රෑ 7.30ට විවාදය අවසන් කළේ ඇයි: – කථානායකට ඊයේත් දෝස් මුර

154

ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ විවාදය එදින රාත්‍රී 7.30ට අවසන් කිරීමට කථානායක ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී ඊයේ (05දා) දින ද දෝෂ දර්ශනයට ලක් කළහ.

ඒ සම්බන්ධයෙන් රීති ප්‍රශ්නයක් මතුකරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේ අදාළ විවාදය පැවැත්වීමේ කාලය සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමේදී ගනු ලැබූ තීරණ කථානායක විසින් ක්‍රියාත්මක නොකළ බවය.

කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කියා සිටියේ එදින න්‍යාය පත්‍රය අනුව තමන් විවාදය රාත්‍රී 7.30ට අවසන් කළ බවය.

එහෙත් පසුගිය 30 දා පක්ෂ නායක රැස්වීමේදී තීරණය කරනු ලැබුවේ එය නොවන බව ද එහිදී සාකච්ඡාවේ තීරණ (මිනිට්ස්) ද මෙතෙක් ප්‍රකාශයට පත් කිරීමට නොහැකි වී ඇති බව ද කිරිඇල්ල මහතා කීය.

මෙහිදී විපක්ෂයේ නලින් බණ්ඩාර මහතා කියා සිටියේ එදින රැස්වීම රාත්‍රී නවය පමණ වනතුරු පැවැත්වේවි යැයි කියා මහ ලේකම්වරිය තමන්ට ප්‍රකාශ කළ බවය. එබැවින් තමන්ට ද විවාදයේදී අදහස් දැක්වීමට නොහැකි වූ බව ද හෙතෙම කීය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ විවාදය රාත්‍රී 7.30ට අවසන් කළ යුතුව තිබූ බවත් එසේ නොවේ යැයි කියමින් විපක්ෂය වැරදි මතයක් ගොඩ නගන බවත්ය.

විවාදය එම වේලාවට අවසන් කිරීම නිසා ආණ්ඩුවේ ද කථිකයන් 06 දෙනකුට අදහස් ප්‍රකාශ කිරීමට නොලැබුණු බව ද ඔහු කීවේය. කෙසේ වෙතත් පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිය විරෝධය දැක්වීය.
අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment