝ ඒ ඒ ක්ෂේත්‍ර පිළිබඳ පැහැදිලි කිරීම් ක්‍රමානුකූලව පැවති බවක් මේ අයවැයේ පෙනෙන්නට නැහැ. රටේ මෙවැනි ආර්ථික අර්බුදයක් තියෙන සමයක ජනහිතකාමී අය-වැයක් නම් අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට ප්‍රතිපාදන වෙන් කිරීම සහ ජනතා සහන ලබාදීම වගකිවයුතු රජයක වගකීමක්. තවදුරටත් පැහැදිලි කළොත් ජනතාව වෙනුවෙන් රජයක් කළ යුතු වන්නේ මිනිස්සුන්ට දැනෙන සහන ලබා දීමයි.

ඒ වෙනුවට සිදුව තිබෙන්නේ අධ්‍යාපනයෙන් දරුවන් වෙන් කරන ක්‍රමවේදයකි. උදාහරණයක් ලෙස පොත්පත් පැන්සල් ඇතුළු අධ්‍යාපනයට අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට විශාල මුදලක් වැය කිරීමට දෙමව්පියන්ට සිදු වී තිබේ. දුර්වල විෂයන් සඳහා අමතර අධ්‍යාපනය ලබාගැනීමට ටියුෂන් ගුරුවරුන්ට විශාල වශයෙන් මුදල් ගෙවීමට සිදුව තිබේ. මේ තත්ත්වය තවදුරටත් දරා ගැනීමේ හැකියාව ජනතාවට නැත. ආහාර සෞඛ්‍ය සඳහා ද විශාල මුදලක් වැයවන පරිසරයක අධ්‍යාපනය ක්‍රමවත්ව පවත්වා ගෙන යෑමට මුදල් වැය කිරීමේ හැකියාව අවම ආදායම් ඇති අයට කළ නොහැක්කකි.

වැට් බද්ද සියයට එකසිය හයකින් ඉහළට…ආයෙත් අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ ගිහින්

රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිරිහීමද මෙවර අයවැයට සාපේක්ෂව ලබන වසරේ සිදුවන බවට නියතයන් ඇත. මේ වන විට පවතින ඖෂධ හිඟයට පිළියම් හෝ රෝහල්වල අත්‍යවශ්‍ය සාධක සඳහා නිර්ණායක මෙවර අයවැයට ඇතුළත් කොට නැත. මේ මත ජනතාව තුළ තවදුරටත් සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විශ්වාසයක් රැඳෙන්නේ නැත. මේ මත ජනතාව මානසිකව ද බිඳ වැටීමකට ලක්වන බව නොරහසකි.

රටේ සමස්ත වැට් බද්ද වරින් වර වැඩි කිරීම ඔස්සේ සිදුවන්නේ, රටේ සුළු මධ්‍යම සහ මහ පරිමාණ සමස්ත නිෂ්පාදන සහ කර්මාන්ත බිඳ වැටීමය. මේ වන විට ආනයනය කරන භාණ්ඩ අතරින් පරිභෝජනය සඳහා ගෙන්වන්නේ සියයට පහළවක ප්‍රමාණයක් පමණකි. සෙසු සියයට අසූ පහ වෙන්ව ඇත්තේ, අතරමැදි භාණ්ඩ හෙවත් පොහොර රසායනික ද්‍රව්‍ය වැනි දෑ සහ ආයෝජන භාණ්ඩ හෙවත් යන්ත්‍ර සූත්‍ර නූල් බොත්තම් ආදී දෑ සඳහාය. ඒ සියල්ල සඳහා වන බද්ද ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයාව සිටියදී උඩුයටිකුරු වන පරිදි ඉහළ දැමුවේය. එම තත්ත්වය යථාවත් කිරීමට තවමත් කිසිවෙක් උත්සාහ නොකළ බැවින් පෙර කළ පව් සමස්ත ජනතාව අදටත් අත්විඳිමින් සිටිති. ඒ තත්ත්වය මත රටේ ආනයනයත් අපනයනයත් දේශීය නිෂ්පාදනත් බිඳ වැටී තවදුරටත් බිඳ වැටෙමින් තිබේ.

සහල් පරිභෝජනය ද එලෙසය. මේ වන විට සහල් කිලෝවක් මිලට ගත් අයෙක් ඉදිරියේදී ගනු ඇත්තේ සහල් ග්‍රෑම් හත්සියයක් පමණය. දේශීය ආහාර මිල හෝ දේශීය නිෂ්පාදන වී එළවළු උඩරට බෝග ලූනු, අල මිල වුවද වරින් වර වැඩි වන්නේ ආනයනික පොහොර බද්ද නිසාය. ඉස්සර හොද්දට ලූනු ගෙඩියක් දැමූ අයෙක් දැන් වේලක් උයන්නේ ලූනු ගෙඩියෙනි.

ආණ්ඩුවේ අනවශ්‍ය වියදම් කපා හැරීම නිත්‍ය වශයෙන්ම සිදුවිය යුතුය. පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ අනවශ්‍ය විදේශ සංචාර වහා නතර කළ යුතුය. ඒ සඳහා ජනාධිපතිවරයාට පැහැදිලි තීන්දුවක් ගැනීමේ හැකියාව තිබිය යුතුය. නමුත් සිදුවන්නේ ඊට හාත්පසින්ම වෙනස් ක්‍රියාවකි. මෑත කාලීනව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදුකළ විදේශ සංචාර පිළිබඳ අවධානය යොමු කළ විට ඒ පිළිබඳ මනාව පැහැදිලි වෙයි. ප්‍රංශය, ජර්මනිය, රුසියාව, ජපානය, චීනය, ඇමෙරිකාව වැනි රටවල් සඳහා ඇමැතිවරුන් ද කැටුව ජනාධිපතිවරයා කළ විදේශ සංචාර කිසිවකින් රටට නව ආයෝජකයෙක් ගෙන්වීම හෝ ආර්ථික අර්බුදයට විසඳුමක් ගෙන ඒමක් සිදු වූයේ නැත. ඒවා හුදෙක් හිත සුව පිණිස සිදුකළ විදේශ සංචාර බවට ගම්‍ය වේ.

මේවා පිළිබඳව මහජනතාව දැනුවත් නැත. බලධාරීන් විසින් රජයේ මුදල් හොරා කෑමේ ප්‍රතිවිපාකය මහජනතාව විසින් භුක්ති විඳින බවට නිදසුන් ඕනෑ තරම් තිබේ. නමුත් ඒ කිසිවක් පිළිබඳව ජනතාව දන්නා බවක් හැඟී යන්නේ නැත.

පෙර වසරවල විශ්වවිද්‍යාල මට්ටමෙන් විදේශීය රටවලට යෝජනා ක්‍රම ව්‍යාපෘති ලෙස ඉදිරිපත් කරමින් ව්‍යාපෘති රටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විණි. ඒ අනුව සෑම විශ්වවිද්‍යාලයකම නව පර්යේෂණ පත්‍රිකා එළිදැක්වීමක් සහ ඒ අනුව රටේ විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් රැකියා අවස්ථා හිමිකර දීමේ වැඩසටහන් ද දිගින් දිගටම සිදුකෙරිණි. නමුත් වන විට ඒ සියලු ව්‍යාපෘති නතර කර දැමීමට විශ්වවිද්‍යාලවලට සිදුව තිබේ.

● වැට් බද්ද ඉහළ යෑම

වැඩි කළ අගය මත බදු පැනවීම හෙවත් වැට් බද්ද 2023 වසරේ රැස් කරගත යුතු අපේක්ෂිත මුදල වූයේ රුපියල් බිලියන 681කි. එය 2024 වසරේ අයවැය අනුව රුපියල් බිලියන 1400 ක් දක්වා වැඩිවී තිබේ. එසේනම් රුපියල් බිලියන 760 වැඩි කර ගත යුතුව ඇත. සියයට අගයක් ලෙස දක්වා බලන විට එය සියයට 106 කින් වැඩි වීමකි. මෙම තත්ත්වය මත ජනතාව තමන්ගේ සාක්කුවේ ඇති මුදලෙන් රජයට බදු ගෙවීමට සිදුවන තත්ත්වයක් ඇතිවන බව පැහැදිලිය. 2024 වසරේදී අපේක්ෂිත වැට් බද්ද එකතු කරගැනීමට නම් දැනට පවතින 18% ක වැට් බද්ද ඉදිරියේදී 25% ක් දක්වා වැඩි විය යුතුය. 25% ක බද්දක් යනු සමස්ත ව්‍යාපාර ක්ෂේත්‍රය දරුණු ලෙස කඩා වැටීමකි. මෙම තත්ත්වය උදාවීමට පෙරමුණ ගනු ලැබූයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ අයවැය යෝජනාය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනතාවගේ ඇසට වැලි ගසමින් මේ සිදු කරන්නේ ද වචන හරඹයකින් ජනතාව මුළා කොට රටේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියටත් ව්‍යාපාර ක්ෂේත්‍රයටත් හිස ඔසවාගත නොහැකි පරිදි පහරදීමටය. පවතින ආර්ථික තත්ත්වය යටතේ ජනතාවට වග නොවන ආණ්ඩුවක් ලෙස මොවුහු දිගින් දිගටම බදු මත පමණක් ආදායම් ඉපයීමේ ක්‍රියාවලියකට ගමන් කරනු දක්නට ලැබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ආනන්ද ජයවික්‍රම මහතාට ස්තුතිය

සාකච්ඡා කොට සකස් කළේ –
සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment