නුවර තරම් ලස්සන තැනක් තවත් මට නෑ

426

සම්මානනීය සිනමා හා ටෙලි නාට්‍ය නිළියක් වන සනෝජා බිබිලේ යනු කලක් මෙරට සිනමා අඹර එකලු කළ තාරුකාවක් විය. චිත්‍රපටය මෙන්ම ටෙලි නාට්‍ය හරහා ඇය දස දහස් ගණනක් වු ප්‍රේක්‍ෂකයන් ගේ ආකර්ෂණීය චරිතයක් බවටද පත්විය. මේ වන විට ඇය සිනමා හා ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයට පිවිස දශක තුනක පමණ කාලයක් ගතවී ඇත. ප්‍රවීන නිළියක් ලෙස ඇය පිළිබඳ හැඳින්වීමට ඉහත සඳහන් තොරතුරු වුවද ප්‍රමාණවත්ය. මෙවර My Favourite Location  විශේෂාංගය වෙන්වන්නේ සම්මානනීය නිළි සනෝජා බිබිලේ වෙනුවෙන්ය.

 ● ජනප්‍රිය සිනමා හා ටෙලි නාට්‍ය නිළියක් ලෙස මෙරට තුළ ඔබ දකින ලස්සනම තැන ලෙස නම් කරන්නේ කුමන ප්‍රදේශයද?

 මම මේ රටේ ලස්සනට ප්‍රදේශය ලෙස දකින්නේ මහනුවර. ඒ ප්‍රදේශයේ පවතින නිස්කලංක බව සහ ඒ අවට පවතින පරිසරයට මම බෙහෙවින් ඇලුම් කරනවා. අපි නුවරඑළියට ගියොත් එතන පවතින්නේ ශීත දේශගුණයක්. අනුරාධපුරයට ගියොත් වියළි උණුසුම් පරිසර පද්ධතියකට ඇතුළුවූවා වැනි හැඟීමක් නිතැතින්ම ඇති වෙනවා. නමුත් මහනුවර කියන්නේ ශීත දේශගුණයේ හා උණුසුම් දේශගුණයේ එකතුවක්. අන්න ඒ එකතුවට මම කැමතියි. ඊට අමතරව ගත්විට ස්වභාවික පරිසරය විසින් අපට ලබා දෙන බොහෝ දේවල්වලින් පොහොසත් ප්‍රදේශයක් ලෙසත් මහනුවර නම් කරන්න පුළුවන්. ඕනෑම සිත් තැවුලක් ගැටලුවක් පවතින වෙලාවක නුවර වැව ළඟට ගිහින් මාලිගාවෙන් ඇසෙන බෙර හඬට සවන්දීගෙන ටික වේලාවෙක් ඉන්න පුළුවන්නම් ලොකු මානසික සුවයක් ලබා ගන්න පුළුවන්. ඒ අනුව ආධ්‍යාත්මික සුවය ඉහළින්ම විඳින්න පුළුවන් ස්ථානයක් ලෙසත් ඒ ප්‍රදේශය හඳුන්වා දිය හැකියි. නගරයක් ලෙස ගත් විටත් මහනුවර කියන්නෙ ඕනෑම පහසුකමක් පහසුවෙන් ලබාගත හැකි ස්ථානයක් මූලික වශයෙන් ඔය මට කියපු කාරණා සහ තවත් බොහෝමයක් හේතුන් මත මම එදා පටන්ම මහනුවරට බෙහෙවින් ඇලුම් කරනවා.

නුවර තරම් ලස්සන තැනක් තවත් මට නෑ

 ● ඔබ සඳහන් කළ මූලික කාරණාවන්ට අමතරව තවත් හේතූන් බොහොමයක් පවතින බව සඳහන් කළා. එම බොහෝ හේතූන් අතරින් කීපයක් හෝ සඳහන් කරන්න පුළුවන්ද.

 ඔව් විශේෂයෙන්ම ආධ්‍යාත්මික වශයෙන් පොහොසත් මිනිසුන් වැඩි ප්‍රමාණයක් ජීවත්වන ප්‍රදේශය මහනුවර කියල මම සඳහන් කරනවා. මම එහෙම සඳහන් කරන්නේ මගේ අත්දැකීම් එක්ක. නුවර ඉපදුන කෙනෙක් ලෙසත් කුඩා අවදිය සහ පාසල් කාලය නුවර ගත කරලා පසු කාලීනව කොළඹ පදිංචිය පිණිස පැමිණි කාන්තාවක් ලෙස කොළඹ හා නුවර පවතින වෙනස මම අත්විඳිනව. නුවර ඉපදුන කෙනෙක් සමඟ පැය භාගයක් කතා කරලා බලන්න. ඒ අය කතාවෙන් හැසිරීමෙන් හරිම සංවරයි. ඒ වගේම විනීතයි. කොළඹදී එවැනි මිනිසුන්මු ණගැසෙන්නේ හරිම කලාතුරකින්. ඒ වෙනසට හේතුව ලෙස දළදාව වැඩ සිටින නුවර ප්‍රදේශයේ පවතින ආගමික පසුබිම සහ අර මම මුලින් සඳහන් කළ ආධ්‍යාත්මික පොහොසත් බව බලපානවා කියලා මම තදින්ම විශ්වාස කරනවා. උදාහරණයක් ලෙස කොළඹ උස් මහත්වෙන කුඩා ළමයෙක් සහ නුවර ළමයෙක් ගත්විට නුවර ළමයගෙ ගති පැවතුම් ආදියේ උසස් බවක් බොහෝ දුරට දැක ගන්න පුළුවන්. ඒ වගේම මහනුවර නගර සැලසුම ගත් විටත් එය ඉතා හොඳින් සැලසුම් කළ නගරයක්.

 ● සිනමා නිර්මාණයක් හෝ ටෙලි නාට්‍ය නිර්මාණ පසුතල සම්බන්ධයෙන් මහනුවර පවතින්නේ මොන වගේ පහසුකම්ද?

 නුවර කින්නෙම ඒ සඳහා සුදුසු පසුතල ඕනෑ තරම් පවතින ප්‍රදේශයක් ගංගාවක් ආශ්‍රිත රූපගත කිරීමක් නම් මහවැලි ගඟ ගන්න පුළුවන්. කැලෑවක් අවශ්‍ය නම් උඩවත්ත ගන්න පුළුවන්. ඊළඟට ගීතයක් ගායනා කරන දර්ශනයක් නම් පේරාදෙනිය උiානය තිබෙනවා. අනෙක් පැත්තෙන් හන්තාන කන්ද ගන්න පුළුවන්. ඉපැරැණි වලව් ඒ වගේම නවීන පන්නයේ නිවාස යම් පසුතලයක් සඳහා අවශ්‍ය නම් ඒවා පහසුවෙන්ම සොයා ගැනීමේ ඉඩකඩ පවතිනවා. ටනල් එකක් ඇතුලෙ රූගත කරන්න ඕන නම් ඒ පහසුකමත් නුවර තිබෙනවා. ඒ වගේම යම් නිර්මාණ කටයුත්තක් පිණිස සිරගෙයක් ගන්න ඕන නම් බෝගම්බර බන්ධනාගාරය ගන්න පුළුවන්. ඔය ආදී වශයෙන් ලංකාවේ වෙන කොතැනවත් දකින්නට නොලැබෙන පසුතල රාශියක් නුවර නගරය ආශ්‍රිතව පවතිනවා.

 ● සිනමා නිළියක් ලෙස මහනුවර කේන්ද්‍ර කර ගනිමින් රූගත කළ ඔබ රංගන දායකත්වය ලබා දුන් සිනමා නිර්මාණ මොනවාද?

 මම රංගන දායකත්වය ලබා දුන් සිනමා නිර්මාණ හැටකට ආසන්න ප්‍රමාණය අතර නුවර ප්‍රදේශය මුල් කර ගනිමින් රූගත කළ නිර්මාණ කීපයක්ම තිබෙනවා. නම් වශයෙන් සඳහන් කරනවා නම් කේ. ඩබ්. පෙරේරා අධ්‍යක්‍ෂණය කළ මධුරි චිත්‍රපටය ඒ වගේම සැම්සන් කුමාරගේ අධ්‍යක්‍ෂණය කළ මා විසින් නිෂ්පාදනය කළ අළුයට ගිනි චිත්‍රපටය හෙළයේ මහා සිනමාකරු ලෙස්ටර් ජෙම්ස් පීරිස් අධ්‍යක්‍ෂණය කළ අවරගිර ඇතුළු තවත් නිර්මාණ කීපයක්ම ඊට ඇතුළත් වෙනවා.

 ● ලෙස්ටර් ජෙම්ස් පීරිස් වැනි දැවැන්ත නිර්මාණකරුවකු තමන්ගේ නිර්මාණයක් රූගත කිරීම සඳහා මහනුවර තෝරා ගැනීමට විශේෂ හේතුවක් පැවතුනද?

 ඔව් එතුමා තමන්ගේ සිනමා නිර්මාණයක් කරවානම් ඒ සඳහා පසුතල තෝරා ගැනීමේදී අවට පරිසරයේ පවතින නිශ්ශබ්දතාවය පිළිබඳ දැඩිව විමසිලිමත් වෙනවා. එතුමා විසින් අධ්‍යක්‍ෂණය කළ අවරගිර සිනමා නිර්මාණයේ රූගත කිරීම් පිණිස නුවර තෝර ගත්තේ. නුවර වැවට ඉහළින් පිහිටි මනස්කාන්ත ඒ වගේම නිස්කලංක ප්‍රදේශයක තමයි ඒ රූගත කිරීම් සිද්ධ වුණේ. ඒ ප්‍රදේශය එතරම් ජනාකීර්ණ තැනක් නොවෙයි. ඒ නිසා අවරගිර රූගත කරද්දී කිසිම කරදරයකින්” බාධාවකින් තොරව ඒ කටයුතු සාර්ථකව නිම කරන්න පුළුවන්කම ලැබුණ.

 ● ඔබ සිනමාවට පිවිසිලා මේ වන විට වසර කීයක් වෙනවද?

 වසර 32 ක් පමණ වෙනවා. ඇත්තටම නුවර ඉපදෙන මම කොළඹ එන්නේ මහවැලි අධිකාරියේ රැකියාවක් පිණිසයි. ඒ ආවට පස්සේ තමයි සිනමා නිළියක් සහ ටෙලි නාට්‍ය නිළියක් ලෙස ක්‍ෂේත්‍රයට පිවිසෙන්න මට අවස්ථාව ලැබෙන්නේ. ඒ සඳහා මට මුලින්ම ආරාධනා කළේ සුමිත්‍රා පීරිස් මහත්මිය. නමුත් මම එතුමිය මුණගැසෙන්න ඒ වෙලාවෙ අවස්ථාවක් නැති වුණා. හදිසියේම ජපානයට යන්න සිද්ධ වු නිසා ඒ අවස්ථාව අහිමි වුණා. ඊළඟට නැවත මට ක්‍ෂේත්‍රයට එන්න අවස්ථාවක් ලැබෙනවා. ජය ශ්‍රී මංගලම් කියන චිත්‍රපටය තමයි මම මුලින්ම රඟපෑ මුල්ම චිත්‍රපටය බවට පත්වෙන්නෙ විජය කුමාරතුංග සමග මා රඟපෑ මුල්ම චිත්‍රපටය බවට පත් වුණේ ඒක. නමුත් රූගත කිරීම් අතරතුර හදිසියේම විජය කුමාරතුංග මරණයට පත්වීම හේතුවෙන් ඒ චිත්‍රපටය ප්‍රදර්ශනය වුණේ නැහැ. තවත් දෙයක් කියන්න ඕන. මම සිනමාවට එනවට මගේ අම්මි කැමති වුණේ නැහැ. මගේ තාත්ති සුමිත් බිබිලේ ඔහුත් සිනමා නළුවෙක් ඔහුගෙන් එතරම් විරෝධයක් එල්ලවුණේ නැහැ.

 රංගන ජීවිතය අතරතුර සිදුවූ සුවිශේෂී සිදුවීම් මොනවාද?

 ඒවගේ සිදුවීම් නම් අනන්තවත් සිද්ධවෙලා තිබෙනවා. මා විසින් නිෂ්පාදනය කළ අළුයට ගිනි චිත්‍රපටය හා සම්බන්ධ එවැනි සිදුවීමක් කියන්නම්. ඒ චිත්‍රපට රූගත කළේ නුවර කියල මම කලින් කිව්වනෙ. කොහොම හරි දවසක් ඔය රූගත කිරීම් අතරතුර සංජය ලීලාරත්න ඇතුළු පිරිසක් දර්ශන තලයට කඩා වැදුනා. එහෙම ආව සංජය කිව්ව චිත්‍රපටය රූගත කරන්න දෙන්නේ නෑ. ඒ කතාව එයාගෙ කියලා. අන්තිමට ප්‍රශ්නය විසඳගන්න පොලිසියට පවා යන්න සිද්ධ වුණා. නමුත් අවසානයේදී ඒ රූගත කිරීම් සාර්ථකව නිමා කරන්න අපට පුළුවන්කම ලැබෙනවා. එදා එහෙම ප්‍රශ්නයක් වුණාට සංජය අද මගේ හොඳම යාළුවෙක්.

 මේ වනවිට සිනමා හා ටෙලි නිර්මාණ සඳහා ඔබ විසින් ලබාදෙන දායකත්වය මොන වගේද?

 ඇත්තටම මේ වෙද්දි මා ඇතුළු තවත් පිරිසක් විසින් දැවැන්ත කටයුත්තකට ආරම්භය ලබා ගෙන තිබෙනවා. විශේෂයෙන්ම මගේ තාත්තිගෙ ඉල්ලීමක් මත තමයි මම ඒ හා සම්බන්ධ වෙන්නේ. අපේ සිනමාව වෙනුවෙන් අමිල මෙහෙවරක යෙදුන නළු නිළියොත්” අධ්‍යක්‍ෂවරු” නිෂ්පාදකවරු ඒ වගේම කැමරා ශිල්පීන් ඇතුළු 50 දශකයේ සිට සිනමාවට සම්බන්ධව සිට මේ වෙද්දි වියපත්ව සිටින ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇගයීම පිණිස සිල්වර්ස්ක්‍රින් කියන සම්මාන උළෙලක් අපි විසින් පවත්වනවා. එහි සමාරම්භක උළෙල 2021 වසරේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙ පැවැත්වුවා. එවර සිනමාවේ ප්‍රවීණයන් 22 ක් සම්මානයට පාත්‍රවුණා. ඔවුන්ට සම්මාන” සහතික” මුදල් ත්‍යාග සහ වෙනත් වෙනත් ත්‍යාගයන් ප්‍රදානය කරන්නත් අපි විසින් කටයුතු කළා. මෙවරත් ජූලි මස සහ දෙසැම්බර් මස මුල් කර ගනිමින් අවස්ථා දෙකක් යටතේ ඒ සම්මාන ප්‍රදානය සහ ඇගයීම් උළෙල සංවිධානය කරනවා. මම විශ්වාස කරනවා එය අප විසින් ප්‍රවීණයන් උදෙසා කරන විශිෂ්ටතම ඇගයීමක් කියලා.


 රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment