බොරැල්ලේ සිද්ධියට සමාගම් ලොක්කා ඇතුළු 4 දෙනෙක් රිමාන්ඩ්

2081

ටී 56 සමග උණ්ඩ 60ක් සොයා ගැනේ

බොරැල්ල හරස් පාරේ පිහිටි සිය නිවසේ ගේට්ටුවට යම්කිසිවකු ගිනි අවියකින් වෙඩි තැබූ බවට බොරැල්ල පොලිසියට අසත්‍ය පැමිණිල්ලක් කළේ යැයි කියන ප්‍රසිද්ධ සමාගමක ප්‍රධානියකු ඇතුළු සැකකරුවන් සිවුදෙනකු ලබන 19 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (05දා) පස්වරුවේ නියෝග කළාය.

ගිහාන් සජිත් රාජපක්‍ෂ, සිරිල් රත්නායක, ජානක ජයතිලක හා රංගික ලියනගේ යන සැකකරුවෝ එලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබූහ.

නාඳුනන පුද්ගලයකු තම නිවසේ ගේට්ටුවට ගිනි අවියකින් වෙඩි තැබූ බවත් එකී වෙඩි තැබීම සිය ව්‍යාපාරය සඳහා මුදල් ආයෝජනය කළ කිහිප දෙනකුගේ මෙහෙයවීම මත සිදුකළ බවට සැක කරන බවටත් එකී සැකකාර ව්‍යාපාරිකයා පසුගිය 22 වැනිදා බොරැල්ල පොලිසියට පැමිණිලි කර තිබිණි. ඒ ඔස්සේ සිදුකළ විමර්ශනවලදී එකී පැමිණිල්ල අසත්‍ය පැමිණිල්ලක් බව පෙනී ගිය බවත් එකී වෙඩි තැබීම සඳහා උපයෝගී කරගත් ටී 56 ගිනි අවිය සහ ජීව උණ්ඩ 60 ක ප්‍රමාණයක් සමග පැමිණිලිකාර ව්‍යාපාරිකයා සහ එකී වෙඩි තැබීමට ආධාර අනුබල දුන් තවත් තිදෙනකු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය එම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් පැවසීය.

එකී සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට හා එම ගිනි අවිය වෙනත් අපරාධයක් සඳහා යොදා ගත්තේද යන්න වැඩිදුරටත් විමර්ශන සිදු කරන බවද බොරැල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජනක විතානගේ මහතා සිය වැඩිදුර විමර්ශන වාර්තාව මගින් පෙන්වාදී තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment