අයි.එම්.එෆ්. හැමදේටම උත්තරයක් කියන මතය කුඩුපට්ටම් කළ යුතුයි – කුමාර් ගුණරත්නම්

103

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කම්කරු දින රැලිය

හැමදේටම අයි.එම්.එෆ් උත්තර කියන මතය කුඩුපට්ටම් කළ යුතු යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා ඊයේ පැවසීය.

ඔහු මේ බව පැවසුවේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කම්කරු දින රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී ඊයේ පැවති අවස්ථාවේදීය.

එහිදී ඔහු මෙසේ ද කීවේය.

අයි.එම්.එෆ්. නියෝග ආවේ පොඩි එකාට බර පටවලා ධනකුවේරයන් රකින්නයි. අයි.එම්.එෆ්. එක උත්තරය නොවේ. ඒක ප්‍රශ්නයට හේතුවයි. 2001 ආජන්ටිනාවේ ආර්ථික අර්බුදයක් ඇති වුණා. ඒකට අයි.එම්.එෆ්. මැදිහත් වුණා. අද වෙනකොට ආජන්ටිනාවේ උද්ධමනය 103%යි. අයි.එම්.එෆ් . මැදිහත් වුණු ග්‍රීසියටත් අවුරුදු 14ක් ගිහින් ගොඩඑන්න බැරිවුණා. මේකයි ඇත්ත තත්ත්වය.

අයි.එම්.එෆ්. හැමදේටම උත්තරයක් කියන මතය කුඩුපට්ටම් කළ යුතුයි - කුමාර් ගුණරත්නම්

අද වෙනකොට ඡන්දත් නෑ. කන්නත් නෑ. මෙයාලා තව අවුරුදු තුනක් අල්ලන් යන්න හදනවා. මේවට හයිය දෙන්නෙ අයි.එම්.එෆ්. එකෙන්. ඉන්දියාවත් ඡන්ද නොතියන්න ඔක්සිජන් දෙනවා.

පාර්ලිමේන්තුවට අධිකරණයට කරන්න බැරි දෙයක් අරගලයෙන් කරන්න පුළුවන් කියලා අපි දැක්කා. හැබැයි අරගලය සම්පූර්ණ නෑ. එය සම්පූර්ණ කරන්න පුළුවන් වැඩකරන ජනතාවටයි. එය කරන බව සපථ කරනවා.

එදා අරගලය සම්පූර්ණ කරන්න බැරිවුණේ කම්කරු පංතිය අරගලයේ නායකත්වය ගත්තේ නැති නිසයි. ඒ නිසා අරගලයට සංවිධානාත්මකව සම්බන්ධ වෙමු කියලා අපි කම්කරු පන්තියට කියනවා.

ඒ වගේම වැඩ කරන ජනතාවත් එක්ක සමාජවාදයට ගොඩනගන අරගලයට පෙර ආණ්ඩුවේ මර්දනයට එරෙහිව ඒකාබද්ධ අරගලයකට එන්න කියා අපි හැමෝටම ආරාධනා කරනවා. එසේ කරන්න නම් මේ ආණ්ඩුව පලවා හැර කෙටිකාලීනව අන්තර්කාලීන ආණ්ඩුවක් සෑදිය යුතුයි. එය විපක්ෂයේ පක්ෂවලින් සහ ජනතාවගේ සැදුම්ලත් විය යුතුයි. ඒ ඒකාබද්ධ ක්‍රියාමාර්ගවලට එන්න කියා අපි සියලු පක්ෂවලට ආරාධනා කරනවා. එවැනි මාස හයක ආණ්ඩුවකින් පසු නව ව්‍යවස්ථාවක් සකසා යළි නව ආණ්ඩුවක් පත්කර ගත හැකියි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ඇතුළු එම පක්ෂ නියෝජිතයෝ පිරිසක් ද මෙහිදී කතා කළහ.
අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment